ශ්‍රී ලංකාව හා පාකිස්තානය අද බ්‍රිස්ටල්හිදී මුණගැසෙති

 ඡායාරූපය:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අද බ්‍රිස්ටල්හිදී මුණගැසෙති

උපමහාද්වීපයේ බලය හිමි කරගැනීමේ අදිටනින්

අපි ඉන්නේ ජයග්‍රහණයේ පිපාසයකයි

- මිකී ආතර්

කුසල් ජනිත්ගේ පිතිහරඹයට උපරිම නිදහසක් දීලා තිබෙනවා

- චන්දික හතුරුසිංහ

මම බොරු දේවල් ගැන කතාකරන්න කැමති නෑ. හැමදෙයක් ගැනම අවංකව කතාකරන්න කැමතියි. කෙලින්ම කියන්න තිබෙන කතාව ගත්තොත් මට කියන්න ඇත්තේ එපමණයි. මම මගේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න අවශ්‍ය ආකාරය ගැන කියලා තිබෙනවා. ඔවුන් පිටිය මැදට ඇවිත් දක්ෂතා දක්වන්න අවශ්‍යයි’ අද (07) බ්‍රිස්ටල්හිදී පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙලෙස පැවසීය.

අද පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකාව සමඟින් පාකිස්තානය තරග වදී. එය උපමහාද්වීපික කලාපයේ ක්‍රිකට් බලවතුන් කවුරුන්ද යන්න උරගා බැලීමේ තවත් එක් ප්‍රමුඛ තරගයක් ලෙසින්ද සැලකිය හැකිය. වැඩිදෙනෙකුගේ අවධානය දිනාගෙන ඇති කුසල් ජනිත් පෙරේරා සම්බන්ධයෙන් අදහස් දැක්වීමටද මෙහිදී චන්දික හතුරුසිංහ කටයුතු කර තිබුණේ මෙසේය. ‘අපි පිතිහරඹයේදී කුසල්ට උපරිම නිදහසක් ලබාදීලා තිබෙනවා. ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. අපි දන්නවා ඔහු ලකුණු අතරට ආපු බොහෝ තරග ශ්‍රී ලංකාවට ජයහිමිවී ඇති බව’

මෙම තරගය සඳහා පාකිස්තානු පිලේ සූදානම ගැන අදහස් දක්වා සිටින පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කරනුයේ තම කණ්ඩායම ජයග්‍රහණ සාපිපාසාවෙන් පෙළෙන බවයි. ‘අපි ලෝක කුසලානයේ සත්කාරකයන්ට එරෙහිවත් තරගයක් ජයග්‍රහණය කළා. කිසිකෙනෙක් ඒ දේ අපේක්ෂා කළේ නෑ. පළමු තරගය දරුණු විධිහට පරාජය වෙලා දෙවැනි තරගයේදී විශිෂ්ට කණ්ඩායමකැයි සැලකෙන එංගලන්තයට ප්‍රහාරයක් එල්ලකිරීම ඇතමුන්ට විස්මිත අත්දැකීමක්. අපේ ක්‍රීඩකයන් තුළ පවතින හැඟීම මොකක්ද කියලා මෙයින් පෙනෙනවා. ඔවුන් ඉන්නේ ජයග්‍රහණය සොයමිනුයි. අපි අද තරගයට ගිහිල්ලා ක්‍රීඩා කරන ආකාරය බලමු කියලයි මටත් කියන්න තියෙන්නේ. පිතිහරඹය, පන්දුයැවීම සහ පන්දුරැකීම කියන අංශ තුනෙන්ම අපි එකවගේ දක්ෂතා දැක්වුවහොත් අපට අභිබවන්න බැරි කණ්ඩායමක් නොමැති බව කවුරුත් දන්නවා. අපිට මේ තත්ත්වය නිරන්තරයෙන් පවත්වාගෙන යාම පමණයි අවශ්‍ය වන්නේ. ඔබට අපේ කණ්ඩායම තුළ ඇති අධිෂ්ඨානය කොතරම්ද කියලා තේරෙනවා ඇති. අපේ දෙවැනි තරගයේදී හොඳින් ලකුණු රැස්කරලා පන්දුයවන්නන් විශිෂ්ට ආකාරයෙන් පන්දුයැවීමෙන් ඔබට ඒ බව වැටහෙනවා. මේ තත්ත්වය ඉදිරි තරගවලදීත් පවත්වාගෙන යන්න අවශ්‍යයයි’ පාකිස්තාන පුහුණුකරුවා පවසයි.

මේ අතර අද පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් යම් බලපෑමක් සිදුවීමේ අවධානමක්ද පවතින බවටද එංගලන්ත කාලගුණ විද්‍යාඥයන් පවසා ඇත.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගයටද මේ ආකාරයෙන් වර්ෂාව බලපෑම් කළ අතර ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ තරගය පැවැත්වීමට පසුව තීරණය විණි. කාට හෝ කාලගුණය පාලනය කරන්න හැකිවන්නේ නම් අද තියුණු තරගයක් දැකීමේ අවස්ථාව පවතින බව විචාරකයෝ පවසති. කෙසේනමුත් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මුණගැසුණු සෑම අවස්ථාවකම තරගයේ ජයහිමිව ඇත්තේ පාකිස්තානයටය. එම තත්ත්වය වෙනස් කිරී‍මේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතුවය. මේ අනුව අද තරගයේදී ජයග්‍රාහී කණ්ඩායමම ක්‍රීඩාකරන්නේද එසේත් නැතහොත් එහි සංයුතියේ යම් වෙනස්කමක් සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය කරනු ඇත්තේ ප්‍රතිවාදීන්ගේ පිතිකරු ලැයිස්තුව හා තණතීරුවේ ස්වභාවය සලකා බැලීමෙන් අනතුරුවය. ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ලසිත් මාලිංග, නුවන් සොයිසා හෝ සුරංග ලක්මාල් කෙරේ වැඩි අපේක්ෂා තබා තිබේ. කුසල් මෙන්ඩිස් හා ළහිරු තිරිමාන්නටද දිනය යහපත්වන්නේ නම් වෙනසක් කිරීමට හැකිය. පාකිස්තාන කණ්ඩායම මොහොමඩ් හෆීස්, බාබාර් අෂාම්, ඉමාම් උල්හක් මෙන්ම සෆ්රාස් අහමඩ් පිතිකරුවන් වශයෙන් ශක්තිමත් කරනු ඇත. ෂොයිබ් මලික් මැද පෙළ ක්‍රීඩකයකු වශයෙන් පැමිණුනද ශ්‍රී ලංකාවට එරෙහිව තබාඇති වාර්තා ඉතා ඉහළය. වහාබ් රියාස්, මොහොමඩ් අමීර්, ෂඩාබ් ඛාන් පන්දුයැවීමේදී වැඩි දක්ෂතා අපේක්ෂා කළ හැකිය.

මාතෘකා