ප්‍රචණ්ඩත්වය එපා යැයි ක්‍රීඩකයන්ගෙන් සමාජයට පණිවුඩයක්

 ඡායාරූපය:

ප්‍රචණ්ඩත්වය එපා යැයි ක්‍රීඩකයන්ගෙන් සමාජයට පණිවුඩයක්

රට තුළ උද්ගතව ඇති අන්තවාදී ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වන කණ්ඩායම් අතරට එක්ව සිටින ක්‍රීඩකයන් පෙන්වා දෙන්නේ එය වහා පිටුදැකිය යුතු තත්ත්වයක් බවයි. 1983 කළු ජූලියෙන් ඇතිවූ දැඩි පීඩනය ජන සමාජය තුළින් පිටදැම්මේ තිස්වසරක කුරිරු යුද්ධයක් ලෙසින් බවත් ප්‍රචණ්ඩත්වයේ ජාතිවාදී අරමුණු මගින් එකී යුද්ධය පැනනැගුණක් බවත් ඔවුහු පෙන්වා දෙති.

ජන සමාජයේ සාමකාමී භාවය දිවිහිමියෙන් සුරකිමු

ඩිලන්ත මාලගමුව

සාමය සුරක්ෂණය කරමින් සෑම ජාතියකටම නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් උදාකරන මෙන් ආසියාව ජයගත් ලොව සුප්‍රකට මෝටර් රථ ධාවන ශූරයකු වන ඩිලන්ත මාලගමුව සමස්ත ජන සමාජයෙන් ඉල්ලීමක් කරයි. ‘අපි ඉල්ලන්නේ සාමය. අපේ දරුවන්ට, අපේ නූපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉල්ලන්නේ සාමය පමණයි. ඒ වෙනුවෙන් කළ යුත්තේ ජාතිවාදී නොවී, ආගම්වාදයෙන් තොරව කටයුතු කිරීම පමණයි. ඒ වෙනුවෙන් සමස්ත ජන සමාජයට කළ යුතු සුවිශාල කැපකිරීමක් තිබෙනවා. ඒ හැඟීම්වලට යට නොවී බුද්ධිමත්ව ක්‍රියා කිරීමයි’ යැයි සුපිරි මෝටර් රථ ධාවන ශූරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.


එක් ජාතියක් ලෙස කටයුතු කරමු

කුමාර් සංගක්කාර

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන හිටුප සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හා මාලිබෝර්න් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර ටිව්ටර් පණිවුඩයක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ විවිධ දේශපාන න්‍යාය පත්‍රයන්ට හසුනොවී මේ අවස්ථාවේ එක් ජාතියක් ලෙස කටයුතු කිරීම වැදගත් බවයි.

"මඳක් නතරවී ගැඹුරින් සිතන්න. ඔබගේ දෙනෙත් විවෘත කරන්න. ප්‍රචණ්ඩත්වයට, වර්ගවාදයට, වෛරයට හා මැරකම්වලට පරාජය වුවහොත් අපිට අපේ රට අහිමිවෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස එකතුවන්න. සාමකාමීවන්න, අනෙකාව ආරක්ෂා කරන්න. ලැජ්ජානැති, බෙදුණු දේශපාලන න්‍යායපත්‍රවලට හසුවෙන්න එපා. අපි භේදයන් ඉවත් කර එක් ජාතියක් ලෙස නැගී සිටිමු."


දේශපාලන න්‍යායපත්‍රයන්ට හසුවෙන්න එපා

මහේල ජයවර්ධන

මේ පිළිබඳ අදහස් දක්වන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කර ඇත්තේද දේශපාලන න්‍යාය පත්‍රයන්ට හසු නොවී ක්‍රියා කිරීම ඉතා වැදගත් බවයි. උද්ගතවූ තත්ත්වය ඉවහල් කරගනිමින් කවුරුන් හෝ නොසන්සුන්තාවන් ඇති කරයි නම් ඔහු අන්තවාදියෙකු බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ රට පහළට දැමීම පමණක් බවත් මහේල ජයවර්ධන වැඩිදුරටත් පවසා ඇත.


තවත් කළු ජූලියක් එපා

ඇන්ජලෝ මැතිව්ස්

ජාති - ආගම් වාදී ගැටුම් වලින් බොහෝ අහිංසක ජීවිත විනාශ වුණා. යළිත් 1983 සිදුවූ සිදුවීම් වලට රට රැගෙන නොයන ලෙසට මම ආයාචනා කරන්න කැමතියි. අපි එකමුතු වෙමු. අපේ දරුවන් ගැන සිතමු. අපේ සුන්දර රට ආරක්ෂා කරගනිමු යැයි ට්විටර් පණිවුඩයක් මගින් ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලීමක් කර තිබේ.


අතීත පාඩම් අමතක නොකර කටයුතු කරන්න

සනත් ජයසූරිය

යම් කටයුත්තක නියැලීමේදී අතීත පාඩම් අමතක නොකර එය ක්‍රියාවට නැංවිය යුතු බව හිටපු සුපිරි පිතිකරුවකු සහ නායකයකු වන සනත් ජයසූරිය පවසයි. ට්විටර් සටහනක් තබමින් රට තුළ ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වය පිළිබඳ අදහස් දක්වන ඔහු, “අපිට අපේම කියලා රටක් විදියට තියෙන්නේ මේ පුංචි ශ්‍රී ලංකාව විතරයි. ප්‍රචණ්ඩත්වය තුළින් රට තුළ ප්‍රශ්න ඇති වුණොත් එයින් දුර්වල වෙන්න ශ්‍රී ලාංකික අපිමයි. දශක ගණනාවක් හිංසනයන් විඳදරාගනිමින් එයින් පාඩම් උගත් අපි, අනාගත පරම්පරාවන්ටද එම විනාශකාරී අත්දැකීම් ඉතිරි නොකළ යුතුයි” යැයි පවසා ඇත.


ශ්‍රී ලංකාව විනාශ කරන්න එපා

දිමුත් කරුණාරත්න

රට තුළ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයට විසඳුම වර්ගවාදී නොවී කටයුතු කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සිය ට්විටර් ගිණුම හරහා පවසයි. “මේ අපේ රට. කරුණාකර අපේ ශ්‍රී ලංකාව විනාශ කරන්න එපා. ඔබ එකිනෙකාට වෛරයෙන් කටයුතු කරනවා නම් රටක් වශයෙන් අපට කවදාවත් සංවර්ධනය වෙන්න බැරිවේවි.

ඔබගේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න. අපේ අනාගතය රැඳී තිබෙන්නේ ඔබේ ක්‍රියාකාරිත්වය අනුවයි. ආදරය පතුරවන්න. වර්ගවාදයට එරෙහිව නැගී සිටින්න” සැමවිටම අාදරය පතුරුවන් යැයි ඔහු සිය ට්විටර් සටහන මගින් දක්වා ඇත.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා