ආඬින්ගේ කැඳ න්‍යාය වෙනුවට වහා ගොඩනැංවිය යුතු ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසය

 ඡායාරූපය:

ආඬින්ගේ කැඳ න්‍යාය වෙනුවට වහා ගොඩනැංවිය යුතු ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසය

ලෝක කුසලානයේ සියලු ඉදිරි අපේක්ෂා ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ සූට්කේස් තුළට දමාගෙන දින කීපයකි. ඒ සා දීර්ඝ හා වෙහෙසකර සංචාරයක් නිමවා යළි ශ්‍රී ලංකාව බලා එන්නට පමණක් දැන් අපට සිදුව තිබේ. එය පැය දහයකට ආසන්න ආයාසකර ගුවන් ගමනකි. එම ගමන පැමිණීමට අපට ඉතිරිව ඇත්තේ ජූලි 06 වැනිදා ලීඩ්ස්හි හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී ඉන්දීය කණ්ඩායම මුණගැසීමය. තරගාවලියට පෙර සිටම මෙවර තරගාවලියේ ශූරයන් බවට පත්විය හැකි ප්‍රබලම කණ්ඩායමක් ලෙසින් සැලකුණු ඉන්දීය කණ්ඩායම හා එමහමුව සිදුවන්නේ තරගාවලියේ උදාසීන අවස්ථාවකදීය. එනම් මේ තරගය දිනුවද, පැරදුණද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ සිදුවන විශේෂ වෙනසක් නැත. එය බොහෝ දුරට ස්ථිරව දැක්විය හැකි තත්ත්වයකි. තවත් ආකාරයකින් කියන්නේ නම් නිශ්චයාර්ථයකි. (ඉන්දියාව, බංග්ලාදේශය පරාජය කර, එංගලන්තය තම අවසන් තරගය පරාජයවී, පාකිස්තානය හා බංග්ලාදේශය අතර තරගයෙන් බංග්ලාදේශය ජය ලබා එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ප්‍රසාද ලකුණු සමවී ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාවේ සෘන අගය එංගලන්තයේ ධන අගය ඉක්මවා යන්නේ නම් එය වෙනස් වීමේ සම්භාවිතාවක් පවතී)

ඒ අනුව මූලික වටයේ අවසන් තරගයට පෙර පැවැත්වෙන තරගය වන 44 වැනි තරගයට ඉන්දියාව හා ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දීර්ඝ සංචාරයක් නිමවා ශ්‍රී ලංකාවට ගෙදර පැමිණිය හැකිය. එසේ පැමිණෙද්දී කරුණු කීපයක්ම සිදුවීමට අවකාශ පවතින බව මෙහිදී පිළිගත යුතුව ඇත. ඉන් පළමුවැන්න පුහුණුකරුගේ සාර්ථකත්වය සම්බන්ධයෙන් වන සංවාදයට යළි පියාපත් ලැබීමය. තේරීම් කමිටු සභාපති හා කළමනාකරු අසන්ත ද මෙල් මහතාගේ වගකීම්හි අනාගතය සම්බන්ධයෙන් සංවාදයක් මතුවීමය. දිමුත් කරුණාරත්නගේ නායකත්වය හා ශ්‍රී ලංකා සංචිතයේ සිදුකළ යුතු පූර්ණ සංශෝධනයන් සම්බන්ධවද එහිදී සාකච්ඡා කරනු නිසැකය. දේශීය ක්‍රිකට් යාන්ත්‍රණය මහේල ජයවර්ධනලා කියූ ආකාරයට වෙනස් කිරීම තවත් එකකි. අයි.පී.එල්. පන්නයේ එස්.එල්.පී.එල්. තරගාවලියක් ආරම්භ කිරීම තවත් කරුණකි. පරාජයේ පීතෘවරු සෙවීමේ වෑයමේදී මෙවැනි තර්ක ප්‍රධාන අර්බුදය වසන් කරමින් ඉහළට ඉපිලෙනු ඇතැයි සිතිය හැකිය.

කෙසේ නමුත් මේ සංචාරයේදී දිමුත් කරුණාරත්න නායකයකු වශයෙන් බොහෝ දේ උගත් බව අප පිළිගත යුතුය. ඉන් ප්‍රමුඛව ඔහු උගත් පාඩම බිඳීම පිළිසකර කිරීමේ අසීරු බවය. අයාලේ දුවන අශ්වයන් රෑනක් එක රැහැනක බැඳ එකම දිශාවක් වෙත මෙහෙයවීමේ අසීරු භාවයය. (එය ජවසම්පන්න අශ්ව පාලකයකුට වුව ඉටුකළ නොහැකි කාරණයකි.) එසේත් නැතහොත් ආඬි හත්දෙනා කැඳ ඉව්වාක් සේ කණ්ඩායමකින් ජාත්‍යන්තරය ජයගැනීමේ අසීරුතාවයය. ආඬින් සහල් මිට මිට දමන බවක් පෙන්නුවද සැබැවින්ම සහල් දැමීමට කටයුතු කර නැතිබව හෙළිවූයේ කැඳ බොන්නට ගත්විටය. ඒ හේතුවෙන් අවසානයේ සියලු දෙනාටම සිදුවූයේ කැඳ වෙනුවට උණුවතුර පානය කිරීමටය. ආඬි හත්දෙනාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් කිසිවකුටත් තව‍ෙකකුට චෝදනා කළ නොහැකිය. ඒ මන්ද යත් තම තමන් ස්වායත්තව ගත්විට සහල් මිටක් නොදමා එසේ දමන්නාක් මෙන් රූපනය කරමින් සෙසු පිරිස රවටා ඇති නිසාවෙනි. කොටින්ම කියන්නේ නම් තමන්ද වරදකරුවකු වී අනෙකුන්ගේ වැරදි පෙන්විය නොහැකිය. ඒ නයින් බලද්දී ආඬි හත් දෙනාගේ කැඳහැලිය සැකසීම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් නව්‍ය ආප්තෝපදේශයක් නිර්මාණය කරන්නටද බැරිකමක් නැත. අප එසේ කියන්නේ සියලු ක්‍රීඩකයන් කණ්ඩායමට ලබාදෙන දායකත්වය ප්‍රමාණවත් නැතැයි සිතෙන බැවිනි.

විනිශ්චය

කෙසේ නමුත් අප මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට පෙර ‘රැස’ ක්‍රීඩා පිටුව ඔස්සේ ලිපි මාලාවක් ආරම්භ කළේ කණ්ඩායමේ මානසිකත්වය වර්ධනය කිරීමේ පරම අභිලාෂයෙන් යුතුවය. එම ලිපි පෙළේ මුඛ්‍ය තේමාව වූයේ ‘අපට හැකියි’ යන්නයි. අපට හැකි නම් එය කෙසේ වර්ධනය කරගත යුතුද? මානසිකත්වය ගොඩනංවන්න කළයුත්තේ කුමක්ද? ආදී වශයෙන් ලිපි පෙළක් මෙහිදී එළිදැක්වීමු. මානසිකත්වය වර්ධනය කිරීම සම්බන්ධයෙන් සලකන කල නාලක හේවාමද්දුමගේ වැනි මනෝ උපදේශකයකුගේ සේවය ලබාගැනීමේ ඇති හැකියාව පිළිබඳ අප සාකච්ඡාවට බඳුන් කළ අතර තමන්ගේ මව් භාෂාවෙන් එවැනි කර්තව්‍යයක නියැලීමේ අගය පිළිබඳ මතුකරනු ලැබිණි. එහිදී නාලක හේවාමද්දුම මහතා හා සාකච්ඡාවක් පවත්වා ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය වර්ධනය කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් කතිකාවක් ගොඩනැංවීමට උත්සහ කළෙමු. එහෙත් මේ උත්සාහය හුදෙක් බිහිරි අලින්ට වීණා වැයීමක් වූයේ යැයි අපට සිතෙන්නේ නාලක හේවාමද්දුමගේගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සුක නොවීම හේතුවෙනි. ආඬි හත්දෙනාගේ කැඳ හැළි න්‍යාය දිගින් දිගටම පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායම වරින්වර කටයුතු කරන්නේ එවැනි පසුබිමකදීය.

‘ලංකාවට ගිහින් කණ්ඩායම තුළ ඇතිකරගත යුතු වෙනස්කම් ගැන සාකච්ඡා කළ යුතුයි. අපි ඒ ගැන හුඟාක් සැලකිලිමත් වෙනවා’ යැයි දිමුත් කරුණාරත්න පවසන්නේ මෙවැනි පසුබිමකය. දකුණු අප්‍රිකාව අබිමුව පරාජය ලැබීමෙන් පසු දිමුත් එය ප්‍රකාශ කළ අතර ඊට පසුව පැවැති තරගය වූ බටහිර ඉන්දීය කොදෙව් හා තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිණි.

කෙසේනමුත් අප විශ්වාස කරනුයේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ඇති ප්‍රධානම ගැටලු කීපය අතර විශ්වාසය මූලික ප්‍රශ්නයක් බවය. කුසල් මෙන්ඩිස් අතින් උඩපන්දු ගිලිහීයාමත් තිසර පෙරේරා වැනි ක්‍රීඩකයන් අසාර්ථක වීම පිටුපස කණ්ඩායම තුළ යම් දෙබිඩි භාවයක් පවත්වාගෙන යාමේ පසුබිමක් පැවතීමත් නිහඬව ප්‍රකාශ කෙරෙන බව මෙහිදී පැවසිය යුතුමය. ලසිත් මාලිංග මේ වනවිට ක්‍රීඩක කාමරය තුළ වැඩිවශයෙන් තනිව හා නිහඬව කාලය ගතකරන්නකුවීමත්, ඇන්ජලෝ මැතිව්ස්ගේ හැසිරීම තවත් අවිනිශ්චිත ස්වභාවයක් ගොඩනැංවීමත් නොසලකා හැරිය නොහැකි කාරණයන්ය. මේ සියල්ල සමෝධානික කරගනිද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ ඇති අභ්‍යන්තර දේශපාලනය, පෞද්ගලික න්‍යාය පත්‍ර පරාජය කරමින් වහා පොදු න්‍යාය පත්‍රයක් නිර්මාණය කරගත යුතුව ඇත. එය කළහැක්කේ ක්‍රීඩකයන් එකිනෙකා තුළ දැඩි විශ්වාසයක්, තනි පවුලක් වැනි ක්‍රිකට් කණ්ඩායමක් නිමැවීම මෙන්ම තරගයක ප්‍රතිඵලය සම්බන්ධයෙන් වගවිය යුතු භාවයක් ගොඩනැංවීමෙන් පමණි. තවත් ආකාරයකින් පවසන්නේ නම් තරගයකදී ලබාගන්නා පරාජිත ප්‍රතිඵලය පිළිබඳ ලැජ්ජාවක් ඔවුන් තුළ ගොඩනැංවිය යුත්තේය. එසේ නොමැතිව එංගලන්තයෙන් හකුළාගෙන එන සූට්කේස් යළිත් සංචාරයක් වෙනුවෙන් දිගහැර ගැනීම දක්වා එළඹෙනු ඇත්තේ නිහඩ කාලයක් මිස ගැටලු විසඳා ගැනීමේ අවස්ථාවක් නම් නොවේ.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා