සම්මුතිය ගැන මාලිංගගෙන් පාඩම් ගැනීම

 ඡායාරූපය:

සම්මුතිය ගැන මාලිංගගෙන් පාඩම් ගැනීම

ලසිත් මාලිංග අභිමුව පසුගිය දිනක කටුනායක ගුවන්තොටේ රැඳී සිටින ගුවන්තොටුපොළ වාර්තාකරුවෝ අසරණ වූහ. ඒ අසරණවීම විෂය හරිහැටි නොදන්නාකම නිසා සිදුවූ අසරණ වීමකි. එයත් හරියට නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇද වැටුණු ආකාරයේ ඇදවැටීමකි. ප්‍රශ්න ඇසීම පටන් ගන්නේම නාගෙනය. එම සංවාදය සැකෙවින් දක්වා මෙම ලිපිය සකස්කරන්නේ එය තේරුම් ගැනීමට පහසුවන්නටය.

 

ලසිත් මාලිංග මාධ්‍යවේදීන් කොටු කරගන්නේ ගුවන්තොටුපොළෙන් නික්ම එනවිටය. පළමු ප්‍රශ්නය නාන්න යනවිට නාන්න යන්නේද ආකාරයේ එකකි. තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණපෑ සන්තෑසිය දැන දැනත් නිසා තරගාවලිය ගැන අසන්නට ඔවුහු මෙය අවස්ථාව කරගනිනිති. මාලිංගගේ පිළිතුර ප්‍රශස්තය, සරලය, සෘජුය.

අසාර්ථකයි, මාලිංග නොපැකිළිය.

අසාර්ථකවීමට හේතුවක් නැවත මාධ්‍යවේදියා විමසයි.

පිළිතුර යළි ටක්කෙටම සාධාරණය.

තරග පරාජයවීම.

පරාජයට හේතුව යන ප්‍රශ්නයට මාලිංගගේ පිළිතුර ඔව්, නෑ, බෑ තරගයක මෙනි.

හේතුව දක්ෂතා අතර නොපැමිණීම.

ඊළඟ ප්‍රශ්නය වන්නේ මාලිංගගේ හිස අතගා පුංචි ටොක්කකුත් ඇන්නවීමේ අපේක්ෂාවය.

‘ඔබ පළපුරුදු ක්‍රීඩකයෙක්. ඒකෙන් ප්‍රයෝජනයක් වුණාද?

‘ඔබ මැච් බැලුවද? මාලිංගගෙන් පෙරළා ප්‍රශ්නයක් නඟයි.

ප්‍රශ්න ඇසීමේ වාරය දැන් ඇත්තේ මාලිංග අතේය.

පිළිතුර ඔව්ය.

‘ඉතින් මම මොකද කළේ?’

මාධ්‍යවේදියා අසරණ භාවයට පත්වෙමින්, ‘ඔබ ඔබේ වගකීම කළා.’

‘එහෙනම් ඉතින් මට ඉන් එහා දෙයක් කතාකරන්න නෑ’ මාලිංග කියයි.

ඔහු සංවාදයේ මූලික වටය පහසුවෙන් ජයගෙන ඇත.

‘මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. කණ්ඩායමේ සහයෝගය කොහොමද?’ එයට දුන් මාලිංගගේ පිළිතුරු ඉතා විශිෂ්ටය. කණ්ඩායමක් තුළ පැවැතිය යුතු සම්මුතිය යනු කුමක්දැයි කියාදෙන ආකාරයේ පිළිතුරකිනි.

‘හැමෝගෙම සහයෝගය ලැබුණා’

එහෙනං පැරදුණේ?’

‘ සහයෝගයයි දක්ෂතාවයි දෙකක්. ’

දැන් මාධ්‍ය යළි ගෝවා, පතෝල කරමින් ප්‍රශ්නයක් නගයි.

‘කණ්ඩායමේ එකමුතුභාවයේ ප්‍රශ්න නේද?’ මාලිංග දෙන්නේ ආඳා පිළිතුරකි. ඒ එම ප්‍රශ්නයෙන්ම මාධ්‍යවේදියාට මුහුණට ගසා දමමිනි.

‘කවුද කියන්නෙ?’

‘අපි දැකපු විදිහට එහෙමයි.’

‘ ඔයාලා දකින්නේ එළියේ ඉඳලා. අපි ඉන්නෙ මැද . මම එළියෙ ඉඳන් දකින අයට උත්තර දෙන්න කැමති නෑ.’ මාලිංගගේ වේගය වැඩිකළ යෝකර් පන්දුවකට සමාන පිළිතුරක් දෙයි. මාධ්‍යවේදියා එයිනුදු පසුනොබසී. කෙසේහෝ කට් එක බරකරගත යුතුය.

‘ඒත් ඉතින් විශාල ප්‍රේක්ෂක පිරිසක් බලාපොරොත්තු තියාගෙන හිටියනෙ?’ මාලිංගගේ පිළිතුර ඉතා සරල එකකි.

‘ඉතින් අපිත් එහෙමයි. ’

‘ඉතින් ඒවගෙ ඒවා ගිලිහෙද්දී මොකද හිතෙන්නෙ? ’

‘ප්‍රේක්ෂකයා වගේම තමයි ක්‍රීඩකයොත්’ මාලිංග ඇඟට පතට නොදැනී කියා සිටී.

‘ක්‍රීඩකයෝ කළකිරීමෙන්ද ක්‍රීඩා කරන්නෙ?’ කටුනායක ගුවන්තොටුපොළේ මාධ්‍යවේදීහු වැඩේ අත්හැර නැත.

‘නෑ. ’

‘ඔබ හිතට එකඟවද කතාකරන්නෙ? ’

‘ඔව්’

ප්‍රශ්න ඇසුවාට අවශ්‍ය පිළිතුර ගැනීම ගලෙන් පට්ටයක් ගන්නාක් සේය. එහෙයින් දැන් ප්‍රශ්න පෞද්ගලික ස්ථානයට පටු කෙරේ.

‘ඔබේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවද?’

‘ක්‍රිකට් ආයතනය සමඟ කතාකරලා ගන්නවා. ’

‘ඔබේ සෙසු ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා රටාව ගැන සතුටුද?’ මාධ්‍යවේදියා යළි සැඟවුණු න්‍යාය පත්‍රයට පැමිණේ.

‘තරග පරාජය වෙලා තියෙද්දී ඔය වගේ ප්‍රශ්න අහන එක ගැන හරි කනගාටුයි. තරග පරාජය වෙලා මම සන්තෝෂ වෙනවද කියලා අහන එක බුද්ධිමත් මාධ්‍යවේදියකුට නුසුදුසු දෙයක්.’

යළි පල්හෑලි ප්‍රශ්නයකට කටුනායක ගුවන්තොටේ මාධ්‍යවේදියා පෙරට එයි. ‘ක්‍රිකට් නංවන්න මොනවද කරන්න ඕනෑ?’

‘ඒක මට අදාළ කාරණාවක් නොවෙයි. ඒකට බළධාරීන් ඉන්නවා.’ මාධ්‍යවේදියා මාලිංගව කුපිතකරවා ගැනීමේ උත්සහය අතහැර නැත. ‘ඔබ දිනුවානම් මෙතැන මල්මාලා දාලා පිළිගනීවි නේද? දැන් මොකුත් නෑ.’ ‘ඒක තමයි යතාර්ථය’ සෝපහාසයෙන් පිළිතුරු දෙයි.

පළමු සංවාද කරළියේ තිරය වැසෙයි.


දෙවැන්න පසුගිය සඳුදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදීය. මාධ්‍ය හමුවක් සංවිධානය කෙරුණේ ලෝක කුසලාන අත්දැකීම් පැහැදිලි කරන්නටය.

එය සම්පූර්ණයෙන් අසන්ත ද මෙල් මහතා විසින් අධ්‍යක්ෂණ කරමින් රඟ දක්වන්නේ චන්දික හතුරුසිංහ මහතාගේ ආඳා ගනයේ පිළිතුරු ලබාදීමට සමගාමීවය. කොළඹ කේන්ද්‍ර කරගත් මාධ්‍යවේදීහු අසන්ත ගේ ප්‍රශ්නවලට නිරුත්තර වෙති. ඔහු තාක්ෂණික ප්‍රශ්න අසයි. ඊට පිළිතුරු දෙන්නට බහුතරයක් අසමත්ය. සුළුතරයකට අවස්ථාව නැත්තේ මයික්‍රපෝනය බදාගෙන ඇත්තේ මයික් විල්සන් ගණයේ මාධ්‍යවේදීන් නිසාය.

‘මගේ දැක්මට අනුව වේග පන්දුයවන්නෝ සාර්ථකයි.’ අසන්ත එහිදී කියයි.

ශ්‍රී ලංකා පන්දුයවන්නන් ලෝක කුසලානයේ ප්‍රතිවාදීන් රැස්කළ ලකුණු ප්‍රමාණය 1409කි. ඒ තරග දෙකක් වර්ෂාවෙන් සේදීයාමත් සමඟය. එය තරගයක ලකුණු 235 කට ආසන්නය. එය සාපේක්ෂව අගය කරන්නට හැකිය. ඒ අනුව අසන්ත ලකුණු ලබාගෙන ඇත. (එය සෙසු කණ්ඩායම්වලට සාපේක්ෂව දක්ෂතා පෙළගැසිය යුතු කාරණය වෙනම දෙයකි)

පිතිකරුවෝ ලකුණු 1503 කි. එනම් තරගයක ලකුණු 250කි. මෙය පන්දුයැවීමට සාපේක්ෂව සුරක්ෂිත ලකුණු ප්‍රමාණයකි. සංඛ්‍යා දත්තවලින් අසන්ත ද මෙල් සමත්ය.

‘1999 පසුව අපි ලැබූ අන්ත ලෝක කුසලාන පරාජය මෙයනේද?’ මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකි.

‘කවුද කියන්නෙ? 2003 දි අපි ඊට වඩා අන්ත විදිහට පරාජය වුණා.’ අසන්ත කියයි. එය හරියට පොළොවේ හරිමැද මෙතැනැයි කියන්නා සේය.

එහෙත් අපි 2003 වසරේ අවසන් පූර්ව වටය දක්වා පැමිණි බව අසන්ත ද මෙල්ට අමතකය, එසේ නැතහොත් අමු අමුවේ අමතක කළාක් සේ හැසිරෙයි.

එහෙත් වෘත්තීය කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ දක්ෂතා අවප්‍රමාණය වන්නට හේතුව, පිටියේ ස්වභාවය ගැන කියන්නට ඉවහල් කරගන්නා නිදර්ශන පරාජයේ නිරුවත වසා ගැනීමට තරම් ප්‍රමාණවත්දැයි අප ගැඹුරින් විමසිය යුතුය.

වෘත්තීය ක්‍රීඩකයන් වූ විට ඔවුන්ට ඕනෑම තණතීරුවක් තණතීරුවකි. පිතිකරුවන්ට දක්ෂතා දැක්වීමට අසීරු නම් පන්දුයවන්නන්ගේ දක්ෂතාව ප්‍රතිවාදීන්ට අභියෝගයක් විය යුතුය. එහෙත් එවැන්නක් දිස් නොවූ අවස්ථාවක් ගැන ලබාදිය හැකි පිළිතුර කුමක්ද?

‘ජීවන් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩර්සේ මෙම තරගාවලියට නම්කිරීමෙන් ලැබූ ප්‍රයෝජන මොනවාද?

ඉසුරු උදානගේ පිතිහරඹයේ සිදුකළ වෙනස්කිරීම් ඔහුගේ සුපුරුදු දක්ෂතාවට බලපෑම් නොවූයේද?

ලසිත් මාලිංග ඉන්දියාව හමුවේ අසාර්ථක පන්දුයවන්නකු බව තේරුම් ගනිද්දී තරග සැලසුම් සකස්කිරීමේදී නොසලකා හැරියේ ඇයි?

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මානසික අර්බුදයක් පවතින බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී ඒ සම්බන්ධයේ ප්‍රමුඛ තීරකයා බවට හතුරුසිංහ මහතා පත්කර ඇඟ බේරා ගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේ ඇයි?

දේශීය මනෝ උපදේශකයකුගේ සේවය ලබාදීම අනුචිතයැයි සිතන්නේ ඩොලර් කොමිස් නොලැබෙන්නේ යැයි සිතන නිසාද?

ආදී ප්‍රශ්න ගණනාවක් විමසිය හැකිය. එහෙත් මාධ්‍ය තුළ ඇති පරතරය (ගැප් එක) සොයා පන්දුව තල්ලු කරන්නාක් මෙන් පිළිතුර ගොනුකිරීමට මාධ්‍යහමු පුහුණු මණ්ඩප බවට පත්ව ඇත. කට ගසා ජයගැනීමත්, ක්‍රිකට් ගසා ජයගැනීමත් දෙකකි. කට ගසා ජයගැනීමට ඉඩදී මාධ්‍ය නිරුත්තර වීමද කනගාටුවකි. එක්තරා ආකාරයකින් එය නොහැකියාව පිළිබඳ ගැටලුවකි. වෘත්තීය භූමිකාවේ තාක්ෂණ හැකියාව සම්බන්ධයෙන් වහ වහා විසඳිය යුතු ප්‍රශ්නයකි. එකී වෘත්තීය ප්‍රශ්නය මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවටත්, මාධ්‍යයටත් දෙකම මුහුණ පා ඇති බව නම් නොරහසකි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා