ශ්‍රී ලංකාව බිහිකළ හොඳම පිතිකරුවූ : මහදේවන් සතාසිවම්

 ඡායාරූපය:

ශ්‍රී ලංකාව බිහිකළ හොඳම පිතිකරුවූ : මහදේවන් සතාසිවම්

ශ්‍රී ලංකාව කියන පුංචි දිවයිනෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වෙච්ච සුපිරිම පිතිකරුවා කවුද කියන ප්‍රශ්නය වෙනුවෙන් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද?

නිසැකවම එක පිරිසක් අරවින්ද ද සිල්වා යැයි කියනු නිසැකය. තවත් කණ්ඩායමක පිළිතුර වනු ඇත්තේ කුමාර් සංගක්කාරය. එවැනි කණ්ඩායම් ද්විත්වයට අයත් නොවන පිරිස් ඒ සනත් ජයසූරිය හෝ මහේල ජයවර්ධන යැයි කියනු නිසැකය. එ් නම් නොකියන ක්‍රීඩා ලෝලීන් මාවන් අතපත්තු, තිලාන් සමරවීර, අර්ජුන රණතුංග, දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, සිදත් - සුනිල් වෙත්තමුණි, බ්‍රෙන්ඩන් කුරුප්පු වගේ නම් කියනු ඇත. එය එතරම් සංකීර්ණ ප්‍රශ්නයක් වීම පිළිතුර මේ ආකාරයෙන් විචලනය වීමට හේතුවන්නේය. ඒ හේතුවෙන් මෙම ප්‍රශ්නය අප මේ ආකාරයෙන් වෙනස් කර විමසුවහොත් ඔබට පිළිතුරු දෙන්නට හැකිදැයි විමසන්නට කැමතිය. එනම් පෙර කියැවෙන නම්වලට අමතර අතීත ශ්‍රී ලංකාවේ වෙනත් සුපිරි පිතිකරුවකු මෙරට පහළව නැද්ද යන්නය. එවිට ඔබ නිහඬවන බවත් කල්පනා ලෝකය තුළ කිමිදෙනු ඇතිබවත් අපි දනිමු. එක් ටෙස්ට් ක්‍රීඩා නොකෙරූ නූතන ක්‍රිකට් මිණුම් දඬු වලින් මැනීමට ලක් නොවූ, අපි කිසිවෙක් නොඇසූ නොදැක ඇති සුපිරි ක්‍රීඩකයෝ මේ පුංචි ශ්‍රී ලංකාවේ කොතරම් ඉන්න ඇද්ද?

මේ අය අතරින් ශ්‍රී ලංකාව බිහිකළ හොඳම පිතිකරු වශයෙන් අවිවාදයෙන් නම් කළ හැකි ක්‍රීඩකයෙක් ගැන අපි මෙම ලිපියෙන් හෙළිදරව් කරන්නෙමු. එම ක්‍රීඩකයා හඳුනාගැනීමට පහසුවන ආකාරයේ ප්‍රවිෂ්ටයක් ලෙස අපි ඔබට බොරැල්ල වනාතමුල්ලේ පිහිටා ඇති පී. සරා ඕවල් පිටියේ ක්‍රීඩාගාරයේ ප්‍රදර්ශනය කර ඇති ඡායාරූපයක් ගැන සිහිපත් කරන්නෙමු. ඒ ඡායාරූපයේ දැක්වