ලෝක කුසලානය නැරඹීමට : රටවල් 17ක් පසුකර ගිය පවුලක්

 ඡායාරූපය:

ලෝක කුසලානය නැරඹීමට : රටවල් 17ක් පසුකර ගිය පවුලක්

දින හතළිස් හයක් පුරා එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් දින කීපය දැන් ආරම්භවී තිබේ. ක්‍රීඩාවේ උණුසුමින් ගෙවුණු ආලින්දයේ රූපවාහිනී තිරය ඉදිරිපිට අසුන්වලට, පදික වේදිකාවේ සිට නැරඹූ අලෙවිසැල්හි රූපවාහිනී තිරවලට දැන් දැන් වෙනත් රූපරාමු ඔළුව දමමින් ඇත. එය එක්තරා ආකාරයක කාන්සියක් බවට පත්ව ඇත්තේ ලොව රටවල් නවයක ක්‍රීඩකයන් සහ එංගලන්තය පුරා ක්‍රීඩාංගණවල පිරීතිරී සිටි ප්‍රේක්ෂකයින් දැන් අමතක කරදමන්නට නැතහොත් මතකයේ මුල්ලකට තල්ලු කරන්නට කාලය එළඹ ඇතැයි නිහඬව පවසන හෙයිනි. එවැනි අසීරු වැර වෑයමක ක්‍රීඩාලෝලියා වෙළී සිටියදී කිලෝ මිටර් 14000ක දුරක් මෙම ලෝක කුසලානය නැරඹීමට ගොඩබිම හරහා ගිය පරම්පරා තුනක සාමාජිකයන්ගේ කතාවක් බී.බී.සී. පුවත් සේවය පසුගියදා අනාවරණය කර තිබුණේය. මේ එම කතාව උපයෝගී කරගනිමින් සකසන ලිපියකි.

එක ක්‍රිකට් පිස්සන්ගෙන් පිරුණු පවුලක පරම්පරා තුනකට අයත් සාමාජිකයෝ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීමට ගිය ගමනකි. එය ඔවුන් ගුවනින් එංගලන්තයට ගොස් නැරඹීමේ සරල සහ පහසු ක්‍රමවේදය අනුගමනය කරනු වෙනුවට සැලසුම් කළේ ගොඩබිමෙන් අදාළ දුර තරණය කිරීමයි. එහිදී ඔවුන්ගේ අපේක්ෂාව වූයේ ගොඩබිම සංචාරයෙන් ලබාගන්නා ජීවන රසාස්වාදය මෙන්ම ක්‍රිකට් තරගාවලිය නැරඹීමේ අභිමතාර්ථයද එකවර සාර්ථක කරගැනීමය. එය එසේ ලෙහෙසි පහසු ගමන් නොවුණේ එය කිලෝමීටර් 14000කට අධික දුර ප්‍රමාණයකින් යුතු රටවල් 17ක් පසුකළ යුතු ගමන් වූ බැවිනි.

මෙම ක්‍රිකට් පිස්සන්ගේ පවුල සිංගප්පූරුවේ ජීවත්වන ඉන්දියානුවන් පිරිසකි. ඔවුන් මහාද්වීප දෙකක් තරණය කරමින් අදාළ සංචාරයේ නියැලුණු ඔවුන් ජූලි 14 වැනිදා ලෝක කුසලාන දිනාගන්නට ඉන්දීය කණ්ඩායමට සුබපතන්නට අපේක්ෂා කරන බව එංගලන්තය වෙත පැමිණීමෙන් අනතුරුව බී.බී.සී. ලෝක සේවයට පවසා තිබිණි.

ආර්ටික් කලාපය ඔස්සේ සිංගප්පූරුවේ සිට එංගලන්තය බලා ගමන්කළ මෙම අපූරු ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ පවුල වෙනුවෙන් මෙම සංචාරයට එක්වන පළමු පරම්පරාව නියෝජනය කරන්නේ 67 හැවිරිදි අකිලේෂ් ය. එහි තෙවැනි පරම්පරාව නියෝජනය කරන සාමාජිකයා ඔහුගේ තුන්හැවිරිදි මිණිබිරිය වන අව්‍යාය. දෙදෙනා අතර වයස් පරතරය දශක හයක් ගමන් කරයි. පුද්ගලයන් හත්දෙනෙකුට ගමන් ගත හැකි ටොයොටා වෙල්ෆයර් වැගන් රථයකින් සිංගප්පූරුවේ සිට ඔවුන් ස්වකීය අභියෝගාත්මක සංචාරය ආරම්භකර තිබුණේ මෙම මස මැයි 20 වැනිදාය. එලෙස ගමන් ඇරඹි ඔවුන් එංගලන්තය වෙත ළඟාවීමට සමත්වූයේ දින හතළිස් අටක දීර්ඝ හා යම් පමණකට දුර්ගම ගොඩබිම සංචාරයකින් අනතුරුවය. එසේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේදීය.

එංගලන්තයට පැමිණෙන්නට දැරූ වෙහෙසට වඩා ඔවුන් දුෂ්කරතා වින්දේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන අවසන් පූර්ව තරගය නැරඹීම පිණිස ප්‍රවේශපත්‍ර ලබාගැනීමේදීය.

සති හතක් මෝටර් රථයක

පහසුවෙන් එංගලන්තයට ළඟාවිය හැකිව තිබියදී මේ ආකාරයෙන් දුර්ගම සංචාරයක නිරතවෙන්නට මෙම ක්‍රිකට් ලෝලී පවුල කටයුතු කළේ ඇයි? හිම, හිම වර්ෂා, කාන්තාර කුණාටු වලට මැදිවෙමින් අසීරු ගමනක නියැලීමට වඩා ගුවන් මගින් මෙම ගමන සම්පූර්ණ කිරීම පහසුනොවන්නේද යන ප්‍රශ්නයට ඔවුන් සතුව කදිම පිළිතුරක් ඇත.

‘මාර්තු මාසයෙන් පස්සේ ක්‍රිකට් ලෝක කුසලානය එනවා කියලා අපි දැනගෙන හිටියා. ඉතින් අපිට හිතුනා ඉන්දියාව දිරිගන්වන්න’ දරුවන් දෙදෙනකුගේ පියකුවූ අනුපම් පවසන්නේය.

‘ලේසිම ක්‍රමය ගුවනින් එංගලන්තයට එන එක. පස්සෙ අපි හිතුවා නෑ රට වෙනුවෙන් අපි මොකක් හරි අලුත් දෙයක් කරමු කියලා. අපි සියලු දෙනා ඒකට එකඟ වුණා’ ඔහු තවදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අනුපම් ගේ මාපියන් වන අකිලේෂ් සහ අන්ජනා මෙන්ම සය හැවිරිදි පුතු අවිව් මෙම සංචාරයට එක්වූ අතර ඔහුගේ බිරිය අඩිටි සහ බාල දියණිය වන අව්‍යාද ඊට එක්ව සිටියහ. කෙසේ නමුත් මෙය ලෝකය දැකබලාගැනීමට අනුපම් ගොඩබිමින් සංචාරයක නිරතවූ පළමු අවස්ථාවද නොවේ.

මෑතකදීම ඔවුහු මේ ආකාරයෙන් කිලෝමීටර් අනූ හය දහසක් (සැතපුම් විසි දෙදහසක්) ගමන් කරමින් රටවල් 36ක් පසුකර ගොස් අත්දැකීම් ලබා ඇත්තෙකි. සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, ලාඕසය, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය, කසකස්ථානය, රුසියාව, ෆින්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය සහ එංගලන්තය එංගලන්තය බලා එන සංචාරයේදී ඔවුහු පසුකර විත් තිබේ.

