බංග්ලාදේශය හමුවේ කොදෙව්වෝ යළි පසුබෑමක

 ඡායාරූපය:

බංග්ලාදේශය හමුවේ කොදෙව්වෝ යළි පසුබෑමක

වමත් වේගපන්දු යවන ක්‍රීඩක මුෂ්ටාෆිසූර් රහමාන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කොදෙව් ඉනිම ලකුණු 247කට සීමා කළ බංග්ලාදේශ කණ්ඩායම එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී සම්පූර්ණ කරමින් කඩුලු 5ක ජයක් ලැබීමට සමත් විය.

ඩබ්ලින්හි පැවැති තරගයේදී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට කොදෙව් නායක ජේසන් හෝල්ඩර් කීරණය කළ අතර අර්ධ ශතක රැස් කළ ආරම්භක පිතිකරු ෂායි හෝප් (87) සහ නායක ජේසන් හෝල්ඩර් (62) ගේ දායකත්වයෙන් ලකුණු 247ක් රැස් කිරීමට කොදෙව්වෝ සමත් වූහ.

කොදෙව් ඉනිමේ කඩුලු 4ක් ලකුණු 43කට බිඳ දැමීමට මුෂ්ටාෆිසූර් රහමාන් සමත් විය. මෂ්රාෆි මොටාර්සාද ලකුණු 60කට කඩුලු 3ක් දවා ගත්තේය. බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු 63ක් රැස් කළ මුෂ්ෆිකර් රහීම් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ආරම්භක පිතිකරු සෞම්‍යා සර්කාර්ද ලකුණු 54ක් සිය කණ්ඩායමට එක් කළේය.

මෙම තරගය ජය ගැනීමත් සමගම බංග්ලාදේශය සහභාගීවූ තරග තුනෙන් දෙකක් ජය ගනිමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටී.

ලකුණු සාරාංශය

බ.ඉ.කොදෙව් (පන්දුවාර 50දී, කඩුලු 9 දැවී) 247 (ෂයි හෝප් 87, ජේසන් හෝල්ඩර් 62, සුනිල් ඇම්බ්‍රිස් 23, මුෂ්ටාෆිසූර් රහමාන් 4/43, මෂ්රාෆි මොටාර්සා 3/60)

බංග්ලාදේශය (පන්දුවාර 47.2කදී කඩුලු 5ක් දැවී) 248 (මුෂ්ෆිකර් රහීම් 63, සෞම්‍ය සර්කාර් 54, මොහොමඩ් මිථුන් 43, මහමුදුල්ලා නොදැවී 30, ඈෂ්ලි නර්ස් 3/53)

මාතෘකා