තහනමෙන් පසුව ශක්තියෙන් නැගී සිටි වෝනර් සහ අමීර්

 ඡායාරූපය:

තහනමෙන් පසුව ශක්තියෙන් නැගී සිටි වෝනර් සහ අමීර්

තහනමක් පැනවීම කනගාටුවට කරුණකි. ක්‍රිකට් ක්‍රීඩකයකුට දීර්ඝ කාලීනව තරග තහනමක් පැනවීම වූ කලි ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අවසානය ලෙසින් සැලකෙයි. එසේ සැලකෙන්නේ තහනමින් පසුව කණ්ඩායමට පැමිණ ස්ථාවරවීම අසීරු ලෙස සැලකුණ හෙයිනි.

කණ්ඩායමක ක්‍රීඩකයකුට දීර්ඝ කාලීන තරග තහනමක් පැනවෙන්නේ බොහෝ විට ක්‍රිකට් ක්‍රීඩාවේ විනය නීති කඩකිරීමක් හේතුවෙනි. එය පන්දුව පළදු කිරීමක් මෙන්ම තරග පාවාදීමක් වන්නට පිළිවන. මෑත කාලීනව ඒ අකාරයෙන් දීර්ඝ කාලීන තරග තහනමක් ලැබූ ක්‍රීඩකයන් කීපදෙනෙකුගේ නම් වත්මන් ක්‍රිකට් පිටියේදී අපට සොයාගත හැකිය. තහනමෙන් අනතුරුව සිය දෙවැනි ගමන සාර්ථක කරගත් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් කතා කිරීමේදී ඩේවිඩ් වෝනර් සහ මොහොමඩ් අමීර් දැක්විය හැකිය. මේ ඒ සම්බන්ධයෙන් ලියැවෙන සටහනකි.

ඩේවිඩ් වෝනර්

2017 වසරේ දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරතවී සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරගයක් අතරතුරදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ අතර එහි ප්‍රධාන චූදිතයා වූයේ කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට්ය. අවසානයේ ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණයේදී බ්‍රැන්ක්‍රොෆ්ට් ප්‍රකාශකර සිටියේ තමාව මේ සඳහා පෙළඹවූයේ එවක කණ්ඩායමේ නායකයා වූ ස්ටීව් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් බවයි. බ්‍රැන්ක්‍රොෆ්ට මෙන්ම ස්මිත්ට සහ වෝනර්ටද දඬුවම් හිමි වූ අතර වසරක ජාත්‍යන්තර සහ දේශීය තරග තහනමක් පැනවීය. එසේම කුමන හෝ ආකාරයකින් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට එම වසරක කාලයේදී ඔවුන්ට තහනම් විය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටි ස්මිත් සහ වෝනර් එම සිදුවීම සම්බන්ධයෙන් තමන් අවංකවම කණගාටුවන බව ප්‍රකාශ කළහ.

ඩේවිඩ් වෝනර් යනු පළමු පෙළ අත්දැකීම් රහිතව වයස අවුරුදු 17දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි ක්‍රීඩකයෙකි. එවැනි ක්‍රීඩකයන් බිහිවී ඇත්තේ අතලොස්සකි. ටික කලකින්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිකර ගත් වෝනර් උපනායකත්වයද හිමිකර ගනිමින් ප්‍රබල පිතිකරුවෙක් බවට පත් විය. දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ඔහුට එරෙහිවද චෝදනා එල්ල වන්නේ ඒ අතරය.

වසරක කාලයක් වෝනර් සහ ස්මිත් සම්බන්ධයෙන් ක්‍රිකට් පිටියට අදාළ ප්‍රවෘති පළ නොවුණි. එම නිහඬතාව බිඳිමින් පසුගිය අයි.පී.එල්. තරගාවලියේදී වෝනර් සහ ස්මිත් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිස තරග වැදුණි. වෝනර් එම තරගාවලිය අවසන් කළේ ලකුණු 692ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා ලෙසිනි. ඔහු ක්‍රීඩා කළ ඉනිම් 12න් එක් ශතකයක් සහ අර්ධ ශතක 8ක් වාර්තා කිරීමට වෝනර් සමත් වීමත් සමගම ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමට ඇතුළත් වන වෝනර් ගේ සෙවනැල්ල ලෝක කුසලානටද වැටෙන බවට එය පෙරනිමිත්තක් විය.

දොළොස් වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලීග් වටයේ තරග අවසන් වීමට ආසන්න වන විට නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඉදිරියෙන්ම සිටීමට සමත් ඇත. එහිදී පිතිකරුවන් කිහිප දෙනෙක්ම ශතක වාර්තා කරමින් තම කණ්ඩායම තරගාවලියේ ඉදිරියට ගැනීමට සමත්ව සිටී. බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන්, ඔස්ට්‍රේලියාවේ ඇරොන් ෆින්ච්, එංගලන්තයේ ජෝ රූට්, නවසීලන්තයේ කෙන් විලියම්සන් සහ ඉන්දියාවේ රෝහිත් ෂර්මා ඒ අතරින් ප්‍රධානය.

ඒ අතර කියැවෙන විශේෂිතම නම වන්නේ ඩේවිඩ් වෝනර්ගේ නමයි. තරගාවලිය ආරම්භවීමට ප්‍රථම වෝනර් සම්බන්ධයෙන් එවැනි බලාපොරොත්තුවක් ක්‍රිකට් ලෝලීන් තුළ නොතිබුණි. නමුත් ඔස්ට්‍රේලියාව සහභාගී වූ තරග 7ක් අවසන් වන විට තරගාවලියේ ලකුණු 496ක් ලබා සිටින නායක ෆින්ච් අභිභවමින් ලකුණු 500ක් රැස් කිරීමට වෝනර් සමත්ව සිටී. වෝනර්ගේ මෙම දක්ෂතා අතරට ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් ඇතුළත්ය. ඔස්ට්‍රේලියාවට තවත් තරග දෙකක් ඉතිරිව තිබෙන අතර ඔවුන් අවසන් පූර්ව වටයටද මේ වන විට සුදුසුකම් ලබා ඇත.

කුසලානය දිනා ගැනීමට කැසකවන අනෙක් කණ්ඩායම් සියල්ලම පාහේ වෝනර්ගෙන් එල්ල වන අභියෝගය පිළිබඳව සිටින්නේ මහත් වික්ෂිප්ත භාවයකිනි. මෙතරම් ඉක්මනට වෝනර් සිය සුපරුදු රිද්මයට පැමිණීම කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකිය. එහෙත් එය එසේ සිදුවී තිබේ.

මොහොමඩ් අමීර්්

2009 ජුලි මාසයේ ශ්‍රී ලංකාව සමග ටෙස්ට් සහ එක්දින වරම් හිමිකර ගත් 17 හැවිරිදි පාකිස්තානු නවක වමත් වේග පන්දු යවන්නා පිළිබඳව බොහෝ ක්‍රිකට් ලෝලීන් අවධානය යොමු කළ අතර හිටපු පාකිස්තානු නායකයෙක් වූ රමීස් රාජා මෙම ළාබාල පන්දු යවන්නා දෙස බලමින් පවසා සිටියේ ‘‘ඉදිරියේදී වසීම් අක්‍රම්ගේ දස්කම් අභිභවා යාහැකි පන්දු යවන්නෙක්’’ බවයි.

ඉතා විශිෂ්ට දක්ෂතා දක්වමින් ටෙස්ට් මෙන්ම එක්දින පිටියද ආක්‍රමණය කළ මොහමඩ් අමීර් පාකිස්තානු කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක් බවට පත් වන්නේ ඔහුගේ පළමු තරගාවලියේදීමය. වසරක් ගත වන විට කණ්ඩායමේ සිටින ප්‍රධානම වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් කෙනෙක් බවට පත්වීමටද ඔහුට හැකි වන්නේය. එහෙත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට පැමිණ වසරක් ගිය තැන එංගලන්ත සංචාරයකදී මුදලට තරග පාවාදීමේ චෝදනාව එල්ලවන එවක පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායක සල්මන් බට් සහ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අසීෆ් සමග මොහමඩ් අමීර්ගේ නමද ඈඳෙන අතර තිදෙනාම අත් අඩංගුවට පත්වේ.

දිළිඳුකම නිසා තමන් තරග පාවාදීමට පෙළඹුණු බව බවසන ඔහු වයස අවුරුදු 18දී වසර 5ක තරග තහනමකට යටත්වේ. ඒ 2010 වසරේදීය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස විශිෂ්ට දස්කම් දැක්වීමට තිබූ වසර පහක තහනම් කාලයක් ගෙවා දැමීමෙන් අනතුරුව නැවතත් ක්‍රිකට් පිටියට පිවිසීමට අමීර් සූදානම් වුවද බොහෝ දෙනාගේ කෙණෙහිලිකම් නිසා එම ආගමනය තවදුරටත් ප්‍රමාද විණි. එහෙත් කෙසේ හෝ නැවත තණතිල්ලේ පහස විඳීමට අමීර් වාසනාවන්ත වන්නේ ඔහුගේ ඇති අප්‍රතිහත ධෛර්යය නිසාමය.

විශේෂයෙන්ම පාකිස්තානයේ හිටපු ක්‍රීඩකයන්ද පවසන්නේ ඉම්රාන් ඛාන්, ජාවෙඩ් මියන්ඩාඩ්, හනීෆ් මොහොමඩ් වැනි කීර්තිමත් පාකිස්තානු ක්‍රීඩකයන් පැළඳි පාකිස්තානු වර්ණ සහිත හිස් ආවරණය පැළඳීමට අමීර් වැනි තරග පාවාදෙන්නන් නුසුදුසු බවයි.

ඒ සියල්ල මැද වසර කිහිපයක් ගතවන්නේ අමීර් පිළිබඳව විශේෂත්වයක් ඇතුව නොවේ. ඒ අතර 2018-19 වසර සඳහා පාකිස්තානු ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තිස්තුන් දෙනෙකු ගිවිසුම් ගත කරන්නේ අමීර්ගේ නමද ඇතුළත් කරමිණි. මොහොමඩ් අමීර් නම් විශිෂ්ට පන්දු යවන්නාගේ දෙවැනි ආගමනය කරළියට පැමිණෙන්නේ ඒ සමගමය. දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගාවලිය මෙන්ම එංගලන්තය සමග තරගාවලියටද අමීර් එක්වන අතර එම තරගාවලි දෙක පරාජය වුවද අමීර් දස්කම් අතර සිටියේය.

ඒ නිසාම ලෝක කුසලානය සඳහා තරග වැදීමට එංගලන්තය බලා පැමිණෙන කණ්ඩායමේ ප්‍රධාන අසුනක් අමීර්ට වෙන් වන අතර එයට උපරිම සාධාරණය කරමින් මොහොමඩ් අමීර් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට සමත්ව සිටී. තරගාවලිය තුළ පාකිස්තානය පසුබෑමකට ලක්වුවද තරග 6ක් අවසානයේ තරගාවලියේ පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටින්නේ අමීර්ය. ඒ තරග 6කදී කඩුලු 15ක් බිඳ දමමිණි. දැනට කඩුල්ලක් වෙනුවෙන් හොඳම සාමාන්‍ය වාර්තා කර ඇත්තේද අමීර්ය. ඔහු දවාගත් කඩුල්ලක සාමාන්‍ය ලකුණු 14.6කි.

වසර පහක තරග තහනමක්ද ඉන් පසුව වසර දෙකක පමණ කාලයක් කුඩම්මාගේ සැලකිලිද ලැබූ අමීර්ට තවමත් වයස අවුරුදු 27කි. එබැවින් ඔහුට පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවට තව බොහෝ දේ කළ හැක. ප්‍රතිවාදී කණ්ඩායම් වසර පහක කාලයක තරග තහනමකින් පසුව පන්දුව අතට ගෙන සිටින අමීර්ව දකින්නේ කලින් සිටි අමීර්ට වඩා භයානක පන්දු යවන්නෙක් ලෙසිනි.

මෙතරම් ඉක්මනට අමීර් සිය සුපරුදු රිද්මයට පැමිනීම කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකිය. එහෙත් එය එසේ සිදුවී තිබේ.

වෝනර් සහ අමීර් විවිධ හේතු මත විවිධ කාලසීමාවන්ට ජාත්‍යන්තර තරග තහනමකට ලකුවූ ක්‍රීඩකයන් දෙදෙනෙකි. බොහෝ ක්‍රීඩකයන් තරග තහනම් වලින් පසුව තමන් කලින් සිටි රිද්මයට පැමිණීමට නොහැකිව අසරණ වන අතර ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතයද එතැනින්ම කෙළවරවේ. වෝනර් සහ අමීර් එම අතිශය කටුක කඩඉම විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජය ගැනීමට සමත්ව සිටී.

මහත්වරුගේ ක්‍රීඩාවේ මහත්මා ගුණයට හානිවන ලෙස ක්‍රියා කළ ඔවුන් දෙදෙනා සියලු චෝදනාවලින් නිදහස්ව පැමිණ ක්‍රිකට් ක්‍රීඩාවේ නිර්මාතෘවරුන්ගේ නැතහොත් මහත්වරුන්ගේ දේශයේදීම අති විශිෂ්ට දස්කම් දක්වමින් සිටිනු සුවහසක් ක්‍රීඩා ලෝලීන් මහත් උද්යෝගයෙන් නරඹන්නේ වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ අසිරිය මේ යැයි පවසමිනි.

මාතෘකා