ශ්‍රී ලංකා දැල්පන්දු පිල බොට්ස්වානා යයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකා දැල්පන්දු පිල බොට්ස්වානා යයි

ඇමැති සජිත්ගේ සහ ක්‍රීඩා අමාත්‍ය හරින්ගේ මැදිහත් වීමෙන් වැය බර සම්පූර්ණ වෙයි

ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියේ පෙර පුහුණු තරගාවලි සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (20) බොට්ස්වානා රාජ්‍යය බලා පිටත් විය. චතුරංගි ජයසූරියගේ නායකත්වය යටතේ මෙම සංචාරය වෙනුවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව 19 වැනි ස්ථානයේ පසුවෙයි. මෙම සංචාරයේදී ඔවුන් තරග වැදීමට යෝජිත බොට්ස්වානා රාජ්‍ය ශ්‍රේණි ගතකිරීම්හි රැඳී සිටිනුයේ 23 වැනි ස්ථානයේය.

පසුගිය කාල සීමාවේ ශ්‍රේණිගත කිරීම්හි පියවරක් ඉදිරියට පැමිණීමට බොට්ස්වානා කණ්ඩායම සමත්ව ඇති අතර එම කණ්ඩායම හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 38කි. ශ්‍රී ලංකාව ශ්‍රේණි සටහන තුළ ප්‍රසාද ලකුණු 51ක් හිමිකර ගෙන ඇත. මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අයත්වන 'ඒ' කාණ්ඩයට සිම්බාබ්වේ, අයර්ලන්ත සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් ඇතුළත්ව තිබීම මෙම සංචාරය සැලසුම් කිරීමට හේතුවී තිබේ. ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටය දක්වා ගමන් කිරීමට නම් එම කාණ්ඩයේ මුල් කණ්ඩායම් තුන අතරට එක්වීම අනිවාර්යවීම ඊට හේතුවයි. ඒ සඳහා සිම්බාවේ කණ්ඩායම පරාජය කිරීම අත්‍යාවශ්‍ය වේ. ලෝක ශ්‍රේණි සටහනට අනුව ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයේත් අයර්ලන්තය 11 වැනි ස්ථානයේත් ශ්‍රේණිගතව සිටින හෙයින් වැඩි අවස්ථාවක් ඇත්තේ සිම්බාවේ පිල පරාජය කිරීමය.

ඒ සඳහා අප්‍රිකානු රාජ්‍යයික දැල්පන්දු ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා රටාව සමීපව අධ්‍යයනය කිරීම අවශ්‍ය බවත් පුහුණුකාරිණි තිලකා ජිනදාස මෙනවියගේ මතයවී තිබිණි.

අදාළ පුහුණු සැසිය වෙනුවෙන් අප්‍රිකානු රාජ්‍යයක සංචාරය කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස එවකට පැවැති ට්‍රික්සි නානායක්කාරගේ සභාපතිත්වයෙන් යුත් දැල්පන්දු පරිපාලනයෙන් පුහුණුකාරිණිය ඉල්ලීම් කර තිබුණේ සිංගප්පූරුවේ පැවැති ආසියානු දැල්පන්දු තරගාවලිය ජයගැනීමෙන් අනතුරුවය. ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමෙන් පසු ඇය විසින් මෙම ඉල්ලීම සිදුකර තිබුණාය.

ඇමැති සජිත්ගෙන් පොරොන්දුවක්

ආසියානු දැල්පන්දු ශූරතාව දිනූ ක්‍රීඩිකාවන්ට උපහාර දක්වමින් රජය මගින් නිවාස ලබාදීමට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා කටයුතු කළේය. එම අවස්ථාවේදී හිටපු දැල්පන්දු සම්මේලන සභාපතිනිය විසින් අප්‍රිකානු කලාපයේ පුහුණු තරග සංචාරයකට අවශ්‍යතාව ගැන ඇමැතිවරයාට කරුණු දැනුම්දී තිබිණි. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ අදාළ සංචාරය වෙනුවෙන් ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීමට තමන් කටයුතු කරන බවයි. එය ප්‍රකාශයකට සීමා නොකොට අදාළ ගුවන් ප්‍රවේශෙපත්‍ර වෙනුවෙන් රුපියල් ලක්ෂ 35කට අධික මුදල් ප්‍රමාණයක් වැයකිරීමට අමාත්‍යවරයා පසුගියදා කටයුතු කළේ ඒ අනුවය. මේ අතර බොට්ස්වානා රාජ්‍යයේ සංචාරය කරනු ලබන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ කළමනාකාරිණිය වශයෙන් කටයුතු කරනු ලබන්නේ හිටපු සභාපතිනි ට්‍රික්සි නානායක්කාර මහත්මියයි.

මෙවැනි පුහුණු සංචාරයක් අවශ්‍ය නැති බවත් එය අවලංගු කරන ලෙසටත් හිටපු දැල්පන්දු පුහුණුකාරිණියන් පිරිසක් මීට පෙර යෝජනා කර තිබියදී මෙම සංචාරය දියත්වීම විශේෂත්වයකි. කෙසේනමුත් ඔවුන් එකල පැවැති ජාතික දැල්පන්දු කණ්ඩායම පුහුණු කටයුතු භාරව කටයුතු කරද්දී මාසයකට අධික කාලයක් තිස්සේ ඔස්ට්‍රේලියාවේ පුහුණු තරග සංචාරයක නියැලීමට අමාත්‍යාංශ ප්‍රතිපාදන ලබාගෙන තිබිණි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා