අයුතු මංවලින් සතුට සොයා ජීවිතය අවුල් කරගත් ක්‍රිකට් ක්‍රීඩකයෝ

 ඡායාරූපය:

අයුතු මංවලින් සතුට සොයා ජීවිතය අවුල් කරගත් ක්‍රිකට් ක්‍රීඩකයෝ

ස්ත්‍රී දූෂණය නැතහොත් අපයෝජනය යනු පිටුදැකිය යුතු සංසිද්ධියකි. ඒ පිළිබඳ කිසිදු තර්කයක් නැත. ස්ත්‍රී දූෂණය නැතහොත් අපයෝජනය සමාජ ගතවූයේ මිනිසා නිර්මාණය වුණු දා සිට ලිංගිකත්වය කුතුහලයක් වූ හෙයින් විය යුතුය. එම කුතුහලය සංසිඳවා ගැනීමේ ප්‍රතිඵලය ඔස්සේ ලිංගිකත්වය සමාජගත වන්නට විය. ලිංගිකත්වය නෛතික රාමුවක සිරගත කිරීම වෙනුවෙන් සම්මත සමාජය තුළ අවාහ විවාහ සිරිත් හඳුන්වා දෙනු ලැබිණි. විශ්වාසය පෙරදැරිව විවාහ ජීවිත ගත කළ මිනිසුන් අතරට කසාදය නැතහොත් විවාහය නීතිගත කර එන්නේ අනාගතයේ නිර්මාණයවිය හැකි ව්‍යසනයක් සම්බන්ධයෙන් පූර්ව අවබෝධයක් සහිතවය. එය ඇතැමුන් විවිධාකාරයෙන් විවේචනයට බඳුන් කළද පුළුල් වශයෙන් සලකන කල්හි විශ්වාසය මත පදනම්වූ විවාහ ක්‍රමවේදයට එක්කළ තවත් අතිරේක අසව්වක් ලෙස නෛතික විවාහය දැක්විය හැකිය.

විවාහය වැනි සමාජය පිළිගන්නා සම්මත ක්‍රමවේදයන් නිර්මාණය වද්දී ස්ත්‍රී දූෂණය නැතහොත් අපයෝජනය වැනි අසම්මත ක්‍රමවේදයන් තවදුරටත් සමාජය තුළ පවතින්නේ මිනිස් මනස ශික්ෂණයට පත්කළ හැකි දර්ශනයක් ඇස නොගැටෙන විටයැයිද කිව හැකිය. මෙතැනදී ආගම සතුව සුවිශේෂ කාර්ය භාරයක් ඇතැයිද ඇතැම්විට පිළිගත යුතුය. අප එසේ කියන්නේ ආගමික ඉගැන්වීම් මගින් රාජ්‍ය පාලනයට සහය ලබා දීම අපේක්ෂිත බව පිළිගත යුතු හෙයිනි. රාජ්‍ය විසින් සම්මත කළ සමාජයීය නෛතික රාමුව තවදුරටත් සුරක්ෂිත කර ඉදිරියට රැගෙන යාමට ආගම පිටිවහලකි. එ් අනුව ස්ත්‍රී දූෂණය පිටුදකින්නට බොහෝ ආගම් පිටුබලය සපයන්නේයැයි පිළිගත යුතුය. (එසේ නොවන දිව්‍ය සම්පත්තිය හිමිකර ගැනීමේදී කාන්තාවන් වැඩි ප්‍රමාණයක් ඇසුරු කිරීමට අවස්ථාව හිමිවේයැයි උගන්වන ආගම්ද ඇතැයි කියැවෙයි) ආගම හැරුණු කළ ස්ත්‍රී දූෂණය වැනි විවිධ ස්ත්‍රී අපයෝජන නවත්වන්නට සමත්වන තවත් ක්‍රමවේදයක් ලෙස ක්‍රීඩාව දැක්විය හැකිය. එවන් ක්‍රීඩාව තුළින්ද ස්ත්‍රී දූෂණ, අපයෝජන ක්‍රියා වාර්තාවී තිබේ. එහෙත් ක්‍රීඩා ලෝකය ආශ්‍රිතවද ස්ත්‍රී අපයෝජන ක්‍රියා තවමත් වාර්තා වෙමින් ඇති හෙයින් එය මුලිනුපුටා දැමීමේ හැකියාව උදාවී නැත. අප මේ සම්බන්ධයෙන් කතාකරන්නේ පසුගියදා එංගලන්ත අධිකරණයක් මගින් ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඇලෙක්ස් හෙප්බර්න්ට දූෂණ චෝදනා සම්බන්ධයෙන් ලබාදුන් සිර දඬුවමක් හේතුවෙනි. ඔහුට පෙර ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව මේ ආකාරයෙන් සිරබත් කෑ 11 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තාවී ඇත. ක්‍රීඩාවෙන් උපයාගත් තම ගෞරවය එක මොහොතකින් විනාශ කරගත් මිනිසුන් වශයෙන් මෙම දූෂණ වෙනුවෙන් සිර දඬුවම් විඳි පුද්ගලයන් හැඳින්විය හැකිය. සියලු දූෂණ පිටුදැකිය යුතු වන හෙයින් ක්‍රිකට් ක්‍රීඩාව නමැති මලසුන මත පැහැරූ ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මෙමගින් විස්තර කරනු ලැබේ. ඔබ මෙය කියැවිය යුත්තේ දූෂණයේ ආහ්ලාදය සොයා නොව දූෂණය නැතහොත් අපයෝජනය හේතුවෙන් කලක් තිස්සේ ගොඩනැංවූ ස්වකීය කීර්තිය එසැණින් පළුදු කරගත් දුර්වලයකු නොවිය යුත්තේ ඇයිදැයි යන්න දැඩිව පසක් කරවාලන්නටය.

මකායා එන්ටිනි

දකුණු අප්‍රිකාවේ මකයා එන්ටිනි වේගවත් ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ආරම්භක පන්දු යවන්නෙකි. ඔහු ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්වූයේ 1999 වසරේදීය. දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පළමු කළු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා වූ එන්ටිනිගේ දූෂණ චෝදනාව විභාග කළ අධිකරණය සය වසරක සිර දඬුවමක් පැනවූ අතර පසුව නීති තර්ක ඉදිරිපත් කරමින් ඉදිරිපත් කළ අභියාචනයක් මගින් ඔහු නිදහස් විණි. දූෂණයක් සිදුකළ බව ඔප්පු කිරීමේදී ඇතිවන විවිධ අපහසුතා මැද දූෂණයට ලක්වූ තැනැත්තිය පරාජය කිරීමට සිය විවිධ හැකියාවන් යොදාගනිමින් නිදහස ලබාගත්තද එකී චෝදනාවන්ට තමන් වැරදිකරුද නිවැරදිකරුදැයි දන්නේ මකායා එන්ටිනිම පමණි.

ස්ටීව් රැන්ඩෙල්

ඔස්ට්‍රේලියාව තුළ ක්‍රීඩකයකු වශයෙන් නමක් හිමිකරගෙන සිටි ස්ටීව් රැන්ඩල් වමත් පිතිකරුවකු වන අතර දකුණු දිග හෝබාර්ට් සහ සිඩ්නි බේ ක්‍රීඩා සමාජ නියෝජනය කළේය. පසුව ජාත්‍යන්තර විනිසුරුවකු බවට පත්වූ ඔහු ප්‍රාථමික විදුහල් ආශ්‍රිතව ගුරුවරයකු වශයෙන්ද ක්‍රියා කර තිබූ යුගයේ පාසල් සිසුවියන් 9 දෙනෙකු අපයෝජනය කළ බවට චෝදනා එල්ලවිණි. ඒ අනුව අධිකරණය මගින් වසර හතරක සිර දඬුවම් පමුණවනු ලැබුණේය.

ලොරී විල්මොට්

ලොරී දකුණු අප්‍රිකාව පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් ක්‍රීඩා කළේ 1960 සිට 1989 දක්වා කාල සීමාවේදීය. 2000 වසරේදී ඔහු ස්ත්‍රී දූෂණ චෝදනාවන්ට ලක්වූ අතර 13 වියැති දැරියක් අපයෝජනය කළ බව සැලවීමෙන් අනතුරුව ඇරඹි නඩු විභාගයෙන් ඔහු වසර 12කට සිර දඬුවමකට ලක්විය. එහෙත් ඔහු තමන්ටම වෙඩි තබා ගනිමින් දිවි හානි කරගනිද්දී ඔහුගේ වයස අවුරුදු 60ක් විය.

ඇලන් ලිලී

එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඔහු 2011 වසරේදී ස්ත්‍රී දූෂණ චෝදාවකට ලක්ව ඇප ලබා නිදහස් විය. එසෙක්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලිංගික අපයෝජනයන්ට චෝදනා එල්ලවීමත් සමඟ පවුම් 75000 ලැබුණු ඔහුගේ එසෙක්ස් විධායක ධුරයෙන්ද පහ කෙරුණේය.

උදේ ජෝෂි

රංජි කුසලාන තරගාවලිය වෙනුවෙන් ගුජරාටය නියෝජනය කර ඇති පිට දඟ පන්දුයවන්නකු වන උදේ ජෝෂි පිරිෙමි දරුවකු අපයෝජනය කර ඇති බවට චෝදනා එල්ලවුණේ 2012 වසරේදීය. වසර තිහකට පමණ ඉහත සිදුකළ දූෂණ චෝදනාව ඉදිරිපත්වනවිට ඔහුගේ වයස අවුරුදු 68කි. ඒ අනුව වසර හයක සිර දඬුවමකට යටත්වීමට ජෝෂිට සිදුවූයේ වරදක් කර දශක කීපයක් ගතවුණද ගැලවුමක් නොමැති බව මෙයින් සමාජයට පසක් කරගත හැකිය.

රියාන් හින්ඩ්ස්

2012 වසරේදී ඔහුට චෝදනා එල්ලවූ අතර විසි අට හැවිරිදි කාන්තාවක් අපයෝජනය කිරීම චෝදනාව විණි. පසුව ඇප මත නිදහස් වූ ඔහු 2014 වසරේදී දඬුවමෙන් තොරව නිදහස ලැබූයේ ප්‍රමාණවත් තරම් සාක්ෂි ඉදිරිපත්කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වූ බව පවසමිනි.

පීටර් රීබක්

පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් ජනාදරයට ලක්ව පසුව ග්‍රන්ථකර්තෘවරයකු සහ ක්‍රීඩා විස්තර විචාරකයකු ලෙසද සැලකෙන පීටර් රීබක් දූෂණ චෝදනාවන්ට ලක්වූයේ 2011 වසරේදීය. අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණෙද්දී එහි සයවැනි මහලෙන් පැන රීබක් දිවි නසාගෙන තිබිණි. සමරිසි සම්බන්ධතා ගණනාවකට ඔහු චෝදනා ලැබ තිබූ බව පසුව කියැවුණු නමුත් එය අසත්‍යයක් බවත් සියදිවි හානිකරගැනීම මවා පෑමක් බැවින් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස රීබක්ගේ පවුලේ ඥාතීන් පසුව දකුණු අප්‍රිකානු රජයෙන් ඉල්ලීමක් කර තිබුණේය.

ඉයන් කිංග්

ඔස්ට්‍රේලියාවේ ක්ව්න්ස්ලන්ත වාසී ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඔහු ළමා අපයෝජන සම්බන්ධයෙන් චෝදනා ලැබ ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක්විණි. ඔහුට එරෙහිව පිරිමි දරුවන් 20ක් අපයෝජනය කළ බවට චෝදනා එල්ලවී තිබුණු අතර මානසික සෞඛ්‍ය හේතුවෙන් දඬුවම් ලබාදීම කල්දමනු ලැබිණි. පසුව මනෝවෛද්‍ය නිර්දේශයන්ට අනුව ඔහු දඬුවමට යෝග්‍ය බව තීරණය කරනු ලැබුණු බව ඔස්ට්‍රේලියානු වාර්තා සඳහන් කළේය.

ලියුක් පොමර්ස්බැච්

ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයකු වන පොමර්ස්බැච් ස්ත්‍රියකට ලිංගික අඩන්තෙට්ටම් කළ බවට චෝදනාවට ලක්වූයේ 2012 වසරේ ඉන්දියාවේදීය. නව දිල්ලි නුවර පිහිටි හෝටලයකදී මේ ආකාරයෙන් ලිංගික අපයෝජනයන්ට හසුවූ පොමර්ස්බැච් 2013 වසරේ අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් කිංග්ස් ඉලවන් පංජාබ් පිල මිලදී ගෙන සිටියෙකි.

 

මානික් සිං

2014 වසරේදී මානික් සිං නමැති මැලේසියානු ක්‍රිකට් ක්‍රීඩයකු දවස් අනූවක කාලයක් කොන්දේසි සහිතව ඇප ලැබූයේ සමාජ ජාලා මාර්ගයෙන් අවුරුදු 13 දැරියක් අපයෝජනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට උත්සහ කළ බව පොලිසිය චෝදනා කරමිනි.

 

රුබෙල් හොසේන්

බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන හොසේන් විවාහ කරගන්නා බව පවසමින් තම පැරණි පෙම්වතිය 2015 වසරේදී දූෂණයට ලක්කර ඇතිබවට චෝදනා එල්ල විය. එවිට ඇගේ වයස අවුරුදු 19ක් බව වාර්තා විණි. ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ඔහුට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කළ අතර එම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද අහිමිවී ගියේය. ඒ වෙනුවෙන් විශේෂයෙන් ඔහු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබිණි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා