ඉන්දියා - පාකිස්තාන බෙදුම් රේඛාව මඟ හැර බාබර්ගෙන් කෝලි ඉක්මවන ගමනක්

 ඡායාරූපය:

ඉන්දියා - පාකිස්තාන බෙදුම් රේඛාව මඟ හැර බාබර්ගෙන් කෝලි ඉක්මවන ගමනක්

ජුනි 26 වැනිදා බර්මිංහැම් හි දී පාකිස්තානය සහ නවසීලන්තය අතර පැවැති ලෝක කුසලාන තරගයේදී පාකිස්තානු පිතිකරු බාබර් අසාම් එක් සුවිශේෂ කඩඉමකට ළඟා විය. ඒ අඩුම එක්දින ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 3000 සීමාව පසු කළ දෙවැනි ක්‍රීඩකයා ලෙසිනි. ඉනිම් 68කින් එම දක්ෂතාව දක්වන්නට අසාම්ට හැකි විය.

අඩුම එක්දින ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 3000 සීමාව පසු කළ පිතිකරුවන් අතර අංක එකට සිටින්නේ දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලායි. අම්ලා ඉනිම් 57කින් එම සීමාවට ළඟාවී ඇති අතර ශ්‍රේෂ්ට කොදෙව් පිතිකරු ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ඉනිම් 69කින් මෙම දක්ෂතාවය දක්වා ලැයිස්තුවේ තෙවැනි තැනට පත්ව සිටී.

ලකුණු 3000 සීමාව අඩුම තරග සංඛ්‍යාවකින් පසු කළ පළමු පිතිකරුවන් දස දෙනාගේ ලැයිස්තුව පිරික්සීමේදී පෙනී යන මුල්ම කාරණය වන්නේ ඒ සියලු දෙනාම තම රට වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ සහ ඇතැම් පිතිකරුවන් තවමත් දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටින පිතිකරුවන් දස දෙනෙක් බවයි.

එසේම අසාම්ගේ දක්ෂතාවය ඉතාමත්ම විශිෂ්ට එකක් වන්නේ එක්දින ක්‍රිකට් පිටියේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවන් ලෙස සැලකෙන සචින් තෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, ස්ටීව් වෝ, රිකී පොන්ටින් සහ ජාවෙඩ් මියන්ඩාඩ් වැනි පිතිකරුවන්ට කළ නොහැකි වූ දස්කමක් සම්පූර්ණ කළ බැවිණි. එහිදී ඔහු දෙවැනි වී සිටින්නේ හෂීම් අම්ලාටය.

බාබර් අසාම් සිය එක්දින ලකුණු 3000 සීමාව පසු කළ තරගයේ ක්‍රීඩා කළ ඉනිම සම්බන්ධයෙන් විචාරයන් ඉදිරිපත්කළ ජාත්‍යන්තර විස්තර විචාරකයන් පවසන්නේ එම ඉනිම සෑම කෙනෙක්ම නැරඹිය යුතු අති විශිෂ්ට ඉනිමක් බවයි. ඔහුගේ සෑම ඉනිමක්ම එසේ සුවිශේෂ ඉනිම් බව ඔවුන්ගේ අදහසයි.

මේ සමඟ වර්තමාන ක්‍රිකට් පිටියේ නොම්මර එකේ පිතිකරුවා ලෙස සැලකෙන විරාට් කෝලි සමග අසාම්ව සන්සන්දනය කිරීමටද විචාරකයෝ පෙළඹී සිටිති.

අසාම් දෙවැනි ස්ථානය ගන්නා එක්දින ලකුණු 3000 සමාජයේ කෝලිට හිමිව ඇත්තේ 10 වැනි ස්ථානයයි. කෝලි ලකුණු 3000 පසුකර ඇත්තේ අසාම්ට වඩා තරග 7කට පසුවය. ලකුණු 1000 සහ 2000 පසුකරන විටද කෝලි තරග කිහිපයක්ම අසාම්ට වඩා පසු පසින් සිට ඇත. ඒ සන්සන්දනයෙන්ද ඔවුන් උත්සාහ දරන්නේ අසාම් යනු ඉදිරියේදී අන් සියලුම කණ්ඩායම්වලට තර්ජනයක් විය හැකි පිතිකරුවෙක් බව අනතුරු ඇඟවීමටයි. මේ වන විටද පාකිස්තාන නායකයාගේ සිට සියලුම පිතිකරුවන් පාකිස්තාන ඉනිම ගොඩනගන්නේ බාබර් අසාම් කේන්ද්‍ර කරගනිමිනි. එවන් අවස්ථාවකදී මෙම තරුණ පිතිකරුවා වාර්තාගත පිතිකරුවෙක් ලෙස ජාත්‍යන්තර අවධානයට යොමු වීම හා ඔහුව කෝලි වැනි අති දැවැන්තයෙකු සමග සන්සන්දනය කිරීමද ඇතැම් ස්ථානවලදී අසාම්, කෝලිට වඩා ඉදිරියෙන් සිටින බව පෙන්වා දීමද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවම ඇගයීමට ලක් කිරීමකි.

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව යනු ඔස්ට්‍රේලියාවේ මෙන් විද්‍යාගාර තුළ හෝ විද්‍යාගාර වැනි ක්‍රීඩාංගණවල හෝ ගොඩනැගුනක් නොව රට පුරා විසිරී සිටින විවිධ පසුබිම් සහිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ එකතුවෙන් සකස් වූවකි. ඒ අතර ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්නේ වරින් වර දායාද වන ස්වභාවික ක්‍රිකට් ක්‍රීඩකයන් (Natural cricketers) ගේ දායකත්වයෙනි. අසාම්ද පාකිස්තානයට එසේ දායාද වූ ස්වභාවික ක්‍රීඩකයෙක් බව බොහො දෙනාගේ අදහසයි.

විරාට් කෝලි යනු නිරන්තර පුහුණුවෙන් ගොඩනැගුනු ජව සම්පන්න ක්‍රීඩකයෙකි. දැන් විචාරකයන් පවසන තවත් කතාවක් තිබේ. ඒ විරාට් කෝලිට ලකුණු ලබාගැනීමේ පිපාසය පවතින්නාක් මෙන් අසාම් තුළද ඇත්තේ ලකුණු සාපිපාසාවක්ම බවය.

සමස්තයක් ලෙස මොවුන් දෙදෙනා සන්සන්දනය කරන විට කෝලි ඉදිරියෙන් සිටින නමුත් අසාම් දිනෙන් දින තරගයෙන් තරගය පරිණත වෙමින් සිටින බවද ඔහුගේ ඉනිමෙන් ඉනිම නරඹන විට දක්නට ලැබෙන විශේෂත්වයකි.

[ඩබ්ලිව්.ආර්. කුමාර]

 

මාතෘකා