කැනඩාවේ ව්‍යාපාරිකයන් හොල්ලා මොන්ට්‍රියල් ඔලිම්පික් උලෙළින් මිල කළ නොහැකි පදක්කමක් දිනූ ලාංකිකයා

 ඡායාරූපය:

කැනඩාවේ ව්‍යාපාරිකයන් හොල්ලා මොන්ට්‍රියල් ඔලිම්පික් උලෙළින් මිල කළ නොහැකි පදක්කමක් දිනූ ලාංකිකයා

1976 කැනඩාවේ මොන්ට්‍රියෙල් නුවර පැවැති විසි එක්වැනි ඔලිම්පික් උලෙළට ශ්‍රී ලංකාව සහභාගි වුණේ නැත. එය එක්තරා ආකාරයකින් ලෝකය අනිත් පැත්තේ පැවැති ඔලිම්පික් තරගයක් හේතුවෙන් විය හැකිය. දුර වැඩිකම මෙන්ම දේශපාලන සංකූලතා අතර දෝලනය වෙමින් පැවැති හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිසිවෙකුට එහි දොරගුළු විවර නොවන්නටත් ඇත. ඇතැම්විට එවකට සමාජවාදී මුහුණුවරක් සහිත ජනතාවාදී ආණ්ඩුවක් බලයේ පැවැති හෙයින් දක්ෂිනාංශික මත දරනු ලබන කැනඩා ඔලිම්පික් උලෙළ මඟහැරියා වන්නටද පිළිවණ. එහෙත් ඔලිම්පික් උලෙළට සමගාමීව එයින් උත්පාදනය වූ ව්‍යාපාරික අවස්ථා තුළින් ඔලිම්පික් ජයට සමකළ හැකි ජයක් ලැබීමට ශ්‍රී ලාංකිකයකු සමත්විය. කැනඩා ඩොලර් සංචිතවලින් සජ්ජිත කරමින් එම ඔලිම්පික් උලෙළ අවසානයේ තම ව්‍යාපාරය එරට තුළ දිග්විජය කිරීමට ඔහුට හැකිවිණි. ඒ අන්කවුරුත් නොව ශ්‍රී ලංකාවේ දැවැන්ත ව්‍යාපාරිකයකු ලෙස නමක් හිමිකරගෙන සිටින රොහාන් නානායක්කාර මහතාය. වර්තමානයේ හංගේරියානු රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල්වරයා ලෙස කටයුතු කරනුයේ ද ඔහුය. මේ ඔහු මොන්ට්‍රියෙල් ඔලිම්පික් උලෙළ ආශ්‍රිතව ලැබූ ව්‍යාපාරික ජයග්‍රහණය පිළිබඳ සිහිකැඳවීමකි. ඔලිම්පික් ක්‍රීඩාවට සම්බන්ධ ව්‍යාපාරික ජයග්‍රහණයක් වුවද එය ක්‍රීඩාවට සමීපවීමත්, ශ්‍රී ලාංකිකයකු ලැබූ විජයග්‍රහණයක් වීමත් මෙය ක්‍රීඩා පිටුව තුළ වෙසෙසින් සටහන තැබීමට හේතුවූ බව පැවසිය යුතුය.

