කුසල් මෙන්ඩිස් ලෝක කුසලානය ඉහළින්ම අවසන් කරන පිතිකරුවා විය හැකියි : ඉන්දියාව අනුකරණය කරන්නනම් අපිට බෑ

 ඡායාරූපය:

කුසල් මෙන්ඩිස් ලෝක කුසලානය ඉහළින්ම අවසන් කරන පිතිකරුවා විය හැකියි : ඉන්දියාව අනුකරණය කරන්නනම් අපිට බෑ

අපි අපේ සීමාව තේරුම් ගත යුතුයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙනුවෙන් ඇන්ඩෘ ෆිඩෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න හා ලෝක කුසලාන තරගාවලිය අතරතුර එංගලන්ත භූමියේදී සංවාදයක නිතරවී තිබිණි. එම සංවාදය හැකිතාක් අසංක්ෂිප්තව මෙහි දැක්වේ. දිමුත් තමන්ගේ පිළිතුරු ලබාදීමේදී දීර්ඝ පිළිතුරු ගොනුකර තිබෙන අතර එම සංවාදය තුළ ඔහු ඉන්දියාවේ ක්‍රීඩා රටාව අනුගමනය කිරීම පිළිබඳ අදහස් පළකර තිබේ. මේ එම සංවාදයයි.

ඔබ වසර හතරකින් මෙපිට එක්දින තරග වෙනුවෙන් ක්‍රීඩා කරලා නෑ. නමුත් ඔබව එකවර එක්දින කණ්ඩායමේ නායකයා බවට පත්කරනවා. මේ වගේ තත්ත්වයක් කොහොමද දැනුණේ?

ඒක සුවිශාල අභියෝගයක්. මම ඒක දැනගෙන තමයි මේ වගකීම බාරගත්තේ. කණ්ඩායම ඇතුළේ මගේ තැන ස්ථාවර කරගන්න නම් පෞද්ගලිකව මම දක්ෂතා දැක්විය යුතු බව මම තේරුම් ගත්තා. වසර හතරක් පුරා එක්දින කණ්ඩායමට ක්‍රීඩාකර නැති නිසා එය කළ හැකි බව කියන්න මට සිද්ධ වුණා යමක් ඔප්පු කරන්න. පීඩනයක් තිබෙනවා නම් ඔබ කළ යුත්තේ දක්ෂතා දැක්වීමයි. එවිට තමයි පීඩනය පළවා හරින්න හැකිවෙන්නේ. ඒ නිසා පළමු වගකීම වෙන්නේ පිතිකරුවකු වශයෙන් ලකුණු අතරට පැමිණීමයි. මම ඒ දේ කළොත් නායකත්වය වගේ සෙසු කාරණා තරමක් පහසුවෙන බව ආරම්භයේදීම මම තේරුම් ගත්තා.

වාසනාවට ස්කොට්ලන්තයට එරෙහිව තරගයේදීත්, ලෝක කුසලාන පුහුණු තරගවලදීත් එය කරන්න හැකිවුණා. මම දේශීය වශයෙන් 'ඒ' කාණ්ඩයේ එක්දින තරග ක්‍රීඩා කරලා තිබෙනවා. ඒ තරගවලදී මම මුල් පිතිකරුවන් හතර අතර ඉන්නවා. නමුත් දේශීය සහ ජාත්‍යන්තර තරග අතර පරතරයක් තිබෙනවා. ඒ නිසා මම තව වැඩිපුර ක්‍රීඩා කළ යුතුයි. එවිට මට එ් අත්දැකීම් උපයෝගී කරගන්න හැකිවෙනවා. ඒ වගේම ටෙස්ට් තරගවල අත්දැකීමත් මට වැදගත් වුණා. ඉනිමේ නැංගුරමක් වෙන එකතමයි කණ්ඩායම මගෙන් අපේක්ෂා කළේ. ඒකම තමයි මම ටෙස්ට් තරගවලත් කළේ. ඒ මට කළ හැකි එක දෙයක්. තවත් මට දියුණු කරගත යුතු දේවල් ටිකක් තිබෙනවා. මම ඒකට උත්සහ කරනවා.

දීර්ඝ කාලයක් එක්දින ක්‍රීඩා නොකරපු ඔබ සෙසු ක්‍රීඩකයෝ කණ්ඩායමේ නායකයා හැටියට පිළිගනීවිද කියලා ඔබට සැකයක් ඇතිවුණේ නැද්ද?

