ක්‍රිකට් පිටියේ ශ්‍රීමත්වරු

 ඡායාරූපය:

ක්‍රිකට් පිටියේ ශ්‍රීමත්වරු

වසර 44ක් පැරණි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිර්මාතෘවරුන් වූ එංගලන්තයට ශූරතාව හිමිවූ පළමු අවස්ථාව මෙවර සිය රට තුළදීම උදාකර ගැනීමට ඔවුන්ට හැකි විය. එය ඔවුන් පහසුවෙන් කළ දෙයක් නොවේ. එසේම ඒ සඳහා කණඩායමක් ලෙස ඔවුහු ඉතා විශිෂ්ට තරගකාරීත්වයක් පිටියේ ප්‍රර්ශනය කළහ. ඒ අතරිනුත් තරගාවලියේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම සුවිශේෂ කාර්යය භාරයක් ඉටු කළහ.

එම ක්‍රීඩකයන් අතුරින්ද අති සුවිශේෂ ක්‍රීඩකයෙක් පසුගියදා එංගලන්තය විසින් නම් කරනු ලැබීය. ඒ අන් කිසිවෙක් නොව අවසන් තරගයේදී අවසන් පන්දුව දක්වාම තම කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රහණය අත් නොහැර විශිෂ්ට ලෙස පිත්ත හැසිරවූ බෙන් ස්ටොක්ස්ය. අවසන් තරගයේදී ස්ටොක්ස්ගේ ඉනිම අනභිබවනීය ඉනිමක් විය. නවසීලන්තය දෙසට තරගය දෝලනය වන සෑම අවස්ථාවකදීම නොසැලී සිටි ස්ටොක්ස් තරගය තම කණ්ඩායම දෙසට යළි ඇද ගැනීමට සමත් විය. එසේ හෙයින් අවසානයේදී ලෝක ශූරතාව හිමි වූයේ එංගලන්තයටයි.

දැන් එංගලන්ත රජය යුතුකම් ඉටුකිරීමට සැරසෙන්නේ බෙන් ස්ටොක්ස් හට රැජිනගෙන් හිමිවන නයිට්වරයක් පිරිනැමීමෙනි. එය නුදුරු අනාගතයේදී සිදු කරන බව ඔවුන් පවසා ඇත.

නයිට්පදවියක් නිකම්ම ලැබෙන්නේ නැත. ඒ සඳහා ස්ටොක්ස් මෙන් වෙහෙස විය යුතුය. ස්ටොක්ස් අවසන් වශයෙන් කටයුතු කළේ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් මිස පෞද්ගලිකත්වය මත නොවන බවට සාක්ෂි දීමට ඉදිරිපත්ව සිටින්නේ එංගලන්ත රජය මය.

 

ශ්‍රීමත් ඇලස්ටයාර් කුක්

මේ ආකරායටම නයිට් පදවිය හිමිවූ ක්‍රිකට් ක්‍රීඩකයෝ රාශියක් සිටිති. ඒ අතරින් ප්‍රධාන වන්නේ ඇලිස්ටයාර් කුක්ය. ඇලස්ටයාර් කුක් 2006 වසරේ සිට 2018 වසර දක්වා එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ අති විශිෂ්ට පිතිකරුවෙකි. එසේම 2012 වසරේ සිට කණ්ඩායමේ නායකත්වයද දැරීය. 2018 වසරේදී ටෙස්ට් සහ එක්දින පිටියෙන් සමුගත් කුක් පසුගිය මාස කිහිපයේ කථා බහට ලක් වූයේ ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා නොවේ. තවත් සුවිශේෂ කාර්යයක් නිසාය. එනම් එංගලන්ත වැසියෙකුට ලැබිය හැකි ඉහළම ගෞරවයක් ලැබීම නිසාය.

එම ගෞරවය ලැබීමෙන් පසුව දැන් ඇලිස්ටයාර් කුක්ව හඳුන්වන්නේ නිකම්ම ඇලිස්ටයාර් කුක් ලෙස නොව ශ්‍රීමත් ඇලිස්ටයාර් කුක් ලෙසින් ගෞරව සම්ප්‍රයුක්තවය. එසේ වන්නේ එංගලන්තයේ කිරුළ දරන දෙවැනි එලිසබෙත් රැජින විසින් එංගලන්තයෙන් බිහිවූ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඇලිස්ටයාර් කුක්ට පසු ගිය පෙබරවාරි මාසයේදී නයිට් වරයක් පිරිනැමීමයි. මෙම පදවිය හිමිවීම එංගලන්ත මාධ්‍ය ඉතා ඉහළින් වාර්තා කළේය.

එංගලන්තයේ කිරුළ හිමි රජු හෝ රැජින විසින් එක් එක් ක්ෂේත්‍රයන්හි විශිෂ්ටයින් හට තම රටේ ඉහළම නම්බු නාමයක් වන නයිට්වරය ප්‍රධානය කිරීම සම්ප්‍රධායක් ලෙසින්ම පවත්වා ගෙන එන අතර එංගලන්ත වැසියන් මෙන්ම විදේශිකයන්ද ඒ අතර වේ.

පසුගියදා නයිට් වරය හිමිවු ශ්‍රීමත් ඇලිස්ටයර් කුක්ට මෙම නයිට්වරය හිමි වූයේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට කළ අනුපමේය සේවයට උපහාර වශයෙනි.

ශ්‍රීමත් ඇලිස්ටෙයාර් කුක්ට ප්‍රථම නයිට් නාමයෙන් උපහාර ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම සිටිති. ඒ අතර ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය මෙන්ම වෙනත් සේවයන් සඳහාද උපහාර ලෙස නයිට් නාමය ඔවුන් වෙත පිරිනමා ඇත. අප හොඳින්ම හඳුනන එංගලන්තයෙන් බිහිවූ සුපිරි තුන් ඉරියවු ක්‍රීඩකයෙකු වන ශ්‍රීමත් ඉයන් බොතම්ට 2007 වසරේදී නයිට් නාමය හිමි වූයේ ඔහු විසින් ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලද සේවය නිසා නොව ඔහු විසින් කරන ලද සමාජ සේවා කටයුතු වෙනුවෙනි. එසේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම වෙනත් ක්ෂේත්‍රයන්හි කටයුතු කිරීම සහ කරන ලද සේවය වෙනුනේ නයිට් නාමයෙන් ගෞරව ලබා ඇත.

පසුගියදා නයිට් පදවියෙන් පිදුම් ලැබූ ඇලස්ටයාර් කුක්ට පෙර ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් 24 දෙනෙක් නයිට් පදවිය හිමිකර ගැනීමට සමත්ව ඇත. ඒ අතර එංගලන්ත ක්‍රීඩකයන් 11 දෙනෙක් වෙති. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් 11 දෙනෙක්ද ඒ අතරට එක්ව සිටීම විශේෂත්වයකි. ඊට අමතරව එක් ඔස්ට්‍රේලියානු සහ එක් නවසීලන්ත ක්‍රීඩකයෙක්ද මෙසේ නයිට් පදවිය හිමිකර ගෙන ඇත.

 

මෙම 24 දෙනා අතරින් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය වෙනුවන් නයිට් පදවිය හිමිකරගත් පළමු ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ 1926දී නයිට් පදවිය ලැබූ එංගලන්තයේ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ඒඩ්න් ලෙයිසි ය. ඔවුන් අතරින් අඩුම වයසකින් නයිට් පදවිය ලැබූ ක්‍රීඩකයා වන්නේ 34 වැනි වියේදී නයිට් පදවිය ලැබූ ශ්‍රීමත් ඇලස්ටයාර් කුක්ය.

ශ්‍රීමත් ඇලෙක් බෙඩ්ස්ටර්, ශ්‍රීමත් ලෙන්හට්න්, ශ්‍රීමත් ජැක් හොබ්ස් වැනි අති දක්ෂ එංගලන්ත පිතරුවන් මෙන්ම ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල්, ශ්‍රීමත් ක්ලයිඩ් වෝල්කට්, ශ්‍රීමත් විවියන් රිචඩ්ස් වැනි කොදෙව් පිතිකරුවන් ද, ශ්‍රීමත් වෙස්ලි හෝල්, ශ්‍රීමත් ඇන්ඩි රොබට්ස් සහ ශ්‍රීමත් කර්ට්ලි ඇම්බ්‍රොස් වැනි කොදෙව් වේග පන්දු යවන්නෝද මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටිති.

මෙතෙක් ලොව බිහිවූ අති ශිෂ්ටතම පිතිකරුවා ලෙස සැළකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් නයිට් පදවිය ලැබූ එකම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා වන අතර නවසීලන්තයෙන් එම වාසනාව හිමිවූයේ කළක් ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නාගේ වාර්තාවට හිමිකම් කී ශ්‍රීමත් රිචඩ් හැඩ්ලිටපමණකි.

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය සඳහා නයිට් පදවිය හිමිකර ගැනීමට මෙතෙක් එකම ආසියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් හෝ සමත්ව නොතිබිමද කැපී පෙනෙන සිදු වීමකි.

1984 වසරේ උපන් ඇලිස්ටයාර් කුක් 2006 වසරේ සිට 2018 දක්වා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේය. ඒ අතර 2012 වසරේ කණ්ඩායමේ නායකත්වයටපත් කුක් 2017 දක්වා එංගලන්ත නායකයා ලෙස කටයුතු කළ අතර ටෙස්ට් තරග 161 කදී ලකුණු 12,472 ක් රැස් කළ අතර ඉනිමක සාමාන්‍ය 45.35ක් විය. ශතක 33ක් සහ අර්ධ ශතක 57ක් රැස් කිරීමටද ඔහු සමත් විය.

එක්දින තරග 92කදී ලකුණු 3,024 ක් රැස් කරමින් ශතක 5ක් සහ අර්ධ ශතක 19ක් රැස් කිරීමටද කුක් සමත් විය. එහි ඉනිමක සාමාන්‍ය 36.40කි.

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා