තහනම් උත්තේජක රකුසා යළිත් මලල ක්‍රීඩා ධාවන පථයෙන් මතුවෙයි! : මීටර් 400-800 ක්‍රීඩකයන් දෙදෙනකුට චෝදනාවක්

 ඡායාරූපය:

තහනම් උත්තේජක රකුසා යළිත් මලල ක්‍රීඩා ධාවන පථයෙන් මතුවෙයි! : මීටර් 400-800 ක්‍රීඩකයන් දෙදෙනකුට චෝදනාවක්

මීටර් 400 සහ 800 යන ඉසව් නියෝජනය කරන මෙරට ක්‍රීඩකයන් දෙදෙනෙක් තහනම් උත්තේජක ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා තහනම් උත්තේජක මධ්‍යස්ථානය පවසයි. එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ පසුගිය කාලයේ පැවැති තරග කීපයකදී අහඹු ලෙස ක්‍රීඩකයන්ගෙන් ලබාගත් මුත්‍ර සාම්පල් පරීක්ෂා කිරීමේදී මේ බව අනාවරණයව ඇති බවයි.

‘අපිට නිල වශයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන තුරු ඒ චෝදනාවට ලක්වන්නේ කවුරුන්ද කියා නිවේදනය කරන්න බෑ. නමුත් මේ ආකාරයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙක් තහනම් උත්තේජක ලබාගෙන ඇති බව සනාථවී තිබෙනවා. අපි ඉදිරි කාල සීමාව තුළ ඔවුන්ට අදාළ චෝදනා ඉදිරිපත් කරලා ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු සිදුකරනවා. එතැනදී අපි ඔවුන්ගේ ‘බී‘ මුත්‍රා සාම්පලය පරික්ෂාවට ලක්කරනවා. එ් වගේම ක්‍රීඩකයාගේ පාර්ශ්වයෙන් කරුණු විමසනවා. ඒ සියලු කරුණු සලකා බලලා තමයි අවසන් තීරණය දැනුම් දෙන්න ක්‍රියා කරන්නෙ’ යැයි ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන්ගේ මුත්‍රා සාම්පල් අහඹු ලෙස ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ආශ්‍රිතවද පරික්ෂා කිරීමට එහි සංවිධායකයන් කටයුතු කර තිබිණි. තහනම් උත්තේජක ලබාගැනීම මාෆියාවක් බවට පත්ව ඇතිබැවින් එම මත්ද්‍රව්‍ය දැලෙන් මිදීමට ශ්‍රී ලංකාව අතිමහත් පරිශ්‍රමයක් දරමින් සිටියදී මෙවැනි තත්ත්වයන් වාර්තාවීම කනගාටුදායකය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා