ඔහු සහෝදරයෙක් වගේ නායකත්වයට සුදුසුම පුද්ගලයාත් ඔහුයි

 ඡායාරූපය:

ඔහු සහෝදරයෙක් වගේ නායකත්වයට සුදුසුම පුද්ගලයාත් ඔහුයි

 

දිමුත් ගැන තිසරගෙන්  සහතිකයක් 

 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සියලු සාමාජිකයන්ට පිළිගත හැකි ක්‍රීඩකයකු නායකයා විය යුතු බව පවසමින් කණ්ඩායම තුළ කැරැල්ලක් නිර්මාණය වූ කාලයක් විය. ඒ ලසිත් මාලිංග එක්දින කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ සමයේය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නායකයා ලෙස නම්කර තිබුණද පසුව එය වෙනස් කරන්නට තේරීම් කමිටුව සිදුවූයේ නායකයා සියල්ල එක්ව ගමන් ගතයුතු පුද්ගලයකු බව පැහැදිලිවූ හෙයිනි. මේ ඊට සමපාත වන කතාංගයකට මුලපුරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයකු වන තිසර පෙරේරාය.

 

රටක් නියෝජනය කරද්දී පෞද්ගලික අභිමතයන් මත යමින් නායකයාට එරෙහිවීමේ කැරලි නිර්මාණය කිරීම යනු එවැනි කැරළිකරුවන් මුලිනුපුටා දැමිය යුතු වරදකි. එය එසේවුවද ලෝක කුසලානෙ ක්‍රිකට් තරගාවලියක් අභිමුව අසාර්ථකත්වය මත කරණම් ගැසූ තරගයකදී එවැනි තීරණ ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන් දෑත් දෙපාවලට විලංගු දමා තිබුණේය. ඒ අන්කිසිවක් සිදුකළ නොහැකිවූ හෙයින්ද කෙසේ හෝ ජාමය බේරාගත හැකි කණ්ඩායමක් ලෝක කුසලානයට යැවිය යුතු වූ හෙයිනි. කෙසේ නමුත් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට ලබාදීමට තේරීම් කමිටුව තීරණය කළේය. මේ ඒ සම්බන්ධයෙන් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු හා හිටපු නායකයකු වූ තිසර පෙරේරා දක්වා ඇති අදහස් ඇසුරෙන් සැකසෙන ලිපියකි.

‘කණ්ඩායමේ නායකත්වය වෙනස් කරලා දිමුත්ට ඒක ලබාදීපු එක හොඳයි. ඒක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුදුසු කාලයේ සිද්ධ වුණු වෙනසක්’ යැයි තිසර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ලසිත් මාලිංග දකුණු අප්‍රිකාවේ පැවැති තරගාවලිය 5-0ක් වශයෙන් පරාජය ලැබීමත් ඇන්ජලෝ මැතිව්ස් නායකයකු වශයෙන් අසාර්ථකවීමත්, දිනේෂ් චන්දිමාල්ට නායකයා ලෙස පෞද්ගලිකව දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීමත් යන කාරණා සලකද්දී අවසන් වරට සිදුකළ නායකත්වයේ තේරීම් සාධාරණ බවය. ‘අවසානයේ නිවැරදි පුද්ගලයා තෝරාගෙන තිබෙනවා. මම ඔහුව හොඳින් දන්නවා. අපි අවුරුදු 13 ඉඳලා එකට ක්‍රීඩා කරලා තිබෙනවා. ඔහු මගේ පන්ති සගයෙක්’ අයි.සී.සී. ය හා සාකච්ඡාවකට එක්වෙමින් තිසර පවසා ඇත.

‘ඔහු මට වැඩිය අවුරුද්දක් වැඩිමල්. ඒත් අපි අපේ පාසල් සමයේ එකට ක්‍රීඩා කළේ. මම ඔහුගේ දක්ෂතා දන්නවා. ඒ වගේමයි ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඔහුගේ තිබෙන දැනුම ගැනත් මම හොඳින් දන්නවා. ඒ නිසා මම හිතනවා අපේ කණ්ඩායම ඉදිරියට රැගෙන යාමට සුදුසුම පුද්ගලයා ඔහු කියා. ඒක මේ අවස්ථාවේ අවශ්‍යම දෙයක්’ තිසර පෙරේරා ප්‍රකාශ කර සිටී.

‘මම හිතන්නේ ඔහු ඉතාම හොඳ පුද්ගලයෙක්. ඒක තමයි කණ්ඩායමකට නායකයකු වන්නට තිබෙන වැදගත්ම දෙය. ඔහු තමන්ගෙ වටේ සියලු පුද්ගලයන් එක්රොක් කරගන්නනවා. ඒක තමයි ඔහුට තිබෙන බලවත්ම ශක්තිය. ඔහු ඉතාමත් නිහඬයි. ඒ වගේම තමයි හරිම සැහැල්ලුයි. ඔහු ක්‍රීඩකයන්ට බැණ වදින්නේ නැහැ. ඔහු හැමවිටම අපිව විශ්වාස කරනවා. ඔහු කියන්නේ අපිට මේ දේ කළ හැකියි කියලයි. පාසලෙන් ආවට පස්සෙත් ඒකේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඇත්තටම කියනවා නම් ඔහු නිකං හැම ක්‍රීඩකයකුගේම වැඩිමහල් සහෝදරයා වගේ. අපි අපේ උපරිමය ඔහුට දෙනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ වශයෙන් මම මගේ සියයට දෙසීයක් මගේ නායකයා වෙනුවෙන් ලබාදෙනවා. අපි අපේ උපරිමය දුන්නොත් අපිට මේ ලෝක කුසලානයේදී විශේෂ යමක් කළ හැකියි’ තිසර පෙරේරා පවසා ඇත.

පාස්කු ඉරිදා සිදුවූ අදිසි ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඔහු, ‘එ් සිද්ධියෙන් අපි කම්පා වුණා. හරිම කනගාටුදායක සිදුවීමක්. අපි අපේ ජනතාව වෙනුවෙන් අපේ හෘදයාංගම ආදරය ප්‍රකාශ කළ යුතුයි. අපි ඒ බව ඔවුන්ට දැනෙන්න හැකිවන ආකාරයට මේ තරගාවලියේදී යමක් සිදුකළ යුතුයි’ යැයිද පවසා ඇත.

පුහුණුකරු චන්දික හතුරුසිංහ පන්දුවට පහරදීම සම්බන්ධයෙන් යම් යම් සාධනීය වෙනස්කම් සිදුකළ බව තිසර පවසා ඇත. ‘ඔහු මා තුළ විශ්වාසය ඇතිකළා. මම කෙටි පන්දුවලට ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා ඔහු මට ඉගැන්වූවා. දැන් මම හොඳින් ක්‍රීඩා කරනවා කියලා මම හිතනවා. මගේ පිතිහරඹයේ සුළු සුළු දේවල් වෙනස් කරගන්න පුහුණුකරුවා කියා දුන්නා. ඒ වෙනුවෙන් මා සමඟ අතිරේක කාලයක් වැඩකළා. මම ස්වභාවික ආකාරයට ක්‍රීඩා කරන්නේ නම් මගේ සාර්ථකත්වයක් දැකිය හැකි බව ඔහු කිව්වා. ඒ නිසා මට හැමවිටම ස්වාභාවික විධිහට ක්‍රීඩා කරන්න කියලයි ඔහු උපදෙස් දී තිබෙන්නෙ’ තිසර ප්‍රකාශ කර සිටී.

‘1996 ලෝක කුසලානය දිනාගනිද්දී මට අවුරුදු හතයි. මම අර්ජුණ රණතුංග හතරේ පහරක් එල්ල කරලා ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනාදෙනවා දැක්කා. මගේ සිහිනයක් තිබෙනවා හයේ පහරක් එල්ල කරලා ඒක ශ්‍රී ලංකාවට දිනා දෙන්න’ ඔහු මෙම සාකච්ඡාවේදී අවසන් වශයෙන් පවසා තිබේ.

මාතෘකා