ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය

කුසල් නැවත එක්දින ලකුණු අතරට ඕෂධට අර්ධ ශතකය නූලෙන් අහිමි වෙයි

තමන් සහභාගි වූ පළමු ජාත්‍යන්තර එක්දින තරගයේම අර්ධ ශතකයක් වාරතා කිරීමට තිබූ අවස්ථාව නවක පිතිකරු ඕෂධ ප්‍රනාන්දුට ඊයේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හිදී අහිමි විය. ඒ ඔහු ලකුණු 49කට දැවී ගිය හෙයිනි. සිය මංගල ටෙස්ට් තරගාවලියේදීම දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව සාර්ථකව ලකුණු අතරට පැමිණි ඕෂධ එක්දින කණ්ඩායමට තමන්ව කැඳවීමටද සාධාරණයක් ඉෂ්ට කිරීමට සමත් විය.

වොන්ඩරස් ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය අමිව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රීලංකා කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 23කට බිඳ වැටී තිබූ අවස්ථාවේදී පිටියට පැමිණි ඕෂධ ප්‍රනාන්දු සිය මංගල එක්දින තරගයේදීත් ඔහුගේ පළමු ටෙස්ට් තරගයේදී මෙන්ම කිසිදු අපහසුවකින් තොරව දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට මුහුණ දීමට සමත් විය. කගීසෝ රබාඩා සහ ලුන්ගි න්ගිඩිගේ පන්දු හමුවේ පමණක් නොව ඉම්රාන් තහීර් ගේ පන්දුවලටද පහසුවෙන් පහරදුන් ප්‍රනාන්දු ලකුණු ණු 49ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමට හසු විය. ඊට සුලු මොහොතකට පෙර කුසල් පෙරේරාගේ දැවී යාමෙන් පසුව පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිණ සිටි කුසල් මෙන්ඩිස් තහීර්ගේ පන්දු ඉදිරියේ මඳක් අපහසුවෙන් පන්දුවට පහර දෙමින් සිටි අතර ඕෂධ ප්‍රනාන්දු සිය සගයගේ අන්තයට ගොස් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගැනීමට යාමෙන් කඩුල්ල අහිමිකර ගත් බව විස්තර විචාරකයන්ගේ මතය විය.

පන්දු 49කට මුහුණ දී සිටි ප්‍රනාන්දු සිය ඉනිම සඳහා හතරේ පහර 5ක් සහ අලංකාර හයේ පහර 2ක් අන්තර්ගත කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ පළමු හයේ පහර එල්ල වූයේද ඔහුගේ පිත්තෙනි. ඕෂධ කුසල් පෙරේරා සමග තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 77ක් එක් කිරීමට සමත් විය. කුසල් පෙරේරා ලකුණු 33ක් ලබා සිටියදී තහීර්ගේ පන්දුවකට ගොදුරු වූයේ කඩුලු රකින ඩි කොක් අතට උඩපන්දුවක් ලබාදීමෙනි.

ඕෂධ ප්‍රනාන්දු දැවී යන විට ලකුණු පුවරුව කියැවුණේ පන්දුවාර 19කදී ලකුණු 101ක් ලෙසිනි.

ඕෂධ ගේ දැවීයාමෙන් පසු පිටියට පැමිණි ධනංජය ද සිල්වා කුසල් මෙන්ඩිස් සමග ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම නැවත ඇරඹූ අතර ඔවුන් දෙදෙනා පන්දු 100කින් ලකුණු 94ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළහ. මුලු ලකුණු සංඛ්‍යාව 195ක් වන විට පන්දු 52කින් ලකුණු 39ක් ලබා සිටි ධනංජය ද සිල්වා ස්ටම්ප් කරීමකට හසුකර ගැනීමට දකුණු අප්‍රිකානු කඩුලු රකින්නාවූ ක්වින්ටන් ඩි කොක් සමත් වූ අතර තරමක වේලාවක් රූපවාහිනී පුනරූපන නැරඹීමෙන් පසුව පාකිස්ථානු ජාතික තෙවැනි විනිසුරු අලීම් ඩාර් ධනංජය දැවී ගිය පිතිකරුවෙක් ලෙස නම් කළ අතර එය විවාද සම්පන්න තීරණයක් විය.

ඉන්පසුව ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටීම ඉක්මන් වූ අතර ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ කුසල් මෙන්ඩිස්ද ලකුණු 60ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය. මෙන්ඩිස් දැවී ගියේ තහීර්ගේ පන්දුවකට වැන් ඩර් ඩුසෙන් අතට උඩපන්දුවක් ලබාදීමෙනි. පළමු පන්දු කිහිපයට මුහුණදීමේදී අපහසුවක් දැක්වුවද ඉන්පසුව කුසල් මෙන්ඩිස් සිය සුපුරුදු රිද්මයට පැමිණීමට සමත් විය. පන්දු 73කින් වාර්තාවූ මෙන්ඩිස්ගේ ලකුණු 60 සඳහා හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

ශ්‍රී ලංකාවේ අවසන් කඩුලු 6ම ලකුණු 36ක් තුළ දැවී ගිය අතර අවසන් පිතිකරුවන් පස්දෙනාගෙන් ලකුණු 10 ඉක්මවීමට සමත් වූයේ නායක ලසිත් මාලිංග පමණි. අකිල ධනංජය ලකුණු නොලබා දුවද්දී දැවී ගිය අතර තිසර පෙරේරාට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 07ක් පමණි. ලක්ෂාන් සඳකැන් ලකුණු 3කට දවී ගියේය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා වූ විශ්ව ප්‍රනාන්දු නොදැවී එක් ලකුණක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රීලංකා ඉනිම ලකුණු 231කට අවසන් වුයේ පන්දුවාර 47කිනි.

අද ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන ලද්දේ නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංගයි. ඔවුන් දෙදෙනාම මුලු ලකුණු සංඛ්‍යාව 23ක් වන විට ක්‍රීඩාගාරයට හරවා යැවීමට ලුන්ගි න්ගිඩි සමත් විය. එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකාව මුහුණ දුන් එකම එක්දින තරගයේදී වේගවත් ලකුණු 72ක් රැස් කළ යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට මෙම තරගය සඳහා කැඳවීමක් නොතිබූ අතර පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී කණ්ඩායම මෙහෙයවමින් ලකුණු අතර සිටි උපුල් තරංග කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා තිබුණි.

මාතෘකා