අවසන් මහා තරග පහක පහස ලැබූ ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෝඩ්ස්

 ඡායාරූපය:

අවසන් මහා තරග පහක පහස ලැබූ ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෝඩ්ස්

එළැඹෙන 14 වැනි ඉරිදා දොළොස් වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වීමට නියමිතය. නවසීලන්ත-ඉන්දියා පළමු අවසන් පූර්ව තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග අද ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයේදී තරග වැදීමට නියමිතය.

ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ ගම්භිරත්වය තීව්‍ර කරන තවත් සුවිශේෂ කාරණයක්ද ඇත. එනම් මෙය එංගලන්තය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට සත්කාරකත්වය දක්වන පස්වැනි අවස්ථාව වීමයි. එහිදී අවසන් තරග පහම පැවැත්වීමේ වරම් සහ ගෞරවය හිමිකර ගෙන ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙස සළකන ඵෙතිහාසික ‘ලෝඩ්ස්‘ ක්‍රීඩාංගණයයි.

එවැනි විශිෂ්ට ගෞරවයක් එතෙක් මෙතෙක් වෙනත් කිසිදු ක්‍රීඩාංගණයකට හිමිවී නොමැත. ලෝඩ්ස් ක්‍රීඩාංගණය හැරුණු විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරග වැඩිම සංඛ්‍යාවක් පවත්වා ඇති අනෙක් ක්‍රීඩාංගණය වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයයි. එහෙත් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අවසන් තරග පහක් පවත්වන විට මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පවත්වා ඇත්තේ 1992 සහ 2015 තරගාවලින්හි අවසන් තරග දෙක පමණි.

1975 පළමු ලෝක කුසලානය සහ 1979 දෙවැනි ලෝක කුසලානය යන කුසලාන දෙකම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් හිමිකර ගන්නා විට 1983 ලෝක කුසලානය හිමිකර ගැනීමේ වරම් ලෝඩ්ස් පිටියේදී හිමිකර ගත්තේ ඉන්දීය නායක කපිල් දේවි විසිනි. 7 වැනි ලෝක කුසලාන අවසන් තරගය පැවැතියේද ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීමය. එවර ඔස්ට්‍රේලියානු නායක ස්ටීව් වෝ ශූරතාව හිමිකර ගැනීමට සමත් විය.

ලෝඩ්ස් පිටියේ පැවැති අවසන් මහා තරගවලදී මෙතෙක් ශතක 2ක් වාර්තාවී ඇත. ඒ ශතක දෙක වාර්තා කිරීමේ ගෞරවය හිමි වන්නේ කොදෙව් ක්‍රීඩකයන් දෙදෙනෙකුටය. 1975 අවසන් මහා තරගයේදී කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 102ක් රැස් කළ අතර 1979 අවසන් මහා තරගයේදී කොදෙව් පිළේ විවියන් රිචඩ්ස් එංගලන්තයට එරෙහිව නොදැවී ලකුණු 138ක් රැස් කිරීමට සමත් විය. ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අවසන් මහා තරගයකදී තවමත් පිතිකරුවෙක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ රිචඩ්ස්ගේ එම ඉනිමයි.

ලෝඩ්ස්හි අවසන් මහා තරගයක හොඳම පන්දු යැවීමේ වාර්තාව සතු වන්නේද කොදෙව්වෙකුටමය. ඒ 1979 අවසන් මහා තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 38කට කඩුලු 5ක් දවාගත් ජොඑල් ගානර්ටයි. ගානර් හැරුණු විට ඵෙතිහාසික ලෝඩ්ස් පිටියේ අවසන් තරගයක කඩුලු පහක් දවා ගැනීමට සමත්ව ඇත්තේ 1975 අවසන් තරගයේදී කොදෙව් කඩුලු 5ක් ලකුණු 48කට දවාලූ ඔස්ට්‍රේලියාවේ ගැරී ගිල්මෝර්ය.

එම අවසන් තරග පහේ ප්‍රතිඵළ දිස් වූයේ මෙලෙසිනි.

1975 අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 17ක ජයක්

1979 අවසන් තරගයේදී එංගලන්තයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 92ක ජයක්

1983 අවසන් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව්වවන්ට එරෙහිව ඉන්දියාවට ලකුණු 40ක ජයක්

1999 අවසන් තරගයේදී පාකිස්තානයට එරෙහිව ඔස්ට්‍රේලියාවට කඩුලු 8ක ජයක්

ලෝඩ්ස් ක්‍රීඩාංගණය හා ලෝක කුසලාන අවසන් මහා තරග සම්බන්ධ වන තවත් සුවිශේෂ චරිතයක් ක්‍රිකට් විනිසුරුවන් අතර අපට හමුවේ. එනම් පළමු දෙවැනි සහ තෙවැනි ලෝක කුසලාන තරගාවලි තුනේදීම අවසන් තරග 3ම විනිශ්චය කිරීමේ භාග්‍ය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී උදාකර ගත් ඩිකී බර්ඩ් විනිසුරුවරයායි. එවැනි විනිසුරුවරයෙක්ද අපට එදා මෙදා තුර හමුවන්නේ නැති අතර ඔහුගේ නාමයද ලෝඩ්ස් ක්‍රීඩාංගණය සමගම බැඳී පැවැතීම සුවිශේෂ සිදුවීමකි.

ලෝඩ්ස් ක්‍රීඩාංගණයට මෙවැනි ගෞරවනීය ස්ථානයක් හිමිවී ඇත්තේම එම ක්‍රීඩාංගණයේ ඇති පෞරාණිකත්වය සහ ඒ හා සැබැඳී ඇති ඉතිහාසය නිසාමය. 1804 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාව සඳහා විවෘතකර ඇති ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ මුල් කාලයේදී වැඩි වශයෙන්ම පවත්වා ඇත්තේ පාසල් ක්‍රිකට් තරගයි. ඒ සමගම ප්‍රාන්ත ක්‍රිකට් තරගද ලන්ඩන් අගනුුවර අවට පැවැත්වෙද්දී වැඩි වශයෙන් පවත්වා ඇත්තේ මෙම ක්‍රීඩාංගණයේදීය.

ලෝඩ්ස් පිටියේ පළමු ටෙස්ට් තරගය පවත්වා ඇත්තේ 1874 වසරේදී එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතරය. මෙහි පළමු එක්දින තරගයද පවත්වා ඇත්තේ මෙම දෙරට අතරමය. ඒ 1972 අගෝස්තු 26 වැනිදාය. පළමු විස්සයි 20 තරගය පවත්වා ඇත්තේ 2009 ජුනි 5 වැනිදා එංගලන්තය සහ නෙදර්ලන්තය අතරයි.

එංගලන්තයේ පැරණිම ක්‍රිකට් සමාජය වන 1814 වසරේ ආරම්භ කළ මැරිලිබෝන් ක්‍රිකට් සමාජයේ හිමිකාරත්වය යටතේ පවතින ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීමේ හිමිකම ඇති ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම වන්නේ 1877 වසරේ ආරම්භ වූ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමයි.

තිස්දහසක ප්‍රේක්ෂක පිරිසකට තරඟ නැරඹීමේ පහසුකම ඇති ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ විච්ත්‍රත්වය වන්නේ පැරණි ව්ක්ටෝරියානු යුගයට අයත් ක්‍රීඩා මණ්ඩපයි.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා