මගේ සාර්ථකත්වය පිටුපස ඇති බලවේගය අලුත උපන් දියණියයි

 ඡායාරූපය:

මගේ සාර්ථකත්වය පිටුපස ඇති බලවේගය අලුත උපන් දියණියයි

රෝහිත් ෂර්මා

දකුණු අප්‍රිකාවට එරෙහිව ශතකයක්, ඔස්ට්‍රේලියාවට එරෙහිව අර්ධ ශතකයක් සහ පාකිස්තානයට එරෙහිව යළිත් ශතකයක් රැස්කිරීමට තමන්ට හැකිවූයේ තම අලුත උපන් දියණිය හේතුවෙන් බව ඉන්දීය උප නායක රෝහිත් ෂර්මා පවසයි. 2019 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිහින අපේක්ෂා පොදි බැඳ සිටින ෂර්මා පවසනුයේ තමන්ගේ අලුතින් උපන් දියණිය මෙම සාර්ථකත්වය පිටුපස ප්‍රබල සෙවනැල්ල බවයි.

‘මට හිතෙන්නෙ මා නිවැරදිම අවකාශයට ඇවිල්ලා තිබෙන්නේ දැන් කියලා. එය මගේ ජීවිතයේ ලැබූ හොඳ තත්ත්වයක්. දියණිය ලැබීමෙන් පසු ඇය මගේ ජීවිතය වඩාත් සාර්ථක කළා යැයි කියන්න හැකියි’ ෂර්මා මෙසේ පවසා ඇත්තේ පාකිස්තානය පරාජය කළ තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

‘මම මගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපරිමයෙන් සතුටු වෙනවා. ඉතා විශිෂ්ට ලෙස අවසන් කරපු අයි.පී.එල්. තරගාවලියකින් පස්සේ තමයි ලෝක කුසලාන තරගාවලියට එක්වුණේ. අපි හැමෝම තරගයේ ආරම්භයේ වැදගත්කම ගැන අවබෝධයෙන් සිටියා. ඉතින් සැමවිටම අවධානය යොමුකළේ හොඳ ආරම්භයක් ලබාගන්න. ඊළඟට කණ්ඩායමේ ගමන සහ අවසානයේ පෞද්ගලික අපේක්ෂාවන් අපේ ඉලක්ක බවට පත්වුණා. කණ්ඩායමක් වශයෙන් අපි නිවැරදි දිශාවකට ගමන් කරමින් ඉන්නවා. අපි මේ වනවිට හොඳ ස්ථාවරයක සිටිනවා’ ෂර්මා පැවසීය.

‘පිතිකරුවකු වශයෙන් ඔබට තර්ජනයක් විය හැකි පරිසර තත්ත්වයක ක්‍රීඩා කරනවා නම් දිගු කාලයක් ආවරණය කර තිබූ නිසා මුලින්ම තණතීරුවේ ස්වභාවය වටහාගත යුතුයි. අන්තිම දවස් දෙකේ අපි හිටියේ මෙහේ. ඒ කාලයේ තණතීරුව වසා දමායි තිබුණේ. අපි ආරම්භ කරනවිට එය තරමක් මෘදුයි. ටිකෙන් ටික එය තරමක් තද ස්වභාවයක් ගත්තා. මම කියන්නේ තරගයක ස්වභාවය තේරුම් අරගෙන ක්‍රීඩා කරද්දී කඩුලු බිඳ වැටීම සිද්ධ නොවුණහොත් ප්‍රතිවාදීන් නිසැකවම පීඩනයට පත්වෙනවා. කඩුලු අඩු ප්‍රමාණයක් දැවී ගොස් ඇත්නම් ඔබට ප්‍රතිවාදීන්ට තවත් පීඩනය එල්ල කරන්න හැකියි. ඒ නිසා අපි මුල ඉඳගෙනම සැලසුම් කළේ කඩුලු ලබානොදී හොඳ ඉනිමක් ගොඩනැගීමට හැකි පථයක් සකස් කරන්නයි’ යැයි ඔහු පවසයි.

පාකිස්තාන පන්දුයවන්නන් කෙටි පන්දු 27ක් තමන්ට එරෙහිව එල්ල කළ බවත් ඉන් ලකුණු 53ක් රැස් කිරීමට තමාට හැකිවූ බවත් ඔහු පැවසීය. ‘මම දන්නෙ නෑ පාකිස්තානය මොකක්ද සැලසුම් කළේ කියලා. ඔවුන් කණ්ඩායම් රැස්වීමේදී කතාකළේ කෙටි පන්දුයවන්නද, එහෙම නැත්නම් ඉහලට ඉපිලෙන පන්දුයවන්නද දන්නෙ නෑ. හැබැයි අමීර් හැරුණහම අනිත් පන්දුයවන්නෝ යැව්වේ කෙටි පන්දුයි. එංගලන්ත තණතීරුවල මුල් පන්දුවාර 10 තුළ ස්ථාවර වුණාට පස්සේ පිතිකරුවකුට බොහෝ දේ කරන්න අවස්ථාවක් තිබෙනවා. ඒ බව හොඳින් අවබෝධ කරගනෙයි අපි ක්‍රීඩා කළේ’.

මාතෘකා