ඉන්දීය ඉල්ලීමට අයි.සී.සී.යෙන් අයහපත් ප්‍රතිචාර

 ඡායාරූපය:

ඉන්දීය ඉල්ලීමට අයි.සී.සී.යෙන් අයහපත් ප්‍රතිචාර

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිවී ඇති අයහපත් දේශපාලන වාතාවරණය හේතුවෙන් ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවට අදහස් දක්වමින් ඉන්දියාව විසින් අයි.සී.සී.යට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව එම ආයතනය පාර්ශ්වයෙන් ගත හැකි ක්‍රියාමාර්ගයක් නොමැති බව පසුගියදා තීරණය කර තිබේ.

වැඩබලන ඉන්දීය ක්‍රිකට් ලේකම් අමිතාබ් චෞද්‍රි විසින් මෙම වාර්තාව සභාගත කර ඇති අතර එය වැඩි කාලයක් සාකච්ඡාවට බඳුන්ව නැතැයි අයි.සී.සී.වාර්තා සඳහන් කරයි. මෙහිදී සාමාජික රටවල් රැසක ක්‍රීඩකයන් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන්ද සැලකිල්ලට බඳුන්ව ඇති අතර යම් හෙයකින් අයි.සී.සී.ය විසින් පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ යම් අහිතවත් තීරණයක් ලබාදුනහොත් එය ක්‍රීඩකයන්ගේ නොසතුටට හේතුවක් වනු ඇතැයිද ප්‍රකාශවී තිබේ.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගය ජූනි 16 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති නමුත් එය වර්ජනය කළ යුතුබව ඉන්දියාවේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයන් දෙදෙනකු වන සව්රව් ගංගුලි සහ හර්බජන් සිං ප්‍රකාශ කර තිබිණි.

එහෙත් ඒ සම්බන්ධයෙන් සචින් ටෙන්ඩුල්කාර් සහ සුනිල් ගවස්කාර් දක්වා ඇත්තේ ප්‍රතිපක්ෂ අදහසකි. ඔවුන් එහිදී පෙන්වාදී ඇත්තේ 1992 වසරෙන් පසු කිසිදු ලෝක කුසලාන තරගයකදී ඉන්දියාව පරාජය කිරීමට පාකිස්තානයට හැකියාවක් උදාවී නැති බවයි. මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ හැකියාව ඇත්තේ ඉන්දීය මධ්‍යම රජයට මිස එරට ක්‍රිකට් පරිපාලනයට නොවන බව ඉන්දීය ක්‍රිකට් අතුරුකමිටුව තීරණය කර ඇත.

මාතෘකා