ප්‍රේක්ෂකයන් එංගලන්තයට පස්ස හරවන්නේ ජාතිවාදය නිසාද?

 ඡායාරූපය:

ප්‍රේක්ෂකයන් එංගලන්තයට පස්ස හරවන්නේ ජාතිවාදය නිසාද?

‘ඒක එහෙම වෙන්න හේතුව සංස්කෘතික කාරණාවක්. මට ඉන්දියාව සමඟ තියෙන්නේ බොහෝම සංවේදී සම්බන්ධයක්. ඇත්තටම එංගලන්තයට වඩා ඉන්දියාවෙ ජයග්‍රහණය වෙනුවෙන් මම සහය දක්වන්නේ ඒ නිසයි’ විසි එක් හැවිරිදි එංගලන්තයේ උපන් ඉන්දියානුවකු වන පවන් පටෙල් මේ පිළිබඳ අදහස් පළකරමින් පවසා තිබේ.

එංගලන්තයේ උපත ලද සහ ජීවත්වන ආසියාතික පවුල්වලින් සැලකිය යුතු පිරිසක් මේ ආකාරයෙන් තමන් රැඳී සිටින රටට වඩා තමන්ගේ ඥාතී සම්බන්ධතා පවතින රට වෙනුවෙන් සහය පළකිරීමේ තත්ත්වයක් දැකිය හැකිය. 1990 වසරේ කොන්සර්වේටිව් පක්ෂයේ දේශපාලනඥයකු වූ නෝර්මන් ටෙබිට් සාමි වරයා විසින් මේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබ තිබුණේය. එදා ඔහු කියා සිටියේ ආසියාවෙන් සංක්‍රමණයවූවන් සහ ඔවුන්ගේ දරුවන් සත්‍ය වශයෙන්ම එංගලන්තවාසියකු බවට පත්වනුයේ ඔවුන් තමන් උපන් රටවල් වෙනුවට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට සහය දැක්වීමට සමත්වන්නේ නම් පමණක් බවය. ඒ එංගලන්තය හා ආසියාවේ ඇතැම් රටවල් සහභාගිවන තරගවලදී ආසියානුවන් විසින් සහය පළකරනුයේ ඔවුන්ගේ මුල් රටවලට වීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

කෙසේ නමුත් මෙවර ලෝක කුසලානයේ තරග නැරඹීමට ප්‍රවේශපත්‍ර සියයට අසූවක් මිලට ගෙන තිබුණේ එංගලන්තයේ ජීවත්වන්නවුන් විසින්මය. එහෙත් එංගලන්තයට සහය පළ කරනුයේ ඉන් හරි අඩකටත් අඩු සංඛ්‍යාවක් බව කියැවෙයි.

මේ සඳහා ඉවහල්වන කාරණාව කුමක්ද?

‘එය නිසැකවම සංස්කෘතික සම්බන්ධතාව පිළිබඳ කාරණාවකි. මගේ ඉන්දියානු මූලය ස්පර්ශ කරන්න එතැනදි මට අවස්ථාව හම්බවෙනවා. ඒක තමයි ඉන්දියාව වෙනුවෙන් නැගීසිටීමට ඉවහල්වෙලා තිබෙන්නෙ’ පවන් පටෙල් රේඩියෝ 1 ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් පවසන්නේය.

බොහෝ තරුණ බ්‍රිතාන්‍ය ආසියානුවන්, සහ ඔවුන්ගේ පවුල් අතර ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සහය දක්වන රාජ්‍යයන් මේ ආකාරයෙන් පරම්පරාගතව ගමන් ගන්නා බවක් දැකිය හැකිය. ‘තරුණ වයසේදී මම දැක්කෙම ඉන්දියානු ක්‍රිකට්. රූපවානිය පුරා විකාශය කළේ ඒ තරගයි. අපේ මුළු පවුලම එක්වෙලා ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව නැරඹුවා. ඒක එක්තරා ආකාරයක අපේ මනසට එල්ලවුණු ප්‍රබල විද්යුත් කම්පනයක් වගෙයි’ පවන් පවසයි. මෙයට ඉවහල්වන ප්‍රධානතම කාරණය ලෙස ඔහු දකින්නේ ඉන්දියානු ක්‍රීඩකයන් සහ තමන්ගේ සංස්කෘතික හැසිරීම් අතර පවතින සමානත්වයය.

‘ඉතින් අපි වර්ධනය වුණේ මේ කියන සංස්කෘතික සම්බන්ධතාවත් එක්කයි. ඒත් එංගලන්ත කණ්ඩායම හා ඒවගේ සම්බන්ධතාවක් ගොඩනැංවුණේම නැහැ’ ඔහු තවදුරටත් පවසා සිටී.

මේ අතර පාකිස්තානය වෙනුවෙන් දිරිගන්වන විසි අටහැවිරිදි ප්‍රේක්ෂිකාවක් වන ඇනී හේයට් ද අදහස් දැක්වීමට එක්ව තිබිණි. ‘මුල්ම කාලයට වඩා මට දැන් එංගලන්ත කණ්ඩායම තරමක් විතර සමීපයි. මම පුංචි සන්ධියේ ආසියානු ක්‍රීඩකයෝ කිසිම කෙනෙක් එංගලන්ත කණ්ඩායම තුළ ඉන්නවා දැක්කේ නෑ. ඒ නිසා මට එංගලන්ත කණ්ඩායම හිතට ඇල්ලුවේම නෑ. ඉතින් මම ජාත්‍යන්තර තරගවලදී පාකිස්තානය වෙනුවෙන් දිරිගන්වන්න හුරුවුණා. මොයීන් අලී, ඇඩිල් රෂීඩ් වගේ ආසියාතික ක්‍රීඩකයන් එංගලන්ත කණ්ඩායමට ඇතුළත් වෙද්දී එංගලන්ත කණ්ඩායම කෙරේ යම් ප්‍රමාණයක ආකර්ශනයක් නිර්මාණය වුණා’ ඇය පවසා ඇත.

වාර්ගික පදනම පමණක් නොවේ

එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්වුණු ක්‍රීඩකයන් කිසිවෙක් දුප්පත් පවුල්වලින් පැමිණි ක්‍රීඩකයන් ලෙසින් කොහේ හෝ දැකිය නොහැකිය. ආසියානු සම්භවයක් සහිත ප්‍රේක්ෂකයින්ගේ අවධානයට ඔවුන් ඇතුළත් නොවීමට එයද එක හේතුවකි. එංගලන්ත ක්‍රීඩකයන්ගෙන් සියයට 43ක්ම පෞද්ගලික පාසල් මගින් අධ්‍යාපනය ලබා ක්‍රිකට් ක්‍රීඩාවට එකතුවූවන් බව පැවසෙයි. ‘ ඉංග්‍රීසි ක්‍රීඩකයෝ කිසිවෙක් වැඩකරන පංතියෙන් ආපු අය නොවෙයි. එහෙම කතා අපි අහලම නෑ’ විසිතුන් හැවිරිදි සාගාර් ගෙලානි මෙම සංවාදය හා එක්වෙමින් පවසන්නීය. ඇය නියෝජනය කරනුයේ එංගලන්තයේ උපන් ඉන්දියානු ක්‍රීඩාලෝලිනයක් වශයෙනි.

‘නමුත් මම ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන අහලා තියෙන්නෙ ඔවුන්ගෙන් බහුතරයක් දුප්පත් පවුල්වලින් ආපු අය ලෙසටයි’ සාගාර් සචින් ටෙන්ඩුල්කාර් සහ එම්.එස්.දෝණි වැනි ක්‍රීඩකයන් ගේ කතා පිළිබඳ දැනසිටින්නීය. එම කතා සියල්ල ඇය මෙන්ම අසන්නවුන් සියල්ලන්ම දිරිගන්වනසුලුය. දෝනි යනු ආරම්භක යුගයේ ඉන්දීය රේල්ලුවේ ප්‍රවේශපත්‍ර පරීක්ෂකයෙකි. එසේ සිටියදී ඔහු ඉන්දියානු ක්‍රිකට් පිලේ නායකත්වය දක්වා පැමිණීමට සමත්විය.

‘ඒ කතා දිරිගන්වන සුළුයි. ඔවුන් තමන්ගේ ඉලක්ක පසුපස හඹාගිහිල්ලා, සිහින ලුහුබැඳලා ක්‍රිකට් ක්‍රීඩකයන් බවට පත්වූ ක්‍රීඩකයෝ. මට ඒවා දැනෙනවා’ සාගාර් තවදුරටත් පවසන්නීය.

විවිධ අපරාධ ක්‍රියාවන්ට වෛර කිරීම

බොහෝ වයස්ගත විගමනිකයන්, ඔවුන්ගේ ජීවිතය තුළ විවිධ වර්ගවාදී අර්බුදවලට මුහුණදී ඇති අතර වෙනස්කොට සැලකීම්වලට ලක්ව ඇත. ඔවුන් පළමු වරට එංගලන්තයට පැමිණෙද්දී මෙවන් අත්දැකීම්වලට ලක්ව තිබේ. එංගලන්ත කණ්ඩායමට සහය නොදැක්වීමට එවැනි අත්දැකීම් ඔවුනට ප්‍රබල හේතුවක් වී ඇත. නමුත් එය දෙවැනි පරම්පරාව විෂයේ ඉවහල් වන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුව තිබේ. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රේක්ෂිකාවක වන සියා නජුමි විසිතුන් හැවිරිදිය. මේ සම්බන්ධයෙන් ඇය පවසන්නේ මෙවැන්නකි. ‘මගේ සහය වර්ගවාදී අපරාධයන් වෙනුවෙන් කියලා කියන්නෙ නෑ. ඒක මගේ මාපියන්ගෙ රට. ඉතින් ඔවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීම ගැන මට ආඩම්බරයි. ඒකයි මම ඔවුන් වෙනුවෙන් සහය පළ කරන්න හේතුව’ ඇය පවසන්නීය.

පසුගිය වසර පහක කාලය තුළ ඇෆ්ගනිස්ථානය තුළ අපරාධ ක්‍රියා ඉහළ යාම වාර්තාවීමත් සමඟ ඇෆ්ගන් සංස්කෘතියට හා ඒ සමාජය සමඟ ඇය වඩාත් සමීපවූ බවක් ද ඇය පවසයි. ‘අපිට නොපෙන බිත්තියකින් මගේ සමාජයත්, මම අයත්වන සංස්කෘතියත් මේ ඉංග්‍රීසි සමාජයෙන් වෙන් කරලා තිබෙනවා කියලා මට හැඟෙනවා’ සියා ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් පවන් පවසන්නේ වෛරී අපරාධයන් කණ්ඩායමට සහය දැක්වීමට බලපෑම් නොකරන බවයි. අනාගත බ්‍රිතාන්‍ය ආසියානුවන්ට එංගලන්තයට සහය පළකිරීමට ‘වර්තමාන දේශපාලන වටපිටාව දිරිගන්වන සුළු නැතැයිද ’පැවසෙයි.

යළි මෙම විශ්ලේෂණයේ ආරම්භයට ආපසු ගමන් කරන්නේ නම් ටෙබිට් සාමිගේ පරීක්ෂණයට අනුව ඔබ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට සහය පළනොකරන්නේ නම් එංගලන්තයට පක්ෂපාතී නොවන බවක් ප්‍රකාශ වන්නේද? යන්න සාගාර්ට අනුව අනුකූලවන්නේ නැත.

‘සහය දක්වන කණ්ඩායම සමඟ සම්බන්ධතාවක් ඇතිකරන්න හරි පහසුයි. ඒත් එක නියම ක්‍රමයක් නොවෙයි’ සාගාර් පවසන්නේය. ඔහු පෙන්වා දෙන්නේ පාපන්දු ක්‍රීඩාවේදී තමන්ගේ සහය පළවනුයේ එංගලන්තයට බවය. එසේ තිබියදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට පක්ෂපාත වන්නේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට වඩා ඉන්දීය කණ්ඩායම තමන්ට සමීප නිසා බව ඔහු පෙන්වා දෙයි. ‘කණ්ඩායමකට සහය දැක්වීම ඔබේ දැක්ම සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ඇතිකරන්නෙ නෑ’ ඔහු ගේ අදහසවී තිබේ.

විරෝධය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සුවිශේෂ වන්නේද?

එංගලන්තයේ වෙසෙන බොහෝ දෙනෙක් ආසියානු රටවල් වන ඉන්දියාව සහ පාකිස්තානයට සහය දකවන්නටත් වෙනත් ක්‍රීඩාවලදී එංගලන්තයට සහය දක්වනු දැකිය හැකිය. මේ සම්බන්ධයෙන් බී.බී.සී. ආසියානු ජාලනය කළ සමීක්ෂණයකදී අනාවරණයව ඇත්තේ සියයට 77.19ක් ජාත්‍යන්තර පාපන්දු තරගවලදී සහය පළකරන්නේ එංගලන්තයට බවය. මේ පිළිබඳවද අදහස් දක්වන පවන් පවසනුයේ ‘මම හැදී වැඩෙන පරිසරය තුළ ඇත්තේ පාපන්දු ක්‍රීඩා පරිසරයක්. සැමවිටම දක්නට ලැබෙන්නේ එයයි. පරිසරයේ ඇති එම තත්ත්වය මට බලපෑම් කරනවා. ඒ නිසා මම පාපන්දු ක්‍රීඩාවේදී එංගලන්තය වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ’ යනුවෙනි. එංගලන්ත ක්‍රීඩාව සම්බන්ධයෙන් ආසියානු සම්භයවයක් සහිත එංගලන්ත වාසීන්ගේ හැසිරීම එසේ වන්නේ, ‘ක්‍රිකට් කණ්ඩායමට වඩා පාපන්දු කණ්ඩායම තුළින් ඔබට ඔබව දැකගැනීමට හැකිවීමයි’ ඔහු වැඩිදුරටත් පවසයි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා