ඉම්රාන්ගේ පාකිස්ථානය 92 ලෝක කුසලාන ඩැහැ ගනී

 ඡායාරූපය:

ඉම්රාන්ගේ පාකිස්ථානය 92 ලෝක කුසලාන ඩැහැ ගනී

මෙතෙක් පැවැති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි අතර ආකර්ෂණීයම සහ විචිත්‍රවත්ම තරගාවලිය වූයේ 1992 පැවැති පස් වැනි ලෝක කුසලාන තරගාවලියයි.

සෑම සිව් වසරකටම වරක් තරගාවලිය පවත්වන නමුත් 1987 සිව්වෙනි ලෝක කුසලාන තරගාවලියෙන් පසුව 1991දී පැවැත්විය යුතුව තිබූ තරගාවලිය පැවැතුණේ 1992 වසරේදීය. තරගාවලියේ සමසත්කාරකයන් වූයේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයයි.

ඉතිහාසයේ පළමු වතාවට දිවා රාත්‍රී තරග පැවැති අතර ඊට අනුකූල වන ලෙස සුදු පන්දුව සහ කළු දර්ශන තිරයක්ද පළමුවරට ලෝක කුසලාන තරගාවලියකදී යොදා ගත්තේ මෙම තරගාවලියේදීය. සියලුම කණ්ඩායම් වර්ණ ඇඳුම් සහ ආවරණ පැළඳෙි අතර උපකරණද වර්ණ සහිත විය.

පෙබරවාරි 22 වැනිදා සිට මාර්තු 25 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 11කදී සහ නවසීලන්තයේ ක්‍රීඩාංගණ 7කදී තරගාවලිය පැවැතිණි. තරගාවලිය සඳහා පළමු වරට රටවල් 9ක් එක් වූයේද මෙම තරගාවලියේදීය. සත්කාරක රටවල් දෙක සමග එංගලන්තය, ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සමග ටෙස්ට් වරම් නොතිබූ සිම්බාබ්වේ කණ්ඩායම තරගාවලියට එක්වූ පළමු කණ්ඩායම් 8යි. වසර 21ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් පිටමංකර සිටි දකුණු අප්‍රිකාව පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට එක්වෙමින් 9 වැනි රට ලෙස මෙම තරගාවලියට එක් විය.

පළමු වරට සෑම කණ්ඩායමක්ම එක් එක් කණ්ඩායම් සමග තරග වැදිය යුතු විය. පළමු වටයේ තරග අවසන් වන විට සහභාගි වූ තරග 8න් 7ක් ජයගෙන ලකුණු සටහනේ පෙරමුණේ පසුවූයේ නවසීලන්තයයි. එංගලන්තය දෙවැනි තැනටත් දකුණු අප්‍රිකාව තෙවැනි තැනටත් පත්වූහ. පාකිස්ථානය සිව්වෙනි ස්ථානය ලබා ගනිමින් අවසන් පූර්ව වටයට එක් විය.

අවසන් පූර්ව තරග

පළමු අවසන් පූර්ව තරගය පැවැතියේ නවසීලන්තය සහ පාකිස්ථානය අතරයි. පළමුව ලකුණු රැස් කළ නවසිලන්තය පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් විය. කඩුලු පහක් දැවී පන්දුවාරයක් ඉතිරිව තිබියදී නියමිත ඉලක්කය සපුරාගත් පාකිස්ථානය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

දෙවැනි අවසන් පූර්ව තරගය පැවැතුණේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරය. එංගලන්තය නියමිත පන්දුවාර 50දී කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 252කි. ග්‍රැහැම් හික් ලකුණු 83ක් රැස් කළේ පන්දු 90කිණි.

දකුණු අප්‍රිකානුවන් ඉතා කල්පනාවෙන් ලකුණු රැස් කළ අතර ඇන්ඩෘ හඩ්සන් පන්දු 52කට ලකුණු 46ක් රැස් කළ අතර ඒඩ්‍රියන් කුයිපර් ලකුණු 36ක් රැස් කළේ පන්දු 44කිණි. විශිෂ්ට හඹා යෑමක නිරත වූ ජොන්ටි රෝඩ්ස් ලකුණු 43ක් ලබා ගත්තේ පන්දු 38ක් තුළදීය. වර්ෂාව හේතුවෙන් තරගය අතර මග නතර කිරීමෙන් පසුව වර්ෂාව නිසා අහිමිවූ කාලය සඳහා පන්දුවාර කිහිපයක් අඩු විය. ඉන් පසුව ඔවුනට ලැබුණු ඉලක්කය වූයේ පන්දු 13කින් ලකුණු 24කි. ඒ වන විට බ්‍රයන් මැක් මිලන් ලකුණු 21ක් සහ ඩේවිඩ් රිචඩ්සන් ලකුණු 13 ලබා නොදැවී ක්‍රීඩා කරමින් සිටියහ. නැවතත් වර්ෂාව හේතුවෙන තරගය නතර කරන ලද අතර පසුව පන්දු 7කින් ලකුණු 22ක් ලෙසද අවසාන වශයෙන් එක් පන්දුවකට ලකුණු 21ක් ලෙසද ඉලක්කය වෙනස් විය. ලබා ගත නොහැකි ඉලක්කය හමුවේ පිටියට පැමිණි දකුණු අප්‍රිකානු පිතිකරුවන් ඉතිරිව තිබූ පන්දුවට එක් ලකුණක් පමණක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වූයේ වර්ෂාවට පරාජය වීමෙනි. එංගලන්තය වර්ෂාවට පින් සිදු වන්නට ලකුණු 19කින් තරගය ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

අවසන් මහා තරගය

මාර්තු 25 වැනිදා මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පාකිස්ථානය ලෝක කුසලාන අවසන් තරගයක් සඳහා පළමු වරට මුහුණ දෙන විට එංගලන්තය තෙවැනි වරටත් අවසන් මහා තරගයකට එක් විය. ඒහෙත් ඒ වන විට එංගලන්තයද එක් වරක් හෝ ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගැනීමට වාසනාවන්තවී නොතිබුණි.

අවසන් තරගය සඳහා ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන පාකිස්ථානු කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවා වූයේ ඉම්රාන් සමග 1975 පළමු ලෝක කුසලානයේ සිටම පස් වැනි ලෝක කුසලානය දක්වා නියෝජනය කළ ජාවෙඩ් මියන්ඩාඩ්ය. පිතිකරුවන් ලෙස රමීස් රාජා, අමීර් සොහෙල්, සලිම් මලික්, ඉන්සමාම් උල්හක් සහ ඉජාස් අහමඩ් ඇතුලත් විය. ප්‍රවේගකාරී ලෙස පිත්ත හසුරුවන මොයින් ඛාන් කඩුලු රකින්නා විය. වසීම් අක්‍රම් සහ අකීබ් ජාවඩ් වේග පන්දු යවන්නන් ලෙසද මුෂ්ටාක් අහ්මඩ් දඟ පන්දු යවන්නා ලෙස කණ්ඩායමට එක් විය.

ග්‍රැහැම් ගූච් එංගලන්ත කණ්්ඩායම මෙහෙයවූ අතර තුන් ඉරියවු ක්‍රීඩක ඉයන් බොතම් ගූච්ගේ සහායක ආරම්භක පිතිකරුවාය. ග්‍රැහැම් හික්, කඩුලු රැකීමේ කාර්යය බාරවී තිබූ ඇලෙක් ස්ටුවර්ට්, නීල් ෆෙයාබ්‍රදර්, සහ ඇලන් ලෑම්බ් පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක් වන විට ක්‍රිස් ලුවිස් සහ ඩර්මොට් රීව් තුන් ඉරියවු වේගපන්දු යවන්නන් ලෙසද ඩෙරික් ප්‍රින්ගල් සහ පිලිප් ඩිෆ්රෙයිටාස් වේගපන්දු යවන්න ලෙස සහ රිචඩ් ඉලිංවර්ත් දඟ පන්දු යැවීම සඳහා කණ්ඩායමට එක් වූහ.

කාසියේ වාසිය දුනූ ඉම්රාන් ඛාන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දුවාර 8ක් අවසන් වන විට මුලු ලකුණු සංඛ්‍යාව 24කි. ඒ වන විට පාකිස්ථාන ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඩෙරික් ප්‍රින්ගල් සමත් විය. ඉන්පසුව පිටියේ එක් වූයේ මෙතෙක් පැවැති සියලුම ලෝක කුසලාන තරගාවලින්හි අත්දැකීම් සහිත පිතිකරුවන් දෙදෙනා වූ නායක ඉම්රාන් ඛාන් සහ උපනායක ජාවෙඩ් මියන්ඩාඩ්ය. ඔවුන් දෙදෙනා සෙමින් ඉනිම ගොඩනැගූහහ. පන්දුවාර 25දී ලකුණු සංඛ්‍යාව 72ක් විය. පන්දුවාර 30දී ලකුණු සංඛ්‍යාව වූයේ 96කි. 35 වැනි පන්දුවාරයේදී මුලු ලකුණු සංඛ්‍යාව 124ක් විය. දැවී තිබුණේ කඩුලු 2කි. 40 වැනි පන්දුවාරය වන විට ලකුණු 160 සීමාවට පැමිණෙමින් දල ලකුණු ලබා ගැනීමේ වේගය පන්දුවාරයකට ලකුණු 4ක සීමාවට ගෙන ඒමට ඉම්රාන් සහ මියන්ඩාඩ් සමත් වූහ. මුල ලකුණු සංඛ්‍යාව 163ක්ව තිබියදී ඉලිංවර්ත්ගේ පන්දුවකට මියන්ඩාඩ් එල්ල කළ රිවර්ස් ස්වීප් පහර නැවැතුනේ බොතම්ගේ දෑත් තුලය. මියන්ඩාඩ් ලකුණු 58 රැස් කළේ පන්දු 98කිණි. ඉම්රාන් ලකුණු 72කට දැවී ගියේ පන්දු 110ක් තුලය. ඉන්පසුව පිටියට පැමිණි ඉන්සමාම් පන්දු 35කින් ලකුණු 42ක් සහ වසීම් අක්‍රම පන්දු 18කින් ලකුණු 33ක් රැස් කළ නිසා පහසුවෙන්ම ලකුණු 249ක් ලකුණු පුවරුවට එක් කිරීමට පාකිස්ථානුවන්ට හැකි විය. අවසන් පන්දවාර 5දී ලකුණු 44ක් රැස් කිරීමට ඔවුන් සමත්ව සිටියේය.

පාකිස්ථානයට තර්ජනයක් වූ ඩෙරික් ප්‍රින්ගල් පන්දුවාර 10දී ලකුණු 22කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 250 ඉලක්කය එංගලන්තයට පහසු නොවීය. බොතම් ලකුණු 0කට දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 6දීය. මුලු ලකුණු සංඛ්‍යාව 69ක් වන විට ගූච් (29), ස්ටුවර්ට් (7) සහ හික් (17) ක්‍රීඩාගාරයට හරවා යැවීමට පාකිස්ථානුවෝ සමත් වූහ. ලෑම්බ් සහ ෆෙයාබ්‍රදර් පස්වැනි කඩුල්ලට ලකුණු 72ක් එක් කිමට සමත් වන විට එංගලන්ත ක්‍රීඩා ලෝලීහු ජයග්‍රාහී ලීලාවෙන් පසු වූහ. 34 වැනි පන්දුවාරය යැවූ වසීම් අක්‍රම් එම පන්දුවාරයේ පස්වැනි පන්දුවෙන් ලෑම්බ් දවා ගැනීමට සමත් වූ අතර භයානක පිතිකරුවෙකු වූ ක්‍රිස් ලුවිස්ව ඊළඟ පන්දුවෙන්ම දවා ගත්තේ ලකුණු බින්දුවකටය. ලකුණු 141ට කඩුලු 4ක් තිබූ එංගලන්ත ඉනිම 141කට කඩුලු 6ක් විය. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ ෆෙයාබ්‍රදර් ලකුණු 62කට දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 180දීය. ඒ සමගම එංගලන්තයේ පරාජය දෘශ්‍යමාන වූ අතර මුලු ලකුණු සංඛ්‍යාව 227ක් වන විට ඉලිංවර්ත් ඉම්රාන් ගේ පන්දුවකට රමීස් රාජා අතට උඩපන්දුවක් ලබා දුන්නේ පස් වැනි ලෝක කුසලානයද පාකිස්ථානුවන් අතට පත් කරමිණි.

තරගයෙන් ලකුණු 22ක ජයක් ලැබූ පාකිස්ථානය දෙවැනි වරටත් ආසියාවට ලෝක ක්‍රිකට් කුසලානය ගෙන ඒමට සමත් විය.

 

ලකුණු පුවරුව

පාකිස්ථානය

අමීර් සොහෙල් ඇ. ස්ටුවර්ට් ප. ප්‍රින්ගල් 4

රමීස් රාජා ක.මු.ක. ප. ප්‍රින්ගල් 8

ඉම්රාන් ඛාන් ඇ. ඉලිංවර්ත් ප. බොතම් 72

ජාවඩ් මියන්ඩාඩ් ඇ. බොතම් ප. ඉලිංවර්ත් 58

ඉන්සමාම් උල් හක් ප. ප්‍රින්ගල් 42

වසීම් අක්රම් දුවද්දී දුවී 33

සලීම් මලික් නොදැවී 0

අතිරේක 32

මුලු ලකුණු (පන්දුවාර 50 දී කඩුලු 6ක් දැවී) 249

 

පන්දු යැවීම

ඩෙරික් ප්‍රින්ගල් 10-2-22-3

ක්‍රිස් ලුවිස් 10-2-52-0

ඉයන් බොතම් 7-0-42-1

ෆිලිප් ඩිෆ්රෙයිටාස් 10-1-42-0

රිචඩ් ඉලිංවර්ත් 10-0-50-1

ඩර්මොට් රීව් 3-0-22-0

 

එංගලන්තය

ග්‍රැහැම් ගූච් ඇ. අකීබ් ප. මුෂ්ටාක් 29

ඉයන් බොතම් ඇ. මොයින් ප. වසීම් 0

ඇලෙක් ස්ටුවර්ට් ඇ. මොයින් ප. අකීබ් 7

ග්‍රැහැම් හික් ක.මු.ක. ප. මුෂ්ටාක් 17

නීල් ෆෙයාබ්‍රදර් ඇ. මොයින් ප. අකීබ් 62

ඇලන් ලෑම්බ් ප. අක්‍රම් 31

ක්‍රිස් ලුවිස් ප. අක්‍රම් 0

ඩර්මොට් රීව් ඇ. රමීස් ප. මුෂ්ටාක් 15

ඩෙරික් ප්‍රින්ගල් නොදැවී 18

ෆිලිප් ඩිෆ්රෙයිටාස් දුවද්දී දුවී 10

රිචඩ් ඉලිංවර්ත් ඇ. රමීස් ප. ඉම්රාන් 14

අතිරේක 24

මුලු ලකුණු (පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී) 227

 

පන්දු යැවීම

වසීම් අක්‍රම් 10-0-49-3

අකීබ් ජාවෙඩ් 10-2-27-2

මුෂ්ටාක් අහ්මඩ් 10-1-41-3

ඉජාස් අහ්මඩ් 3-0-13-0

ඉම්රාන් ඛාන් 6.2-0-43-1

අමීර් සොහෙල් 10-0-49-0

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා