ශ්‍රී ලංකා පිතිකරුවෝ යළි මංමුලා වෙති : ඉසුරු උදාන අවමානය අවම කරයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකා පිතිකරුවෝ යළි මංමුලා වෙති : ඉසුරු උදාන අවමානය අවම කරයි

පෝර්ට් එලිසබෙත්හි සාන්ත ජෝර්ජ් පාක් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙරට අතර සිව්වෙනි එක්දින තරගයේදී නැවත අසාර්ථක වූ ශ්‍රී ලංකා පිතිකරුවන් සිය ඉනිම ලකුණු 189කට සීමාකර ගත්හ. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ලකුණු 78ක් රැස් කිරීමට සමත් විය. පන්දු 57කදී වාර්ථා වූ උදානගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් ඇතුලත් විය. උදාන අවසන් කඩුල්ල සඳහා කසුන් රාජිත සමග ලකුණු 58ක් එක් කිරීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායකයා පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කළ අතර ෆැෆ් ඩු ප්ලෙසිස්ගේ තීරණය නිවැරදි බව තහවුරු කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 100 වාර්තා වන විට කඩුලු 7ක් බිඳ දැමීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ.

ඊයේ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකර තිබුණි. උපනායක නිරෝෂන් දික්වැල්ල වෙනුවට ඉනිම ආරම්භ කිරීම සඳහා උපුල් තරංග කැඳවා තිබූ අතර අබාධයකට ලක්ව සිටින කුසල් පෙරේරා වෙනුවට ප්‍රියමාල් පෙරේරා ශ්‍රී ලංකාවේ 191 වැනි එක්දින ක්‍රීඩකයා ලෙස කණ්ඩායමට ඇතුලත් විය. ඊට අමතරව ඉසුරු උදානට අවස්ථාව ලබාදී තිබුණේ අකිල ධනංජය විවේක ගන්වමිනි.

උපුල් තරංග නැවතත් අසාර්ථක වෙමින් පළමු කඩුල්ල ලෙසින් ලකුණු 4කට දැවී ගියේ ලකුණු පුවරුවේ ශ්‍රී ලංකාව ඉදිරියේ ලකුණු 13ක් සටහන් වන විටදීය. ඕෂධ ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී ගිය අතර තරමක් වේගයෙන් පන්දුවට පහර දෙමින් සිටි අවිශ්ක ප්‍රනාන්දුද ලකුණු 29කට දැවී ගියේ පන්දු 27කට මුහුණ දීමෙන් පසු අන්රිච් නොට්ජේගේ පන්දුවකට ඩුමිනි අතට උඩපන්දුවක් ලබාදීමෙනි. මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ප්‍රියමාල් පෙරේරා තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ නොට්ජේට කඩුලු ත්‍රිත්වයක අවස්ථාව විවර කරමිනි.

එවිට ශ්‍රී ලංකා ඉනිම සටහන් වූයේ කඩුලු 4ක් දැවී ලකුණු 51ක් ලෙසිනි. කමිදු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස්ද ඉක්මනින්ම ක්‍රීඩාගාරයට ගියේ කඩුලු 6කට ලකුණු 71ක්ව තිබියදීය. කුසල් මෙන්ඩිස් ලකුණු 21ක්ද කමිඳු මෙන්ඩිස් ලකුණු 9ක් පමණක් රැස් කළහ. මුලු ලකුණු සංඛ්‍යාව 97ක්ව තිබියදී තිසර පෙරේරාද දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම අසරණ අඩියකට ඇද දමමිනි. තිසර රැස් කළේ ලකුණු 12ක් පමණි. ධනංජය ද සිල්වා ලකුණු 22කට දැවී ගියේ අටවැනි කඩුල්ලද ශ්‍රී ලංකා පිලට අහිමි කරමිනි. ඒ සමගම නායක මාලිංගද දුවද්දී දැවී ගියේ ලකුණු බින්දුවකටය.

මාතෘකා