අකලංක පීරිස් ලෝක ශූරතා බලාපොරොත්තුවක

 ඡායාරූපය:

අකලංක පීරිස් ලෝක ශූරතා බලාපොරොත්තුවක

එළැඹෙන ජුලි මාසයේදී දකුණු කොරියාවේ ගුවන්ජුහි පැවැත්වීමට නියමිත ලෝක ශූරතා දිගු දුර පිහිනුම් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු ඇතුව අකලංක පීරිස් සිංගප්පූරු ජාතික පිහිනුම් තරගාවලියට සහභාගි වෙයි. ඔහු එම තරගාවලිය සඳහා ලබන ජූනි මාසයේ සිංගප්පූරුව බලා පිටත්වන බව අකලංක පීරිස්ගේ පුහුණුකරු වන ෂෙහාන් ඩයස් ‘රැස’ට පැවසීය.

ලෝක ශූරතා පිහිනුම් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මීටර 50 පසුපස ආර ඉසව්වේ පරිසාධන කාලය තත්ත්පර 26.05කි. අකලංක පීරිස් එම ඉසව්ව නිම කිරීම සඳහා ගත කර ඇති කාලය වන්නේ තත්ත්පර 26.22කි. පසුගිය අප්‍රේල් මාසයේදී දේශීය තරගාවලියකදී අකලංක තම ඉසව්ව තත්ත්පර 25.75කට සහ 25.70ට අවසන් කිරීමට සමත් වුවත් එම තරගාවලි ලෝක ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ මට්ටමේ තරගාවලි ලෙස නොසැලකෙයි. එහෙයින් එම දක්ෂතාවය ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් ලෙස නොසලකන බව ඔහුගේ පුහුණුකරුවා පවසයි.

එසේ හෙයින් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා තත්ත්පර 26.05ට අඩු කාලයකින් තරගය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් සිංගප්පූරුවේ පැවැත්වෙන එරට ජාතික පිහිනුම් තරගාවලියට සහභාගී වීමට අකලංක බලාපොරොත්තුවන බව ඩයස් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වන විටත් මැතිව් අබේසිංහ නියමිත පරිසාධන මට්ටම පසුකකර ඇති හෙයින් ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට නියමිතය.

ලෝක ශූරතා පිහිනුම් තරගාවලිය සෑම වසර දෙකකට වරක්ම පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම තරගාවලියට සහභාගීවීමට නියමිතව ඇති පළමු අවස්ථාව මෙයයි. මෙතෙක් ලෝක ශූරතා පිහිනුම් තරගාවලියකට අවශ්‍ය පරිසාධන මට්ටමට ළඟාවීමට හැකිවී ඇත්තේ මැතිව් අබේසිංහට පමණි.

[ඩබ්.ආර්. කුමාර]

මාතෘකා