ඇත්තටම මට තිබුණු සැබෑ ප්‍රශ්නය ඒක නොවෙයි. මගේ පෞද්ගලික දක්ෂතා ගැනයි මට තිබුණු ප්‍රශ්නය වුණේ. නැතිව කණ්ඩායමේ පිළිගැනීම ගැන මම ප්‍රශ්නයක් කරගත්තේ නෑ. මොකද මම හිතනවා ඔවුන් මට කැමතියි කියලා. මම ටෙස්ට් කණ්ඩායමේ හරි එක්දින කණ්ඩායමේ හිටියත් හැමෝම එක්කම හොඳයි. ඉතින් මම දන්නවා කිසිකෙනෙක් මාව ප්‍රතික්ෂේප නොකරන බව. කණ්ඩායමට අහිතකර වෙන කිසිදෙයක් මගෙන් සිද්ධ වෙන්නෙත් නෑ.

හැබැයි මම 2015 හිට දිමුත්ට වඩා ගොඩාක් අත්දැකීම් ලබාගෙන තිබෙනවා. හැබැයි මගේ ක්‍රිකට් ශෛලියේ වෙනස්කමක් සිදුවෙලා නෑ.

මම එක්දින තරග ක්‍රීඩා කරද්දී මගේ අනිත් පාර්ශ්වයේ ඉන්න පිතිකරුවො මට කියනවා ලකුණක් අරගෙන පැත්ත මාරු කරගෙන එයාලට පන්දුවට මුහුණදෙන්න අවස්ථාව දෙන්න කියලා. ඒ වගේම විවිධ උපදෙස් දෙනවා. මම ඔවුන් සමඟ හොඳින් කටයුතු කරනවා. අනිත් කාරණය මේ දක්වා මගේ පිතිකරණය ගැන ගනිද්දී ප්‍රේක්ෂකයා තුළ ඇත්තේ හොඳ පිළිගැනීමක්. ඔවුන් කියනවා මම කණ්ඩායමට අවශ්‍ය දේ කරනවා කියලා. ඒ වගේම මට කරන්න පුළුවන් සීමාව ගැන මට අවබෝධයක් තිබෙනවා. දැන් මම එක්දින ඉනිමක් ගොඩනංවන ආකාරය වගේම තරග දිනවන දක්ෂතා දක්වන ආකාරය ඉගෙන ගනිමින් සිටිනවා.

අනික මේ වනවිට ක්‍රිකට් පැත්තෙන් මට හොඳ අත්දැකීම් සම්භාරයක් ලැබිලා තිබෙනවා. නමුත් මට නායකත්වය පාර්ශ්වයෙන් බොහෝදේ ඉගෙන ගන්න අවශ්‍යයි. ඒවගේම ඒ දේ කළ හැකි බවට මා තුළ ලොකු විශ්වාසයකුත් තිබෙනවා.

නායකයකු වශයෙන් ඔබ ශක්තිමත් යැයි සිතනවාද?

සාමාන්‍යයෙන් මම හැමෝටම ළඟයි. හැමෝටම එක වගේ සලකනවා. එතැනදී ඔවුන් ජ්‍යෙෂ්ඨද? කනිෂ්ටද කියලා මගේ කිසිම වෙනසක් නෑ. කිසිම කෙනෙකුට විශේෂයක් කරන්නෙත් නෑ. යම් කෙනෙක් අලුතින් කණ්ඩායමට ආවොත් මම එයාට සලකන්නෙත් කණ්ඩායමේ ඉන්න මාලිංගට සලකනවා වගේමයි. මම හැමෝටම කියන්නෙ ඔවුන්ගේ ප්‍රශ්න අරගෙන එන්න කියන එකයි. ඒවාට මම විසඳුම් සොයන්නේ මගේ ප්‍රශ්නයක් විසඳනවා වගේ. මම හැමෝටම හොඳ යාළුවෙක් වෙන්නයි උත්සහ කරනවා. ඒ ගිවිසුම ඔවුන් හා ගොඩනගා ගන්නවා.සමහරු මම වැරදියි කියලා හිතනවා නම් ඔවුන් කියාවි, ‘ඔබ මේ ගැන තව ටිකක් හිතලා බැලුවාද කියලා’ ඒකට මම කැමතියි. මොකද සංවාදය මගින් නිවැරදි දේ හමුවෙනවා. අඩුම තරමේ ඔවුන් එකිනෙකා ඇහුම්කන්දෙනවා.

දකුණු අප්‍රිකාව සමඟ තරගාවලියේදී මට හිටියේ අත්දැකීම් අඩු කණ්ඩායමක්. ඉතින් මට ඔවුන්ව කළමනාකරණය කරන්න සිද්ධ වුණා. නමුත් එක්දින කණ්ඩායම ගත්තම ඒකෙ සම්පූර්ණයෙන්ම පළපුරුදු අය ඉන්නෙ. නමුත් අපි ක්‍රීඩා කිරීම පටන් ගනිද්දි මට තේරුණා දකුණු අප්‍රිකාවේදී ලැබුණාටත් වඩා වැඩි සහයක් මට කණ්ඩායම තුළින් ලැබෙන බව. ජ්‍යෙෂ්ඨයෝ හැමෝම මගෙත් එක්ක කතාකරලා කියනවා මේ දේ කරන්න කියලා, නැත්නම් මේ දේ කරමු කියලා. මම ඒක බොහෝ අගය කරනවා. මම තවම එක්දින තරග 17කට පමණයි ක්‍රීඩා කරලා තියෙන්නේ? (සාකච්ඡාව කරන අවස්ථාව වනවිට) ඔවුන් තරග සියයකට වඩා ක්‍රීඩා කරලා තියෙනවා. ඔවුන් මට වැඩිය බොහෝ දේවල් දන්නවා. නමුත් නායකයකුට අවශ්‍ය ගෞරවය ඔවුන් මට අඩුවක් නැතිව ඔවුන්ගෙන් ලැබෙනවා. සැමවිටම ඔවුන් මගේ හඬට ඇහුම්කන් දෙනවා. මමත් ඔවුන්ට ඇහුම්කන්දෙනවා. ඒ කියන සංවාදය හැමවිටම විවෘතයි.

අනෙක මම කණ්ඩායම එකට තියාගන්න උත්සහ කරන එකයි කරන්නෙ. පහළොස් දෙනකුගේ කණ්ඩායමක් වශයෙන් හැම දෙයක්ම එහෙම කරන්න බෑ. නමුත් අපි කෑම කන්න එළියට යද්දී මම කියන්නේ, ‘අපි මේ ගමන මෙතැන්ට යන්න හදන්නෙ? කවුද එන්නෙ’ කියායි. ඉතින් කණ්ඩායමම එකතුවෙනවා. අපි කතාබහ කරන විට, විහිළු තහළු කරනවිට කණ්ඩායම් හැඟීම තවදුරටත් වැඩි වර්ධනය වෙනවා. දිනෙන් දින එය තව තවත් ශක්තිමත් වෙනවා. අපි තරගයක් දිනුවොත් එ් බැඳීම තවත් වේගවත් වෙනවා. අපි නවසීලන්තය සමඟ ලෝක කුසලානයේදී පළමු තරගයට ක්‍රීඩා කරන විට කණ්ඩායම හරි විදිහට එකමුතු වෙලා තිබුණේ නෑ. නමුත් හැම තරගයකටම පස්සේ ඒ තත්ත්වය වෙනස් වෙනවා. එය වඩාත් දැඩි සම්බන්ධතාවක් ලෙස ගොඩ නැං‍ෙවනවා.

නායකයා වශයෙන් ඔබ ක්‍රියාකරද්දී කණ්ඩායමේ එකමුතු බව ප්‍රමුඛ කාරණයක්.

අපි එක දිගට තරග ගොඩක් පැරදුණා. ඒ හින්දා සැකයක් ඇතිවුණා. එකිනෙකා විවිධ දේවල් කිව්වා. නායකයාට කිව්ව දෙයක් සිද්ධ නොවුණොත් හරි ප්‍රතික්ෂේප කළොත් හරි සෙස්සෝ කලකිරීමට පත්වෙලා දොස් කියන්න ගන්නවා. නමුත් ඉස්සෙල්ලා කිව්වා වගේ මම හැමෝටම සලකන්නේ එක වගේ. ඒ නිසා මට හැමෝගෙන්ම තොරතුරු පහසුවෙන් ගලාඑනවා කියලා විශ්වාස කරනවා. මගේ රැකියාව තමයි ඒවා තෝරාබේරාගෙන හොඳ දේවල් ක්‍රියාත්මක කරන එක. මට යමක් ගැන සැකයක් තිෙයනවා නම්, ක්ෂණයෙන් ජ්‍යෙෂ්ඨයන්ට කතාකරනවා. ඔවුන්ගෙන් එක් අයකුට නොවෙයි, ජ්‍යෙෂ්ඨයන් තුන් දෙනාටම. ඊට පස්සේ ඒ ගැන ඔවුන්ගේ අදහස් ගන්නවා. ජ්‍යෙෂ්ඨයන් තුන් දෙනා කිව්වේ තිසර, මාලි සහ ඇන්ජිටයි. ඊට පස්සේ හොඳම විධිහ තෝරාගෙන ක්‍රියාත්මක කරනවා. මේ ලෝක කුසලානයේදීත් හුඟාක් වටින යෝජනා ආවා. සමහරු මට කිව්වා, වහින නිසා වේග පන්දුයවන්නන් අරගෙන කඩුලු දවාගනිමු කියලා. මට අත්දැකීම් අඩුනිසා ඩක්වර්ත් ලුවිස් ක්‍රමය සකසන ආකාරය හොඳින් දන්නෙ නෑ. ඒ නිසා එම ක්‍රමය යොදාගනිමින් තරගයක ප්‍රතිඵලය සකස් විය යුතු ආකාරය ගැන මීට පෙර ගණනය කරලා තිබුණේත් නෑ. මට ඒකට උදව් අවශ්‍ය වුණා. ජ්‍යෙෂ්ඨයන් තිදෙනාම මට උපකාර කළා.

එක්දින තරගවලදී නායකයා වශයෙන් ඔබේ දුර්වලතාවය හැටියට උපක්‍රම යොදා ගැනීම කියා කීවහොත්?

මම දේශීය සහ 'ඒ' කාණ්ඩයේ එක්දින තරගවලදී නායකයා ලෙස ක්‍රියා කරලා තියෙනවා. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ඒක වෙනස්. එතැනදී හොඳම ක්‍රමය තමයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ වෙත ගිහිල්ලා සහය ලබාගැනීම. ඔවුන් දෙන අදහස් මට වටිනවා. කණ්ඩායමේ ඉන්න සෙසු ක්‍රීඩකයන් 10 දෙනාගෙන් සහය ලැබෙන්නේ නැති කිසිම කෙනෙකුට නායකයකු වෙන්න බෑ. තවත් තරග කීපයක් ක්‍රීඩා කරනවිට මටම අත්දැකීම් ලැබෙන බව ස්ථිරයි. මම කඩිනමින් ඉගෙන ගන්නවා කියලා සැමවිටම විශ්වාස කරනවා. නමුත් දැන් මට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ උපකාර අවශ්‍යයි.

ඔබට පෙර මාලිංග කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළා. ඒ වගේම ලෝක කුසලානයේ නායකයා වශයෙන් ක්‍රියා කරන්නත් ඔහු තුළ අපේක්ෂාවක් තිබුණා. එවැනි තත්ත්වයක් තුළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නායකයා වශයෙන් ඔබව පත්කළාට පසුව ඔහු සමඟ ඔබේ සම්බන්ධතාවය මොනවගේද?

මාලිංග කියන්නේ අනිවාර්යයෙන්ම කණ්ඩායමක් තුළ සිටිය යුතු ක්‍රීඩකයෙක්. ඔහු රට වෙනුවෙන් කරලා තියෙන හැම දෙයක් ගැනම කතාකරන්න අවශ්‍යයි කියලා මම හිතන්නෙ නෑ. නායකත්වය ලැබුණු ගමන් මම කළේ ලසිත් අයියට කතාකරන එකයි. මම ඔහුට කිව්වා ඔහු මගේ කණ්ඩායම තුළ ඉන්නවා කියලා. ඔහු නායකයා නෙවෙයි නම් ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නෙ නෑ කියලා විවිධ කටකතා පැතිරිලා තිබුණා. නමුත් මම පෞද්ගලිකව කතාකරලා ඔහුට ක්‍රීඩා කරන්න කිව්වා. ලෝක කුසලානයක් එන්නෙ වසර හතරකට සැරයක්. මට ඔහුගේ සහයෝගය අත්‍යවශ්‍යයයි.

මමයි මාලි අයියයි ගැන කියනවා නම් අපි අතර වෙන කිසිම ප්‍රශ්නයක් නෑ. අපි හැමවෙලාවෙම අපි වෙනුවෙන් ක්‍රීඩා කළා. මට මතක විධිහට අපි දෙන්නා එකට ක්‍රීඩා කරලා තියෙන්නේ තරග දෙකට විතරයි. මම ඔහුට පෞද්ගලිකව ගිහිල්ලා කිව්වා, ‘මා වෙනුවෙන් ක්‍රීඩා කරන්න. රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න. අපිට ලෝක කුසලානයේදී තරග නවයක් තියෙනවා. අපිට ඒ වෙනුවෙන් ඔබව උවමනායි’ කියලා. මම එහෙම පෞද්ගලිකව ඔහු එක්ක කතාකරපු එක ගැන ඔහු බොහෝ ගෞරව කළා. මම හිතන්නේ ඒ වනවිට ඔහු තීරණයක් අරගෙනයි හිටියෙ. එදා හවසට මට ඒ ගැන කියන්නම් කියලා ඔහු කිව්වා. ඊට පස්සේ ලෝක කුසලානයට ඔහු ක්‍රීඩා කරන්න තීරණය කරලා තිබුණා. ඔහු කණ්ඩායමට ආපුදා ඉඳලා මට බොහෝ දැනුමක් අවබෝධයක් ලබාදුන්න ජ්‍යෙෂ්ඨයෙක්. ඔහු නායකයා වශයෙන් කටයුතු කරන සහ මම නායකයා ලෙස කටයුතු කරන ක්‍රමය බොහෝ වෙනස්.

මේ වෙනස්කම් එක්ක ඔබට සැලසුම් හදාගන්න පුළුවන් වුණාද?

ඔහු ගොඩක් ක්‍රිකට් තරග ක්‍රීඩා කරලා තිබෙනවා. ජාත්‍යන්තර වගේම අයි.පී.එල්. වගේ තරගවලදි ඔහු අත්දැකීම් ලබාගෙන ඇති ක්‍රීඩකයෙක්. අපේ බොහෝ ක්‍රීඩකයෝ අත්දැකීම් පාර්ශ්වයෙන් ඉතාම අඩුයි. මම මේ ක්‍රීඩකයෝ සමඟ හුඟාක් ක්‍රීඩා කරලා තිබෙන නිසා මම ඔවුන්ගේ මානසිකත්වය ගැන දන්නවා. ඔවුන් නායකයකුගෙන් අපේක්ෂා කරන දේත් මම දන්නවා. හැබැයි මාලි අයියා සමහර වෙලාවට අත්දැකීම් අඩු ක්‍රීඩකයන්ට කියන දේවල් ටිකක් තදයි. මම හිතන්නේ ඒක තමයි අපි අතර තිබෙන වෙනස්කම. මම මේ ක්‍රීඩයන් සමඟ දේශීය සහ 'ඒ' කොටසේ තරගවලදී ක්‍රීඩා කරලා තිබෙනවා. ඉතින් මම මාලි අයියා කියන්නේ මොකක්ද කියලා අනෙක් ක්‍රීඩකයන්ට තනුක කරලා කියලා දෙනවා. මම ලක්මාල්ට යමක් කියන විදිහට නොවෙයි නුවන් ප්‍රදීප්ට දෙයක් කියන්නෙ.

මාලි අයියා ගැන කියනවා නම් ඔහු හරි සෘජුයි. ක්‍රිඩාව ඇතුළේ කරන්න තියෙන හැමදෙයක්ම ඔහු කරලා තිබෙනවා. ඔහුට නිවැරදි යෝකර් පන්දුවක්, විශිෂ්ට ඉපිලෙන පන්දුවක් සහ වයිඩ් සීමාව ළඟින්දාන යෝකර් පන්දුවක් තියෙනවා. අපේ අනිත් වේග පන්දුයවන්නන්ට තවම ඒ දක්ෂතාව නෑ. ඔවුන් තරමක් හොඳ යෝකර් පන්දුයවනවා. ඊට පස්සේ එකක් මග හරිනවා. ලකුණු ලබාදෙනවා. ඉතින් ඊට පස්සේ ඔවුන්ම තැති ගන්නවා. ඒ තැතිගැන්ම සෙසු ක්‍රීඩකයන්ටත් බෝවෙනවා. නුවන් ප්‍රදීප් වගේ ක්‍රීඩකයකු ගත්තොත් යෝකර් පන්දුවට වැඩිය ඉපිලෙන පන්දුව හොඳයි. ඔහු පන්දුවට වේගය දෙනවා. ඒ දේවල්වලට අපි ඔහුට නිදහස ලබාදීලා තිබෙනවා. ඔහුම තමන්ගෙ සීමාවීම් සම්බන්ධයෙන් සොයාගත යුතුයි.

