වාසනාව නවසීලන්තයට ඉන්දියාවත් හිස් අතින්ම ගෙදර එයි

 ඡායාරූපය:

වාසනාව නවසීලන්තයට ඉන්දියාවත් හිස් අතින්ම ගෙදර එයි

නවසීලන්ත වේගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වූ ප්‍රබල ඉන්දීය පිතිකරුවෝ ලකුණු 221කට දැවී යාමත් සමඟ පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 18ක තියුණු ජයක් ලබා ගැනීමට නවසීලන්තය ඊයේ (10) බර්මිංහැම්හිදී සමත් විය.

නවසීලන්තය ලබාගත් ලකුණු 239 ඉන්දීය පිතිකරුවන්ට පහසු ඉලක්කයක් වනු ඇතැයි ඉනිම ආරම්භ වීමට පෙර බලාපොරොත්තු වුවද පළමු පන්දුවාර 4 අවසන් වන විට එම බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම සුන්වී ගියේ ඉන්දීය සුපිරි පිතිකරුවන් තිදෙනාම එක ලකුණ බැගින් ලබා සිටියදී දැවී යාමෙනි. තරගාවලියේ ශතක පහක් රැස්කර සිටි රෝහිත් ෂර්මා දෙවැනි පන්දුවාරයේදී මැට් හෙන්රිගේ පන්දුකට දැවී ගියේ කඩුලු රකින ටොම් ලේතම් අතට උඩපන්දුවක් ලබා දීමෙනි. තෙවැනි පන්දුවාරයේදී නායක විරාට් කෝලි ට්‍රේන්ට් බෝලට්ගේ පන්දුවකට කඩුල්ල මුවාකර දැවී ගිය අතර ඊළඟ පන්දුවාරයේදී ලෝකේෂ් රාහුල් දැවී ගියේ හෙන්රිගේ පන්දුවකට ලේතම් විසින් උඩපන්දුවක් රැක ගැනීමෙනි. පළමු කඩුලු 3 දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 5ක්ව තිබියදීය.

31 වැනි පන්දුවාරයේදී ලකුණු 92කට කඩුලු 6ක් බිඳ වැටී තිබුණු ඉනිම ගොඩ නැගීමේ බර කරට ගත්තේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සහ අංක 8 පිතිකරු ලෙස පිටියට පැමිණි රවීන්ද්‍ර ජඩේජායි. පන්දු 59කින් ලකුණු 77ක් රැස් කළ ජඩේජා ජයග්‍රහණය පිළිබඳව ඉන්දීය බලාපොරොත්තු නැවත ගොඩනැංවීමට සමත් විය. ජඩේජාගේ දැවී යාමත් සමගම ක්‍රියාත්මක වූ දෝනි ජයග්‍රහණය පෙනෙන මානයට ඉන්දීය පිල කැඳවාගෙන පැමිණියේය. පන්දු 10ට ලකුණු 25ක් ලබා ගැනීමට තිබියදී දෝනි ලකුණු 50කට දුවද්දී දැවී යාමට හසුවීමත් සමගම නවසීලන්ත ජයග්‍රහණය ස්ථිර විය.

කලින් දිනයේ තරගය වර්ෂාව නිසා අත්හිටුවන විට නවසීලන්තය පන්දුවාර 46.1කදී කඩුලු 5ක් දැවී ලකුණු 211ක් රැස්කර සිටි අතර ඊයේ උදෑසන ඔවුන් ඉතිරි පන්දුවාර 3.5ට මුහුණ දුන්හ. ඒ අතර වාරයේදී කඩුලු 3ක් දැවී තවත් ලකුණු 28ක් ලකුණු පුවරුවට එක් කරන්නට ඔවුන්ට හැකි වූ අතර එය ජයග්‍රහණයට ප්‍රබල ලෙස උපකාර විය. ඊයේ තමන් රැස් කළ ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 7ක් එක් කළ රොස් ටේලර් ලකුණු 74කට පිටියෙන් ඉවත් වූයේ දුවද්දී දැවී යාමට හසුවීමෙනි.

මාතෘකා

ජනප්‍රිය ලිපි