සිව්වෙනි වරටත් IPL කිරුළ මුම්බායි ඉන්දියන්ස්ට

 ඡායාරූපය:

සිව්වෙනි වරටත් IPL කිරුළ මුම්බායි ඉන්දියන්ස්ට

‘අවසන් පන්දුවාරයේදී ක්‍රීඩා කළ සර්දුල්ව හොඳින් දන්නවා. ඔහුගේ ක්‍රීඩා රටාව ගැන දන්නවා. ඒ හැඳිනීම නිසා ඔහුට ක්‍රීඩා කරන්න අවශ්‍ය වන්නේ මොනවගේ පහරක්ද කියන එක ගැනත් අපට අවබෝධයක් තිබුණා. ඒ අනුව වේගය අඩාල කළ පන්දුවක් එවන්න සුදුසුයි කියලා මමයි මාලිංගයි තීරණය කළා. නිසැකවම ඔහු ලොකු පහරක් එල්ල කරන්න උත්සහ කරනවා. එවිට උඩපන්දුවක් අල්ලා ගන්න අවස්ථාවක් උදාවිය හැකියි කියලා අපි තීරණය කළා. කොහොම නමුත් එතැනදී ඔහු කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්න හැකිවුණා.

2017 වසරේදීත් මම මුම්බායි කණ්ඩායමේ නායකයා වශයෙන් මේ වගේ අභියෝගයකට මුහුණ දුන්නා. ඒ ගමන මට තිබුණේ අවසන් පන්දුවාරයේදී ලකුණු 11ක් ලබානොදී එය ප්‍රතිවාදීන්ගෙන් ආරක්ෂා කරගන්නයි. එම තරගයේදී පන්දු යැවීමේ වගකීම ලෝකයේ ඉදිරි පෙළ පන්දුයවන්නකු ලෙසින් සැලකුණු මිචෙල් ජොන්සන්ට පැවරුවා. ඔහුත් තම වගකීම ඉටු කරමින් අවසන් පන්දුවේදී එක් ලකුණකින් මුම්බායි පිලට ජයග්‍රහණය ලබාදුන්නා. ඒ වගේම මේ තරගයේදීත් අත්දැකීම් බහුල ක්‍රීඩකයකුට මේ අභියෝගය බාරදිය යුතුයි කියා මම සිතුවා. ලකුණු නවයක් අවසන් පන්දුවාරයේදී ලබාගන්න කියද්දී ඕනෑම දෙයක් වෙන්න හැකියි. මෙවැනි අවස්ථාවකදි අත්දැකීම් වැදගත් වන්නේ ඒ නිසයි.

මාලිංග මෙවැනි අභියෝගයන්ට ඕනෑතරම් මුහුණදී ඇති ක්‍රීඩකයෙක්. ඔහු පන්දුවාර විස්ස තරග විශේෂඥයෙක්. අපි ඔහුට එය කළ හැකි බව පවසමින් ඔහු ධෛර්යමත් කළා. ඔහු අවසානයේ ඒ දේ කළා’ ජයග්‍රාහී කණ්ඩායම් නායක රෝහිත් ෂර්මා පවසයි.

අයි.පී.එල්. ශූරතා පහක් දිනාගත් කණ්ඩායම්වල සාමාජිකයෙකු වීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, ‘ඒවා එකිනෙකට වෙනස් අභියෝගයන්. එකක් අමාරුවුණා. එකක් සුවිශේෂයි කියලා කියන්න බැහැ. හැම තරගාවලියකටම වෙනවෙනම අභියෝග තිබුණා. ඔබ දන්නවා අයි.පී.එල්. තරගාවලියක් ජයගැනීම කොතරම් අසීරුද කියලා?’ යැයි පවසා ඇත.

අවසන් තරගයක තිබිය යුතු තියුණු බව සහ උද්වේගකර බව නොඅඩුව ප්‍රදර්ශනය වූ මෙවර IPL අවසන් මහා තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ඒ අවසන් තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය කරමිනි.

තරගයේ ජය ගැනීම සඳහා අවසන් පන්දුවේදී චෙන්නායි කණ්ඩායමට ලකුණු 2ක් ලබා ගැනීමට තිබූ අතර පන්දුවට පහර දෙමින් සිටි ෂර්දුල් තාකූර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට පන්දු යවන්නා වූ ලසිත් මාලිංග සමත් වීමත් සමගම මුම්බායි කණ්ඩායමට ජය හිමි විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20දී ලකුණු 149ක් ලබා ගත්තේ කඩුලු 8ක් දැවී තිබියදීය. කිරන් පොලාඩ් පන්දු 25කින් නොදැවී ලකුණු 41ක් රැස් කළේ හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කරමිනි.

චෙන්නායි කණ්ඩායමට තරගයේ ජය ගැනීමට ලකුණු 150ක ඉලක්කයක් හිමි වූ අතර ආරම්භක පිතිකරු ෂේන් වොට්සන් පන්දු 59කින් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් විය. අවසන් පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ලකුණු 9ක් ලබා ගැනීමට සිදුවී තිබූ අතර මාලිංග යැවූ අවසන් පන්දුවාරයේදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 7ක් පමණි.

ඒ සමගම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිව්වෙනි වතාවටද IPL කුසලානය හිමිකර ගැනීමට සමත් වූ අතර මෙතෙක් එම දස්කම කළ එකම කණ්ඩායම ඔවුන්ය. චෙන්නායි කණ්ඩායම තෙවරක් IPL කුසලානය හිමිකර ගැනිමට සමත්ව සිටී.

මාතෘකා