දොළොස් වසරක ජයග්‍රහණ නියඟය නිමකරමින් නිල් මහ සටනේ ශූරතාව ශාන්ත තෝමසුවන්ට

 ඡායාරූපය:

දොළොස් වසරක ජයග්‍රහණ නියඟය නිමකරමින් නිල් මහ සටනේ ශූරතාව ශාන්ත තෝමසුවන්ට

තරගයේ වීරයා කලණ පෙරේරා

දක්ෂතම පිතිකරු උදයංග සුවාරිස්

දක්ෂතම පන්දු රකින්නා ශලීන් ද මෙල්

 

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 140 වැනි ‘නිල් මහා සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේදී කඩුලු 7 ක ජයක් ලබමින් තරග ඉතිහාසයේ තම 35වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.

කාසියේ වාසිය දිනාගත් කොළඹ රාජකීය විදුහල පළමුවෙන් පන්දුවට පහර දුන් අතර, ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 158කට සීමා කිරිමට කළණ පෙරේරා ප්‍රමුඛ ශාන්ත තෝමස් පන්දු යවන්නෝ සමත්වූහ.

ඊට පිළිතුරු ලෙස ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 296ක් රැස් කළහ.

ශාන්ත තෝමස් පිලට වඩා ලකුණු 138ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ රාජකීය ක්‍රීඩකයන් සියල්ලන් දැවී රැස්කරගත්තේ ලකුණු 259ක් පමණි.

පන්දුවාර 38කදී ලකුණු 122ක ඉලක්කයක් ලද ශාන්ත තෝමස් පිල පන්දුවාර 20කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 124ක් රැස් කරමින් වසර 12කට පසුව නිල් මහ සටනේ ජය පැන් බීමට සමත්විය.

ඒ අනුව ශාන්ත තෝමස් පිල මීට පෙර ‘නිල් මහා සටනේ’අවසන් වරට ජයගෙන තිබුණේ 2007 වසරේ අශාන් පීරිස්ගේ නායකත්වය යටතේය.

මෙවර පැවැති මහා තරගයට පෙර රාජකීය විදුහල තරග 35 ක් ද, සාන්ත තෝමස් විදුහල තරග 34 ක් ද ජය ලබා සිටි අතර මෙම ජයග්‍රහණයත් සමගින් දෙපිල අතර ජයග්‍රහණ සංඛ්‍යාව සමවිය.

ගල්කිස්ස ශාන්ත තෝමස් පිලේ උප නායක කලණ පෙරේරා පන්දුවෙන් මෙන්ම පිත්තෙන් දස්කම් දක්වමින් තම පිලේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබා දුන් අතර, ශලීන් ද මෙල්, උමයංග සුවාරිස්, රයන් ප්‍රනාන්දු, යොහාන් පෙරේරා සහ සිතාර හපුහින්න ගල්කිස්ස ශාන්ත තෝමස් පිලේ ජයග්‍රහණයට දායකවූහ.

පසිඳු සූරියබණ්ඩාර රාජකීය පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ශාන්ත තෝමස් විදුහලේ කලණ පෙරේරා තරගයේ වීරයා සහ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, ශාන්ත තෝමස් විදුහලේ උමයංග සුවාරිස් දක්‍ෂතම පිතිකරු ලෙස ද, ශාන්ත තෝමස් විදුහලේ ශලීන් ද මෙල් දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද සම්මාන ලැබූහ.

රාජකීය: පළමු ඉනිම - 158 (පන්දුවාර 48.3) කමිල් මිෂාර 36, කවිඳු පතිරත්න 35, කෞෂාන් කුලසූරිය 28, අහන් වික්‍රමසිංහ 15, කළණ පෙරේරා 6/54, ෂැනෝන් ප්‍රනාන්දු 4/27

ශාන්ත තෝමස්: පළමු ඉනිම - 296 (පන්දුවාර 78.5)

උමයංග සුවාරිස් 62, කළණ පෙරේරා 62, රයන් ප්‍රනාන්දු 60, යොහාන් පෙරේරා 49, ශලීන් ද මෙල් 21, කමිල් මිෂාර 3/70, කවිඳු පතිරත්න 3/83, ගිෂාන් බාලසූරිය 2/66

රාජකීය: දෙවැනි ඉනිම - 259 (පන්දුවාර 108.2)

පසිඳු සූරියබණ්ඩාර 67, කමිල් මිෂාර 34, අහන් වික්‍රමසිංහ 26, කවිඳු මදාරසිංහ 25, කවිඳු පතිරත්න 24, භාග්‍ය දිසානායක 21, ඉෂිවර දිසානායක 20, කළණ පෙරේරා 3/102, ඩෙලන් පීරිස් 2/ 53, යොහාන් පෙරේරා 2/15

ශාන්ත තෝමස්: දෙවැනි ඉනිම - 124/2 (පන්දුවාර 20) ශලීන් ද මෙල් නොදැවී 67, සිතාර හපුහින්න 34

[ඉෂානි යද්දෙහි]

මාතෘකා