දකුණු අප්‍රිකාවෙදි ටෙස්ට් තරගාවලිය ජයගත්තාට පසුව ඔබ කිව්වා ක්‍රීඩකයන්ට ලැබුණු නිදහස කණ්ඩායම තුළ මේ වෙනස සිදුකළා කියලා. නිදහස ඔබට ලොකු දෙයක් වුණාද?

නිසැකවම. ඔබ කොයිතරම් පුහුණුවුණත් ඔබේ මනස ශක්තිමත් නැත්තනම් ඒක ප්‍රයෝජනවත් නෑ. ඔබ දිගටම ක්‍රිකට් ගැන හිතන එක අමාරු දෙයක්. ඔබ ක්‍රීඩා කරන්න ඉස්සර එය ඔබ මානසිකව වෙහෙසට පත්කරනවා. ඉතින් මම කළමනාකාරිත්වයට කිව්වා ක්‍රීඩකයන්ට නිදහසක් දෙන්න කියලා. ඔවුන්ට කැමති දෙයක් කරන්න, කැමති දිහාවකට යන්න ඉඩ දෙන්න මම ඉල්ලා සිටියා. ඔවුන් එළියට ගියා. ඒ ගමන් බිමන් වලදී ඇතිතරම් සතුටු වුණා. ඒ කියන්නේ ඔවුන්ගේ මනසේ ක්‍රිකට් තිබුණේ නෑ. අඩුම තරමේ ටිකකටවත්. ඔබ තරගය ගැන පමණක් හිතනවා නම් ඒක හිසරදයක්.

පුහුණුකරු හතුරුසිංහ තරග සම්බන්ධයෙන් හුඟාක් සූදානම් වෙන්න කැමති කෙනෙක්. නමුත් ඔබ අගයන්නෙ නිදහස. මොකක්ද මේ දෙක අතර තියෙන සහසම්බන්ධය?

හතු අයියා තරගය හුඟාක් විශ්ලේෂණය කරන කෙනෙක්. ඉතින් ඔහු ක්‍රීඩකයන්ට ගොඩාක් තොරතුරු දෙනවා. ඒක සමහර ක්‍රීඩකයන්ට වැඩකරනවා. නමුත් ඒ ක්‍රමය තවත් සමහරුන්ට වැඩකරන්නෙ නෑ. ඉතින් සමහර වෙලාවට මට හිතුණා තොරතුරු හුඟාක් වැඩියි කියලා. ඒක ක්‍රීඩකයෝ නිල නොලත් ආකාරයෙන් කියලා තිබෙනවා. ඒක මම හතු අයියා එක්ක කතාකළා. ඒ ගැන ඔහුව දැනුවත් කරලා පසුව කණ්ඩායමේ අවශ්‍යතාවලට අනුව කටයුතු කරන්න ගත්තා. තවත් වෙලාවක කණ්ඩායමට තොරතුරු අවශ්‍ය නම් මම හතු අයියා ගාවට දුවලා මොකද කරන්නේ කියලා කතා කරනවා. අනික් වෙලාවට කණ්ඩායම් රැස්වීම් තියන්නෙ නෑ. මොකද මම දන්නවා හැම වෙලාවකම කණ්ඩායම තරගයක් වෙනුවෙන් සූදානම්. අපිට කිසිම සසලවීමක් ඇතිකරගැනීමට අවශ්‍ය නෑ. අපි එකිනෙකා එක්ක කතාකරලා සමතුලිත භාවය තබාගන්නවා.

සමහර දේවල් තියෙනවා ඔබ අනිවාර්යයෙන්ම විශ්ලේෂණය කරන්න සහ කතාකරන්න අවශ්‍ය වන දේවල්. අපේ මැද පෙළ ඇෆ්ගනිස්ථානයට එරෙහිව කඩා වැටීම එක උදාහරණයක්. එය සිදුනොවිය යුතු දෙයක්. මේවගේ තත්ත්ව ගැන අපි පුළුල්ව කතාකළා. අපි කරන වැරදි, අතපසුවීම් ගැන මම කතාකරන්න කැමතියි. අපි හොඳින් කරපු දේ අගය කරන්නත් කැමතියි. හතුරු අයියා ගෙදර වැඩ ගොඩාක් කරන කෙනෙක්. ඒ වගේම හුඟාක් විශ්ලේෂණය කරනවා. වෙලාවකට අපිට එය අවශ්‍යයයි. එවිට අපිට එය ගන්න හැකියි.

ඔබ කිව්වා හුඟාක් අයට තොරතුරු වැඩියි කියා. නමුත් ඔබ හැම දෙයක්ම දැනගන්න කැමති ක්‍රීඩකයෙක්?

මම හිතන්නේ මේ කණ්ඩායම එක්ක ගොඩක් ක්‍රීඩා කරද්දී ඒක ලැබෙනවා. අපි දේශීය තරග ක්‍රීඩා කරද්දී අර වගේ තොරතුරු එන්නෙ නෑ. එතකොට වැඩිය පීඩනයක් ඇත්තෙත් නෑ. හැමෝම තරගය විතරයි ක්‍රීඩා කරන්නෙ. මම දන්න විධිහට ඒ වගේ තොරතුරුවලට සමහර ක්‍රීඩකයෝ අකමැතියි. මම කුසල් පෙරේරාත් එක්ක දේශීය තරගවල කාමරය බෙදාගෙන ඉඳලා තිබෙනවා. කුසල් පෙරේරා වගේ ක්‍රීඩකයකුට නිදහසේ ක්‍රීඩා කරන්න අවශ්‍යයි. නැත්නම් ඔහුට උපදෙස් දෙන්න ගියොත් අවුල් වෙන්න පුළුවන්. මම ඊට වඩා වෙනස්. මට තොරතුරු අවශ්‍යයි. මම හැමමොහොතකම තොරතුරු ලැබුණාම ඒක සතුටින් අරගන්නවා. ප්‍රතිවිරුද්ධ පන්දු යවන්නෝ මුල් පන්දුවාර දහයේ පන්දු දමන්නේ මොනව විධිහටද කියලා මට දැනගතයුතුයි. ඊට පස්සේ ඔවුන් කරන්න යන්නේ මොනවද මට ඔවුන්ට ප්‍රති උත්තර ලබාදිය හැකි ක්‍රමය ගැන මම දැනගන්න කැමතියි.

ඔබ හදිස්සියේ නායකත්වයට පත්වුණා. ලෝක කුසලානයෙන් පස්සේ මොකද වෙන්නෙ? මේ තනතුර දිගටම පවත්වාගෙන ගිහින් කණ්ඩායම ගොඩනගනවාද?

නායකත්වය කියන්නේ මම ඉල්ලපු දෙයක් නොවෙයි. මට අවශ්‍ය එකම දෙය කණ්ඩායමට ක්‍රීඩාකිරීමයි. මට පෞද්ගලික ඉලක්ක තිබෙනවා. මට ටෙස්ට් තරග 100ක් ගහන්න අවශ්‍යයි. උදාහරණයකට නායකත්වය කියන්නේ මගේ ක්‍රිකට් ජීවිතයේ එක දෙයක් විතරයි. හැම කෙනෙකුටම ඒ දේ ලැබෙන්නෙ නෑ. ඒක ලැබුණු එක ගැනත් මම හුඟාක් සතුටු වෙනවා. නමුත් මම ඒකට කෑදර නෑ. මට දක්ෂතා දක්වන්නට පුළුවන්නම් වගේම ජයග්‍රහණය වෙනුවෙන් දායක වෙන්න හැකිනම් මට ඒ ඇති. යමෙක් මමත් තරග දිනවන්නෙක් කියද්දී මම තරමක් කලබල වෙනවා. කුසල් පෙරේරා, ඇන්ජලෝ සහ මාලිංග තමයි තරග දිනවන්නෝ. ඒ ආකාරයට පත්වීම තමයි මටත් අවශ්‍යය. ඒක කරන එක, ඇත්තටම මට නායකත්වය අවශ්‍යම නෑ. ඕනෑම කෙනෙකුට ඊළඟ තරගාවලියේදී මගේ මේ නායකත්වය ලබාගත හැකියි. මම සීයට සීයක් එතැන ඉන්නවා. නමුත් එය මට ලැබිලා තියෙද්දි ඒ වෙනුවෙන් මම මට කළ හැකි හැමදෙයක්ම කරනවා.

පිළිමළුන් පිටුදැකීමේ වටයට එන්න ශ්‍රී ලංකාව කුමක් කළයුතුද?

අපිට කණ්ඩායමක් වශයෙන් ගෙන බලද්දී සීමා සහිත දක්ෂතා තිබෙන්නේ. ඔබ අනෙක් කණ්ඩායම් එක්ක අපිව සැසඳුවහොත් අපිට විශාල සීමාවීමක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් ඉන්දීය කණ්ඩායමේ කවුරු හෝ ක්‍රීඩකයෙක් හැම තරගයකදීම ශතකයක් ගහනවා. අපේ කණ්ඩායමේ පැත්තෙන් ගත්තම මුළු අවුරුද්දටම අපි ගහලා තිබෙන්නේ ශතක එකක් හෝ දෙකක් පමණයි. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන්ට ඕනෑම වෙලාවක ලොකු පහරවල් ගහන්න හැකියි. ඔවුන්ට ඕනෑ වෙලාවක ආරක්ෂාකාරීව ගහන්නත් පුළුවන්. පන්දුවාර 10ක් වෙද්දී ලකුණු 70ක් හෝ 80ක් හරි ගහලා ඉන්න ඔවුන්ට හැකියි. තත්ත්වය වඩාත් අසීරු නම් කිසිදු කඩුල්ලක් නොදැවී 30-40ක් ගහන්න පුළුවන්. ජාත්‍යන්තර හෝ අයි.පී.එල්. තරගවලදී ඔවුන් ලෝකයේ හැම විශිෂ්ට පන්දුයවන්නකුටම මුහුණ දීලා තිබෙනවා. ඔවුන්ට ඒ පළපුරුද්ද සහ දැනුම තියෙනවා. ඔවුන්ගෙ කණ්ඩායම ඇතුළේ පැයට කිලෝමීටර් 140 ඉක්මවා පන්දුයවන වේග පන්දුයවන්නෝ ඉන්නවා. අපිට ඒ වාසිය නෑ. අපේ ක්‍රීඩකයෝ 130-135 වෙගයෙන් තමයි පන්දුයවන්නෙ. ඔවුන්ගේ පන්දුයවන්නන්ට පිතිහරඹයේ නියැලෙන්න හැකියි. ඒත් අපේ අයට හුඟාක් හොඳට ඒක කරන්න බෑ. ඉතින් අපිට මේ කියන සීමාවීම් තියෙනවා. ඒවා එක්ක තමයි අපි කටයුතු කළ යුත්තේ. අපි තරග කළ යුතුයි. නමුත් ඉන්දියාව කොපි කරන්න බෑ. අපිටම කියලා රිද්මයක් අපිට තිබෙනවා. ඔවුන් ලකුණු 300 ගහන ක්‍රමය නොවෙයි අපි 300 ගහන ක්‍රමය. අපි හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරනවා නම් අපිට ඕනෑම කෙනෙක් පරාජය කළ හැකියි.

ඔබට ඉන්නේ රිද්මය නොහැදුණු මැද පෙළක්. කොහොමද ඔබ ඔවුන්ව උඩට ගන්නෙ?

ඔබ කුසල් මෙන්ඩිස් වගේ ක්‍රීඩකයෙක් දිහා බැලුවොත් පසුගිය මුල්ම තරග දෙකේ ඔහු ලකුණු අතරට ආවෙ නෑ. ඔහු දකුණු අප්‍රිකාවෙදි හොඳට කළා. ඔහු ස්කොට්ලන්තයට එරෙහිව හොඳින් ක්‍රීඩාකළා. ඇන්ජලෝ වගේ ක්‍රීඩකයෙක් තව විධිහක්. අද ඔහු බිංදුවට දැවීයන්න පුළුවන්, හෙට ඇවිත් සීයක් ගහන්න හැකියි. ඔහුට ඒ වෙනුවෙන් අධිෂ්ඨාන ශක්තිය තියෙනවා. ඉතින් මට ඇන්ජලෝ ගැන මොකුත් කියන්න අවශ්‍යයි කියල මම හිතන්නෙ නෑ. ඔහු දන්නවා ඔහුගේ වැරැද්ද තියෙන්නෙ කොතැනද කියලා.

ධනංජය සහ මෙන්ඩිස් වගේ ක්‍රීඩකයන්ට අපි තරමක් මඟ පෙන්විය යුතුයි. සමාජ ජාල මාධ්‍ය මගින් පහර වදින කොට එය ඔවුන්ට බලපානවා. ක්‍රීඩකයෙක්ගෙ දක්ෂතා පහළ යනවිට ඔහුට කණ්ඩායම තුළ සහනදායී පරිසරයක් නිර්මාණය කළ යුතුයි. අපි ඒක කරනවා. මම හිතන්නෙ මෙන්ඩිස් මේ තරගාවලිය ඉහළින්ම අවසන් කරන ක්‍රීඩකයා වෙන්නත් ඉඩ තිබෙනවා කියලයි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා