අවසන් පූර්ව සිහිනයේ තියුණු සටන් පොළ

 ඡායාරූපය:

අවසන් පූර්ව සිහිනයේ තියුණු සටන් පොළ

ලෝක කුසලානයේ උණුසුම්ම දින කීපය ඇරඹෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ තීරණාත්මක අවසන් තරග වටයට එළැඹ තිබේ. අවසන් තරග වටය යැයි නිල වශයෙන් සඳහන්ව නැතත් එය තීරණය කළ හැකි අවසන් තරග කීපය දැන් ආරම්භවී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තීරණාත්මක තරගයක් වෙනුවෙන් හෙට (28) දකුණු අප්‍රිකාව සමඟ තරග බිමට පිවිසෙයි. තරගාවලිය තුළ තම ඉදිරි ගමන සම්බන්ධයෙන් කිසිදු අරමුණක් නොමැති දකුණු අප්‍රිකාවේ එකම අපේක්ෂාවවී ඇත්තේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සහයට හැකිතාක් අකුල් හෙළීම පමණකැයි පැවසිය හැකිය. ඒ අනුව අද තරගයේදී තම කණ්ඩායම අතින් ගිලිහීගිය යශෝ කීර්තිය යළි රක්ෂා කරගැනීම වෙනුවෙන් ඔවුන් මෙම තරගය යොදාගනු ඇත.

අද තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අට දක්වා වර්ධනය වන අතර එය මුල් කණ්ඩායම් අතර තමන්ගේ ස්ථානය පස්වැනි ස්ථානය දක්වා යළි රැගෙන ඒමට ඉවහල් වනු ඇත. (එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගයේදී ඔස්ට්‍රේලියාව ජයගත් හෙයින් එම ස්ථානය තීරණය කිරීමේදී ලකුණු වේගය බලපෑම් කරනු ඇතැයි විශ්වාස කෙරේ.)

නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය ඊයේ පැවැත්වුණ නමුත් මෙම සටහන ලියවෙන තුරුත් එහි ප්‍රතිඵල සනාථව නොතිබුණෙන් පාකිස්තානයද අවසන් පූර්ව වටයට පිවිසීමේ සටනට එක්වීමට සුදුසුකම් ලබා ඇත්ද යන්න ගැන තීරණයක් ගැනීමට අපසුය. (එහෙත් පාකිස්තානය ආක්‍රමණශීලී ලෙස පන්දුයවමින් නවසීලන්ත පිතිකරුවන්ගේ මඟ අහුරා තිබුණු හෙයින් එය ජයගැනීමේ වැඩිවාසි නිර්මාණය වෙමින් තිබුණේ පාකිස්තානයටයැයි උපකල්පනය කළ හැකිය) පාකිස්තානය, දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කළ ස්වභාවය සලකන කල්හි ඔවුන්ගේ මානසික තත්ත්වයේ යළි පිබිදීමක් පැහැදිලිව දකින්නට හැකැයි පැවසිය යුතුය. එහෙයින් ඔවුන් මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිස තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමේ අපේක්ෂාවෙන් යුක්තව ක්‍රීඩාකරමින් සිටින බව පැවසිය යුතුය.

මේ වනවිට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගිවූ සියලු තරග පරාජයවී සිටින ඇෆ්ගනිස්ථානය පාකිස්තානය සමඟ ජූනි 29 වැනිදා එකිනෙකා හමුවන අතර ඊයේ තරගය පාකිස්තානය ජය ලැබුවේ නම් ඇෆ්ගන්වරුන්ට එරෙහි තරගයෙන්ද ලබාගන්නා ජයග්‍රහණය ඔවුන්ට අවසන් පූර්ව වටයේ ස්ථානයක් දිනා දීමට ඉවහල්වනු ඇතැයි විශ්වාස කළ හැකිය. එහෙත් එය තීරණය කිරීමට ඉවහල් වනුයේ සෙසු කණ්ඩායම් ලබාගන්නා ජයග්‍රහණයන් හා පරාජයන්ට අනුකූලවය.

එදිනම තරගාවලියේ 37 වැනි තරගය වශයෙන් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව එකිනෙකා මුණගැසීමට නියමිතය. එහි ප්‍රතිඵලයද අවසන් පූර්ව වටයට බොහෝ දුරට බලපෑමක් කරනු නැතැයි විශ්වාස කළ හැක්කේ එම කණ්ඩායම අවසන් පූර්ව තරගය වෙනුවෙන් දැනටමත් සුදුසුකම් ලබා ඇතැයි සිතිය හැකි පසුබිමකය. ජූලි 01 වැනිදා ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් සලකනකල්හි වඩාත් තීරණාත්මකය. එමෙන්ම ජූනි 30 වැනිදා එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගයේදී එංගලන්තය අබිබැවීමට ඉන්දියාව සමත්විය යුතුමය. එසේ වන්නේ නම් පමණක් ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශයට අවසන් පූර්ව වටයේ අපේක්ෂා දැඩිකරගැනීමට හැකියාව උදාවෙයි. ජූලි 02 වැනිදා බංග්ලාදේශය හා ඉන්දියාව අතර තරගයෙන් ඉන්දියාව ජයගනු ඇතැයි අපේක්ෂා කළහැක්කේ බංග්ලාදේශය හමුවේ පරාජයවීමට ඉන්දියාව දක්වන අකමැත්ත හේතුවෙනි. එහෙත් බංග්ලාදේශයද අවසන් පූර්ව වටයට පිවිසීමේ අරමුණෙන් දැවැන්ත තරගයක නියැලෙමින් ඇතිබව නොසලකා හැරිය නොහැකිය. මේ වනවිට පිතිකරුවෙක්, පන්දුයවන්නෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් ශකීබ් අල් හසන් කරළියට පැමිණ ඇති හෙයින් ඔහුගේ අසාර්ථකවීම බංග්ලාදේශය පාර්ශ්වයෙන් ප්‍රබල බලපෑමක් සිදුකරනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඔහු ඊයේ දිනයේදී ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව පරාජය කිරීමට තම කණ්ඩායමට අසීරු නොවන බවය. එහෙත් එය හුදෙක් කටමැත දෙඩවීමක් පමණක් බව ඉන්දීය කණ්ඩායම් ආරංචි මාර්ග පවසා තිබිණි.

එහෙත් දෙරට අතර පැවැත්වෙන තරගයේදී උපක්‍රමිකව පසුබෑමකට ඉන්දීය කණ්ඩායම එකඟවන්නේ නම් පමණක් බංග්ලාදේශයට ජයග්‍රහණය හිමිකර දිය හැකිය. එහෙත් ඉන්දීය කණ්ඩායම එවැනි තීරණයකට පිවිසීමට ඇති ඉඩකඩ අවමය. ඒ මන්දයත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දියාවටද අවැසිවී ඇති හෙයිනි. එය අවසන් පූර්ව වටයේදී තමන් හමුවන ප්‍රතිවාදී කණ්ඩායම වඩාත් පහසු කරගැනීමට ඉවහල්වනු ඇතැයි විශ්වාස කරන හෙයිනි.

කෙසේ නමුත් බංග්ලාදේශයේ අවසන් පූර්ව වටය තවත් දුෂ්කර කරනු ලබන සෙසු තරගය පාකිස්තානය හා පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූලි 05 වැනිදාය. එය අසීරු ජනක සටනකැයි නිගමනය කළයුත්තේ පාකිස්තානය පසුගිය ඉරිදා (23) පැවැති ස්ථාවරය සලකද්දීය. එම කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටය වෙනුවෙන් ඊට පෙර පැවැති තරග ජයගැනීමට සමත්ව තිබුණහොත් අතිශය උණුසුම් තරගයක් අපේක්ෂා කළ හැක්කේ අවසන් මහා තරගය වැනි සටනක් ලෙසනි.

ශ්‍රී ලංකාවටත් ජූලි 06 වැනිදා ඉන්දියාව හා එවැනිම තීරණාත්මක තරගයකට සහභාගිවීමට අවස්ථාව හිමිවෙයි. මානසික ශක්තිය පවතින්නේ නම් එම තරගයවුව ජයගැනීමට ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් අසීරු නැත. එය ජයගැනීමට නම් පසුගිය සෙනසුරාදා පැවැති එංගලන්ත තරගයේදී මෙන් ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණිය යුතුවන අතර ආරම්භක පිතිකරුවන් ඇතුළු සෙසු පිතිකරුවන්ගේ පිතිවලින් ලකුණු පුවරුව වෙනුවෙන් සාර්ථක දායකත්වයක් ලැබිය යුත්තේමය.

ඉන් අනතුරුව පන්දුයවන්නන් වඩා සුපරීක්ෂකව පන්දුයැවීමද අවශ්‍යය. අප එසේ කියන්නේ ලසිත් මාලිංග සාධකය වඩා හොඳින් අවබෝධ කරගන්නටත්, ජස්ප්‍රිට් බුම්රාගෙන් සහ යුෂ්වේන්ද්‍ර චාහල්ගෙන් වැඩි ප්‍රයෝජනයක් ගැනීමටත් ඉන්දියාව සූදානමින් සිටින හෙයිනි. ඒ වෙනුවෙන් අයි.පී.එල්. අත්දැකීම් ප්‍රයෝජනයට ගන්නට ඉන්දියාව උත්සුක වනු ඇත. තවත් අන්තයකින් සලකන කල ඉන්දියාව ලසිත් මාලිංග විෂයේ පසුගිය කාලවකවානුවේම සාර්ථකවී ඇති බව සැලකෙන හෙයිනි.

කෙසේ නමුත් තරගාවලියේ දැනට දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගැනීමේදී මුල් පිතිකරුවන් විසි දෙනා අතර කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවකු රැඳී නොමැති අතර මුල් පන්දු යවන්නන් 20 දෙනා අතරට එක්ව සිටින ලසිත් මාලිංග එහි 15 වැනියා බවට පත්ව ඇති බව දැකිය හැකිය. එහෙයින් කණ්ඩායමක් වශයෙන් වැඩි සාමූහිකත්වයකින් යුතුව ඉදිරියට ගමන් කිරීමත්, ප්‍රතිවාදීන් උපක්‍රමිකව පසුබැස්සවීමට සිදුවීමත් වැළකිය නොහැකිය.

මාතෘකා