‘පුංචිම කාලේ ඉඳලා මගේ සිහිනය වුණේ පුලුවන් තරම් දුර මෝටර් රථ ගමන් යන්න. ලොකුම හීනය වුණේ ලෝකය වටා මෝටර් රථයක් ධාවනය කරන්න’ අනුපම් අනාවරණය කරයි.

‘මම මගේ ගමන් ගෙනයන ලෝක සිතියමේ කිසිම සීමා මායිමක් දක්වලා නැහැ. මගේ අවසාන අපේක්ෂාව මගේ මාර්ග ධාවනය සම්පූර්ණ කරන්න’ අනුපම් ෂර්මා පවසන්නේය.

ඔවුන් ලන්ඩනයට ළඟාවූ දින උදාසන බී.බී.සී. වාර්තාකරු සමඟ සාකච්ඡා කිරීමට එක්වෙමින් මේ බව පවසා තිබිණි. එලෙස තමන් ලොව පුරා ගමන් ගත් සෑම රාජ්‍යයක්ම මෙන්ම එහි ගමන් සිතියම වෑන් රථයේ සටහන් කිරීමට අනුපම් කටයුතු කර ඇත.

‘අපි අපිව හඳුන්වාගන්නේ රත් පැහැ කරන ඒ.එම්.එක්ස්’ කියලා. ඒ.එම්. කියන්නේ අපේ පරම්පරා නාමයේ මුල් අකුරුයි. එක්ස් කියන්නේ අපි අපේ ගමනෙදි වෙනස් කරන ස්ථානය දැක්වෙන විචල්‍ය පදයක්’ ඔහු පවසයි.

ඉන්දියාවේ චෙන්නායි නුවර උපත ලද අනුපම් වසර 14ක සිට සිංගප්පූරුවේ ජීවත්වෙති. කෙසේ නමුත් ක්‍රිකට් තරගයක් නරඹන්නට මෙතරම් කාල සීමාවක් මහ මඟ ගමන්කිරීමට ඔවුන් තීරණය කළේ ඇයි යන පැනය ඕනෑම අයෙක් තුළ මතුව ඒම ස්වාභාවිකය. ‘මම අපිට ඒ වෙනුවෙන් පසුකරන්න තියෙන රටවල් මොනවද කියලා අධ්‍යයනය කළා. මහ පාරෙ යනවා නම් මොනවගේ රටවල් ඔස්සේද අපි යායුත්තේ කියලා එතැනදී සොයා බැලුණා. එවිට මට වැටහුණා අපිට යන්න උවමනා රටවල් හරහා මේ ගමන් මාර්ගය වැටී ඇති බව’ අනුපම් සිය අභිමතාර්ථය ගොඩනැගුණු ආකාරය හෙළිකරයි.

මෙම ගමනේදී වාසනාව තිබුණේ ඔවුන් සමඟය. එසේ පවසන්නේ තම ගමන් මාර්ගය වෙනස් කර ගැනීමට සිදුව ඇත්තේ එකම එක වතාවක් පමණක් හේතුවෙනි. ඔවුන් ඉතා ප්‍රවේශම්කාරී ලෙස දේශ සීමා තරණය කර ඇති අතර ගිනිකොන දිග ආසියානු කලාපය පසුකර ගිය ඔවුනට එකම එක හෝටලයක් වෙත පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් එහි නවාතැන් අවලංගු කර තිබුණේය.

‘උස්බෙකිස්ථානය සහ කිර්ගිස්ථානය වගේ රටවල් කීපයක්ම මම දැකපු බොහෝම ලස්සන රටවල්. ඒවායේ භූදර්ශන හරිම විචිත්‍රයි. මේ ගමන පටන් ගන්න ඉස්සර ඒ ගැන අහලා, දැකලා තිබුණේ නැති තරම්’ අනුපම් පවසන්නේ සතුටිනි.

‘මේ ගමනේදී සමහර රටවල අපිට ඉතාමත් විශිෂ්ට මාර්ගෝපදේශකත්වයක් ලැබුණා. ඒක කිසිසේත්ම අගය නොකර බෑ. චීනයේ දකුණු දිග ප්‍රදේශයේදී අපි මාර්ග වැසීම හේතුවෙන් වෙනත් මඟක ගමන් ගන්න සිද්ධ වුණු අවස්ථා තිබුණා. ආක්ටික් වළල්ලේ යද්දී අපි ස්වීඩනය පසුකරනවිට අයිස් හෝටලයක් දැක්කා. ඇත්තටම එය විස්මිතයි. අපිට මේ දේවල් දකින්න ලැබුණේ වාහන එළවීමේ විනෝදාස්වාදයත් ක්‍රිකට් උණත් නිසයි’ ඔහු සැහැල්ලු ලෙස පවසා සිටී.

මෙවැනි සංචාරයක් වෙනුවෙන් ඉන්ධන සඳහා පවුලේ සහ යහළුවන්ගේ ආධාර ඔවුනට ලැබී තිබුණේය. ඔවුන් මඟ දිගට යන අතර ආහාර සකසා ගැනීමද සිදුකර ඇත.

‘මේ අදහස ආපු ගමන් මට තරමක් අවිනිශ්චිත බවක් දැනුණා. ඒ මගේ වයසත්, සෞඛ්‍යයත් නිසා. මේක දිග ගමනක්’ මෙම ගමනට එක්වූ පියා සහ සීයා වන අකිලේෂ් මෙම සංවාදයට සිය අදහස් එක්කළේය.

‘නමුත් අන්තිමට මම මේ ගමන ස්ථිර කළේ එමගින් අපිට නොදැකපු තැන් ගොඩාක් දැකගන්න ලැබෙන නිසා. අපි ඒ ගමන සම්පූර්ණ කරපු ආකාරය ඇත්තටම හරිම පුදුමයි’ ඔහු පවසන්නේ මන්දස්මිතියක් මුවග ඇඳ ගනිමිනි.

මෙම සංවාදය හා එක්වූ මව අන්ජනා පවසන්නේ සංචාරයේ සෑම තැනකදීම දුටු මිනිසුන්ගේ ඇති සමානත්වයක් පවතින බවය.

‘ ඔවුන් ආදරය බෙදාගන්නවා. මට මගේ රටට සහ ලෝකයට සාමය සහ ආදරය බෙදා දෙන්න උවමනායි. ඉන්දියාවට උපකාර කරන එක විශාල සතුටක්. දැන් අපි මෙහේ.’

‘ඒක ජීවිත කාලයටම ලැබෙන එක චාරිකාවක්. ජීවිතය වෙනස් කිරීමක්. අපි මේ ගමනේදී බොහෝ අලුත්දේ ඉගෙන ගත්තා. ඒවගේම අපි අපේ ජීවිත එකම අධිෂ්ඨායක් වෙනුවෙන් මෙහෙයවාගන්නේ කොහොමද කියලා තේරුම් ගත්තා. මේ ගමන සම්පූර්ණ කරලා අපිට අපේ අරමුණ ජයගන්න හැකිවීම ගැන මට සතුටුයි. අපි මේ ගමන එද්දී බෑග් 17ක් එක්ක ආවෙ. සිංගප්පූරුවේ ඉන්දියානු මහ කොමසාරිස්තුමා අපිට කිව්වේ තවත් බෑග් එකකට ඉඩ තියාගන්න කියලා. මොකද එනගමෙනදි ලෝක කුසලානයත් අරගෙන එන්න’ අනුපම් පවසන්නේ සිනහසෙමිනි. නමුත් එය සැබෑවේද යන්න නම් සැක සහිතය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

 

මාතෘකා

ජනප්‍රිය ලිපි