විසි එක්වැනි ඔලිම්පික් උලෙළ පටන් ගන්න ඉස්සර මම කැනඩාවේ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ ව්‍යාපාරය වුණේ සංචාරකයන්ට පහසුකම් සපයන ආයතනයක් පවත්වාගෙන යාමයි. මම මේ ව්‍යාපාරය පටන් ගන්න සිද්ධ වුණේ අහඹු කාරණයක්. මම වරක් ඇමරිකාවට ගිය ගමන් කැනඩාවට ගියේ එවකට කැනඩා අගමැති ප්‍රියරේ ටෘඩෝ මහතාගේ ඇරැයුමකට අනුවයි. එරටට යන්න පෙර සිටම ඔහු මගේ සමීප මිතුරෙක් වුණා. අපි මුලින්ම එකිනෙකා මුණගැහුණේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ විවෘත කරන කාලෙදියි. ඒ කාලේ එතුමා මා සමඟ ඇතිකරගත් දැඩි මිත්‍රත්වය නිසා කැනඩාවට එන්න කියලත් ආරාධනා කළා. මමත් ඇමරිකාවට ගිය වෙලාවක ඒ සිද්ධිය මතක් වුණු නිසා ඔහුට දුරකථන ඇමතුමක් දුන්නා. එහෙම දීලා මම ඉන්නෙ දැන් ඇමරිකාවේ කියලා කිව්වා. අනිත් පැත්තෙන් ටෘෘඩෝ මහත්මයා කතා කරලා ආ ඇත්තද? ඇමරිකාවේ කුමන හෝටලයේද ඉන්නෙ කියලා ඇහුවා. අහලා කාමරයේ අංකය දැනගෙන එතරම් හිතවත්කමක් නැතිව වගේ දුරකථනය තිබ්බා. මම මටම හිතින් දොස් කිව්වා. කතාකළ මෝඩකම් කියලා මට හිතුණා. ඔය විධිහට දවස ගෙවුණා. හවස් වෙද්දී කවුරු හරි ඇවිත් මම නවාතැන් ගෙන හිටපු හෝටල් කාමරයේ දොරට තට්ටු කළා. මම දොර විවෘත කළාම උස මහත, ටයිකෝට් ඇඳපු හාදයෙක් මගේ දොරගාව ඉන්නවා දැක්කා.

‘මහත්තයද රොහාන් නානායක්කාර කියන්නෙ?’ ඔහු ඇහුවා.

මම ඔව් කියලා පිළිතුරු දුන්නා.

‘ආ මම තමයි ඇමරිකාවෙ කැනඩා තානාපති. අපේ අගමැතිතුමා කිව්වා ඔබ තුමාව කැනඩාවට එක්කරගෙන එන්න කියලා. ඉක්මනට ලෑස්ති වෙලා එන්න. මම පහළ ලොබියේ වාඩිවෙලා ඉන්නවා’ අතට දෙන ගමන්ම ඔහු කියා සිටියා.

මම තුෂ්නිම්භූත වුණා. දැන් පැය කීපයකට ඉස්සර හිතින් බැණ වැදුණු කැනඩා අගමැතිවරයා දැන් මාව ඒ රටට රැගෙන යන්න කෙනෙක් එවලා. මට හිතාගන්නවත් බෑ. මේක හීනයක්ද ඇත්තක්ද කියලා මම පොඩ්ඩක් වාඩිවෙලා සිතලා බැලුවා. ඇත්තක් නේද? මම ඉන්නෙ අවධිවෙලා. මේක හීනයක් නොවෙයි කියන එක මට වැටහුණා. මම කෝකටත් ඇඳුම් පැළඳුම් ලෑස්ති කරගෙන ලොබියට ඇමතුමක් දීලා ආයෙත් සැරයක් තානාපතිවරයා සම්බන්ධ කරගත්තා.

‘තානාපතිතුමා, මම නම් ගමනට ලෑස්තියි. ඒත් මට තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා’ මම කිව්වා.

‘ඇයි මහත්මයා, මොකක්ද ඔබේ ප්‍රශ්නය. අසනීපයක්ද?’ ඔහු විමසුවා.

‘නෑ. මට වීසා තියෙන්නෙ ඇමරිකාවට. කැනඩා වීසා මගේ ළඟ නෑ. ඉතින් මම කැනඩාවට යන්නෙ කොහොමද? ආගමන නිලධාරීන් මාව අත්අඩංගුවට ගනීවි’ මම ඔහුට කිව්වා.

‘ආ... ඒකෙ ගැටලුවක් නෑ. අගමැති තුමා හැමදෙයක්ම බලාගනීවි. දැන් අපි යන්නෙ සාමාන්‍ය ගුවන් යානයක නොවෙයි. ඔබ තුමා හදිසියට එක්කරගෙන යන නිසා අපි එක්ක යන්නේ කැනඩා ගුවන් හමුදා ගුවන්යානයක. ඒක මේ ළඟ තියෙන ඇමරිකානු ගුවන් හමුදා කඳවුරේ දැන් නවත්තලා තියෙනවා. ඔබතුමා එහෙ ගිය ගමන් ඒක පිටත් වෙනවා. එතකොට ඔබතුමාට අගමැතිතුමා මුණගැහෙන්න පුළුවන්’ ඔහු කිව්වා.

ඕනැ දෙයක් වුණාවෙ කියලා මමත් ගමන පිටත් වුණා. තරුණ වයසේ ඕනෑම අභියෝගයක් කිසිම අභියෝගයක් විධිහට දැනෙන්නෙ නෑ. මම දැන් කැනඩාවෙ. එහෙම ගිහින් අගමැතිවරයා හමුවුණා. මම මගේ දැවෙන ප්‍රශ්නය ගැන එතුමාට කිව්වා.

‘අපි හෙට හම්බවුණාම කතාකරමු. මම ඒකට විසඳුමක් දෙන්නම්’ ඔහු සැහැල්ලුවෙන් උත්තර දුන්නා. ඒ විධිහට කැනඩාවට ආපු මම ඊට පස්සෙ කාලෙකදී ඒ රට ඇතුළේ මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ ව්‍යාපාරයට උදව් කළෙත් කැනඩා රජයමයි. මම බැංකු ණයක් ඉල්ලුවා. ඩොලර් ලක්ෂයක් ඒ බැංකු ණයෙන් ඒ කාලේ මම ගත්තා. අරගෙන ඩොලර් හැට දහසකට ව්‍යාපාරික සමාගමක් මිලදී ගත්තා. ඒක සංචාරකයන්ට පහසුකම් සපයන සමාගමක්. මොකද ඒක මගේ පියාගේ ව්‍යාපාරයට සම්බන්ධයි. ඉතින් කැනඩාවේ සංචාරක පහසුකම් සපයන ව්‍යාපාරයක් ඇරඹීම මගින් ඒක මගේ තාත්තාගෙ ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න පුළුවන් බව මම දැනගෙන සිටියා. එතකොට මට හොඳ ශක්ති සම්පන්න පදනමක් තිබෙනවා. අනෙක් කාරණය ඒ ව්‍යාපාරය පටන් ගනිද්දී මාස කීපයකින් පස්සෙ පැවැත්වෙන මොන්ට්‍රියෙල් ඔලිම්පික් උලෙළ ගැනත් මට මතක් වුණා. ඉතින් බය නැතිව මම සමාගමට ආයෝජනය කළා. ඒකෙ පැරණි හිමිකරුවෝ වයසක යුවලක්. ඔවුන්ට අවශ්‍ය විශ්‍රාම සුවය නිසා ඒ ව්‍යාපාරය අලෙවි කරන්න දාලා තිබුණා. මම ඉතින් මිලදී ගත්තා. ඔය ව්‍යාපාරය ගැන මම කැනඩා අගමැති තුමාට කිව්වා.

‘අයියෝ රොහාන්. ඔච්චර ව්‍යාපාර තියෙද්දී බංකොලොත් සමාගමක්ද ගත්තෙ. උඹ හරිම මෝඩයෙක්’ කියලා අගමැතිතුමා හිනාවුණා.

‘හොඳයි. මමත් ඔයාට උදව්වක් දෙන්නම්කො?’ ටෘෘඩෝ අගමැතිතුමා ආයෙත් මට කිව්වා. මම ඒ ගැන වැඩිපුර හිතුවේ නෑ. නමුත් පසුවදාම මට මොන්ට්‍රියෙල් ඔලිම්පික් බලධාරීන් සමඟ හමුවක් පවත්වන්න අවස්ථාවක් ලැබුණා. ඒක සූදානම් කළේ අගමැතිතුමාමයි. එතැනදී මොන්ට්‍රියෙල් ඔලිම්පික් උලෙළේ තරග ප්‍රවේශපත්‍ර අලෙවිය මගේ සමාගමට දෙන්න ඔවුන් එකඟ වුණා. ඒක මම ලබපු විශාල ජයග්‍රහණයක්. මම බොහෝම සතුටු වුණා. ඒ අතරේ මම හිතුවා මේ ප්‍රවේශපත්‍ර අලෙවි කරනවට අමතරව මගේ ව්‍යාපාරය හරහා හෝටල් සියල්ල වෙන්කළ යුතුයි කියලා. ඉතින් මම මොන්ට්‍රියෙල් කිට්ටුව තියෙන සියලු හෝටල්වලට කතාකරලා ඒවා වෙන්කරගත්තා. ඊළඟට පිටරට කණ්ඩායම් එද්දී ඔවුන් ගුවන්තොටුපොළේ ඉඳලා හෝටලයට ගෙන එන්න අවශ්‍ය කුලී රථ සේවාව මගේ සමාගමට අනුයුක්ත කරගත්තා. දැන් ඔක්කොම සංචාරකයන් එන්නෙ, ඉන්නෙ, ප්‍රවේශපත්‍ර ගන්නෙ මගේ සමාගමෙන්. මෙන්න ලෝකයේ තියෙන දැවැන්ත ගුවන් සමාගම්, ටිකට් ඒජන්තවරුන් මට කතාකරන්න වුණා. ඔවුන් අහනවා මොන්ට්‍රියෙල් ඔලිම්පික් උලෙළ බලන්න විශාල පිරිසක් තමන්ගෙන් ගුවන් ප්‍රවේශපත්‍ර ගන්නවා. නමුත් තරගාවලි ප්‍රවේශපත්‍ර ලබාගන්න අවශ්‍ය මගේ සමාගමෙන්. මගේ සමාගම ප්‍රවේශපත්‍ර දෙන නිල සමාගම බවයි ඔලිම්පික් සංවිධායකයන් කිව්වේ. ඉතින් අපිට ප්‍රවේශපත්‍ර ලබාදෙන්න හැකිද කියලා ඔවුන් ඇහුවා. මම ගත්කටටම පුලුවන් කිව්වා. ඒකෙ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මගේ සමාගමෙන් මොන්ට්‍රියෙල් ඔලිම්පික් උලෙළේ ප්‍රවේශපත්‍ර ලබාගන්නවා වගේම එන සංචාරකයන් කැනඩාව ඇතුළේ සංචාරක පහසුකම් සපයන කටයුත්තත්, ඇවිත් නවතින තැනුත් ලබාගත යුතුයි කියලා මම කිව්වා. මගේ ඒ කොන්දේසි එක්ක ඒ සෑම සමාගමක්ම එකඟ වුණා. මොකද ඔවුන්ට මම නැතිව වෙනත් විකල්පයක් තිබුණේ නෑ. ඉතින් පහුවදා ඉඳලා මගේ ආයතනය ඉදිරිපිට ගුවන් සමාගම් වලින්, සංචාරක පහසුකම් සපයන ආයතන වලින් මිනිස්සු පෝළිම් ගැහිලා හිටියා. දැන් මගේ සමාගමට ප්‍රවේශපත්‍ර නිකුත් කරලා ඉවරයක් නෑ. සල්ලි කඳු ගැහෙන්න වුණා. මම බැංකු ණය අරගෙන මාස කීපයයි. සම්පූර්ණ ණයම ගෙවලා දැම්මා. දැන් මට අතිරික්ත සල්ලි තිබුණා. මම කැනඩාවේ තියෙන මගේ ව්‍යාපාරය තව තවත් දියුණු කළා. මගේ නැගිටීම කැනඩාව තුළ වේගවත් කළේ මොන්ට්‍රියෙල් ඔලිම්පික් උලෙළයි. ඒ වෙනුවෙන් මට උපකාර කළේ එවකට එරට අගමැතිවූ පියරේ ටෘෘඩෝ මහත්මයයි. දැන් ඔහුගේ පුතා තමයි කැනඩාවේ අගමැති. මම දැන් කැනඩාවේ ව්‍යාපාරය විකුණලා දැම්මා. හැබැයි මගේ පුතා කැනඩාවේ ව්‍යාපාරයක නිරත වනවා.

තමන් මොන්ට්‍රියෙල් උලෙළින් ලැබූ සාර්ථකත්වය පිළිබඳ රොහාන් නානායක්කාර මහතා පැවසීය.

ජයග්‍රාහකයාට ඕනෑම බිමක් කෙම්බිමකි. ශ්‍රී ලාංකිකයකු වශයෙන් ඔලිම්පික් පදක්කම් දිනා නොගත්තද ඔහු මොන්ට්‍රියෙල් ක්‍රීඩා උලෙළින් දිනාගත් ආර්ථික පදක්කමේ කතාව එවැන්නකි. ඒ මහතාගේ මෙම ව්‍යාපාරික සාර්ථකත්වයට ඔහුගේ පියාවූ දිවංගත චාල්ස් නානායක්කාර මහතාගෙන් ලැබුණු සහය අනුපමේය බවද ඔහු සඳහන් කරයි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා