ලෝකය හා ශිෂ්ට තරගයකට සැරසෙන උතුරු කොරියාවට ෆිෆා වැටක්

 ඡායාරූපය:

ලෝකය හා ශිෂ්ට තරගයකට සැරසෙන උතුරු කොරියාවට ෆිෆා වැටක්

උතුරු කොරියාව යැයි පැවසූ සැණින් සිහිපත් වන්නේ ඇමරිකාව ප්‍රමුඛ දක්ෂිණාශිංක බල කඳවුරු සමඟ යුදවැදීමට සූදානමින් සිටින ආසියානු රාජ්‍යයකි. දකුණු කොරියාව සශ්‍රීකත්වය අතින් ස්වර්ගය වන්නේනම් උතුරු කොරියාව සැලකිය හැක්කේ දුෂ්කරතා වලින් පීඩිත අපායකට සමානවය.

උතුරු කොරියාවේ බොහෝ තොරතුරු ලෝකයෙන් වසන් කිරීමට එරට පාලනය කරනු ලබන කිං ජොං උන්ගේ පරිපාලනය කටයුතු කර ඇත්තේ එය ලෝකය හමුවේ සංසන්දනය වීම ස්වකීය පාලනයට අභියෝගයක් විය හැකිබැවිනි. දක්ෂ මිනිසුන්ගෙන් පිරුණු රාජ්‍යයක් වශයෙන් සැලකිය හැකි උතුරු කොරියාව දේශපාලන බල අරගල, ජාතිකවාදී අදහස් හේතුවෙන් ලෝකය අභිමුව හුදෙකලා වූ රාජ්‍යයකි. ඇතැම් විට චීනය ඇතුළු ඇමරිකානු විරෝධී මත දරණ රාජ්‍යයන් විසින් කූප්පනු ලබන ආසියානු රාජ්‍යයක් වශයෙන්ද උතුරු කොරියාව සැලකෙයි.

පාලකයන් වීරයන් සේ තම රට තුළ ගෞරවාදරයට ලක්වුවද සැබෑ ලෙසින් බලන කල්හි නායකත්වය චීනය වැනි රාජ්‍යයන්ගේ රූකඩ පාලනයක් පෙන්නුම් කරමින් ඇමරිකාව සමඟ ව්‍යාජ විසංවාදයකට පණපොවමින් එය තුළ රට වැසියා පිහිටුවාගෙන සිටින්නේයැයි කිවහැකිය. පසුගිය වසරේ ඇමරිකාව විසින් ආරක්ෂක කවුන්සිලයේදී ගනු ලැබූ තීරණය සමඟ උතුරු කොරියාවට එල්ල කළ සම්බාධක වැඩිකිරීම හේතුවෙන් දණින් වැටුණු උතුරු කොරියානු නායකත්වය මේ වනවිට ව්‍යාජ කල්මැරීමක් උපයෝගී කරගැනීමේ අරමුණෙන් හෝ වෙනයම් උපක්‍රමික අරමුණු පෙරදැරිව සමඟ සාකච්ඡා පවත්වමින් සිටී. න්‍යෂ්ඨික අවිහරණය සම්බන්ධයෙන් පවත්වන මෙම සාකච්ඡා අතරතුර ඇතැම් පරීක්ෂණාගාර තවමත් වසාදමා නොමැති බවත් ඒවා උතුරු කොරියාව තුළ ක්‍රියාත්මක වන බවත් ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති.

ඒ සියල්ල කෙසේ වුවද දැන් උතුරු කොරියාව ලෝකයේ ඇති නිර්දේශපාලනික විශිෂ්ටතම භාවිතය ලෙස සැලකිය යුතු ක්‍රීඩාවට අතපොවමින් සිටී. එමගින් ඔවුන් උත්සහ ගනිමින් ඇත්තේ තම සංචාරක ව්‍යාපාරය නඟාලීම සහ ලෝකය සමඟ වඩා විශ්වසනීය වෙළෙඳපොළක් ගොඩනංවා ගැනීමය. එමගින් සිය සම්බාධක අවම කරගැනීමටද ඔවුන් අපේක්ෂා තබා ඇත.

එහි අලුත්ම උත්සහය 2023 වසරේදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය දැක්විය හැකිය. උතුරු කොරියාවේ දැන් උත්සහයවී ඇත්තේ මෙම තරගාවලිය සංවිධානය කිරීමේ අවස්ථාව තම රටට දිනාගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් තරග කිරීමට සූදානම් බව පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේය. ෆිෆා ආයතනය විසින් සනාථ කරනු ලැබූ මෙම ප්‍රවෘත්තිය යහපත් හෙට දවසක් ප්‍රාර්ථන කරමින් ලෝකය තුළින් න්‍යෂ්ඨික අවිහරණය විය යුතු බව විශ්වාස කරන මිනිසුන්ට කදිම ආරංචියකි.

කෙසේ නමුත් මෙම තරගාවලිය පැවැත්වීම වෙනුවෙන් ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, බොලීවියාව, බ්‍රසීලය, කොලොම්බියා, ජපානය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව සටන් වැද සිටී. ඒ අනුව මෙම තරගාවලිය වෙනුවෙන් අප්‍රිකාව, ආසියාව, ඕෂනියා කලාපය සහ දකුණු ඇමරිකාව ඉදිරියට පැමිණ ඇත.

උතුරු කොරියාව තරගාවලිය පැවැත්වීමේ උත්සහය සඳහා පියොන්ග්යෑන්හි කිම් ඉල් සුන්ග් සහ යැන්ග්ක්ඩො ක්‍රීඩාංගණ යොදාගැනීමට අපේක්ෂා කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. කිම් ඉල් සුන්ග් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් 50000කට තරග නැරඹීමේ පහසුකම් පවතී. යැන්ග්ක්ඩො ක්‍රීඩාංගණය සතු එම පහසුකම ප්‍රේක්ෂකයන් තිස් දහසක් වෙනුවෙනි. එය පිහිටා ඇත්තේ උතුරු කොරියානු අගනුවර කේන්ද්‍ර කරගනිමිනි.

නව වැනි වරට පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන වෙනුවෙන් රටවල් දහයක් සංවිධාන අවස්ථාව දිනාගැනීමේ සටනට පිවිස ඇති අතර තවත් මාසයක කාලයක් තුළ මේ වෙනුවෙන් තරග වැදීමට අයැදුම්පත් යොමුකළ හැකිය. එලෙස ඉදිරිපත් කරන අයැදුම්පත් මෙම වසරේ ඔක්තෝබර් මාසය තුළ තමන්ගේ තරග වැදීමේ ලේඛණය, අනුග්‍රාහකත්වය දැරීමේ ගිවිසුම ඇතුළු සෙසු ලිපි ලේඛණ ඉදිරිපත් කළයුතුවේ.

පිරිමි ශූරතාව සඳහා සත්කාරකත්වය හිමිකරදීම පිණිස අනුබද්ධ රාජ්‍යයන් 211ම සිය ඡන්දය යොමුකරන නමුත් ෆිෆා හි පාලන කවුන්සිල 37ක් විසින් කාන්තා තරගාවලිය වෙනුවෙන් ඡන්දය ලබාදීමට නියමිතය. ඒ අනුව ජයග්‍රාහකයා කවුරුන්ද යන්න මාර්තු මාසයේදී නිවේදනය කරනු ඇත.

 

මේ අතර ෆිෆා ආයතනය සඳහන් කර ඇත්තේ තරගාවලියේ සත්කාර රාජ්‍ය තෝරාගැනීම විනිවිද භාවයෙන් යුතුව සිදුකරන බවයි. එහිදී රට තුළ පවතින ස්ථාවර භාවය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩිලෙස සැලකිලිමත්වන බව කෙරේ සලකා බැලෙන බව දැනටමත් ප්‍රකාශකර ඇත. ඒ අනුව උතුරු කොරියාව පාර්ශ්වයෙන් සලකද්දී එය යහපත් තත්ත්වයක් නොවේ. ඒ මන්දයත් මානව හිමිකම් උල්ලංඝණය කරන රාජ්‍යයක් ලෙසින් උතුරු කොරියාව සැලකීමට බොහෝ රාජ්‍යයන් මේ වනවිටත් කටයුතු කරමින් ඇති හෙයිනි.

එහෙත් මෙම තීරණය සම්බන්ධයෙන් ලෝක කුසලාන පිරිමි සත්කාරකත්වය හිමිකරදීමේදී රුසියාව හා කටාරය සම්බන්ධව 2018 සහ 2022 තරග වාරයේ බලපැවැත් වුණේ කෙලෙසින්ද යන්න ඇතැම්හු ප්‍රශ්න කරති.

කෙසේ නමුත් තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් කර ඇති ෆිෆා පිටු 41ක වාර්තාවට අනුව මානව හිමිකම් සුරක්ෂණය වෙනුවෙන් සිදුකර ඇති ඇතුළත් කිරීම් සහ කම්කරුවන්ගේ තත්ත්වය පිළිබඳ සංවිධායකයන් ගේ ස්ථාවරය, රජයේ සහ සෙසු සම්බන්ධිත ආයතනවල ක්‍රියාකාරිත්වය, තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩාංගණ අලුතින් ඉදිකරන්නේද, පවතින ක්‍රීඩාංගණ අලුත්වැඩියා කරන්නේද යන්න සම්බන්ධයෙන් හා පුහුණු අවස්ථාවන්, හෝටල් සහ ගුවන් තොටුපොළවල් සම්බන්ධයෙන් තොරතුරු විමසීමට කටයුතු කර ඇත. මේ අනුව 2023 කාන්තා ලෝක කුසලානයේ සංවිධායකත්වය දැනටමත් උතුරු කොරියාවෙන් දුරස්වී ඇති බවක් පෙනෙන්න ඇති අතර මෙම තරගාවලිය තමන් මෙන්ම දකුණු කොරියාවේද සහය ඇතිව පැවැත්වීමට සැලැසුම්කර තිබූ බව උතුරු කොරියාව ප්‍රකාශකර තිබේ. මෙවැනි පීඩන සියල්ල එකවර යොදා උතුරු කොරියාව වැනි රාජ්‍යයන් වඩාත් ශිෂ්ට සම්පන්න වීමට ගන්නා උත්සහයන්ට අකුල් හෙලීම ක්‍රීඩාවේ නාමයෙන් සලකන කල්හි අසාධාරණයක් ලෙසද සැලකිය හැකිය. එය ෆිෆා වැනි ආයතන සිදුකරනු ලබන මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් ලෙසින් දැක්වුවද එක අතකින් වරදක් නොවනු ඇත.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි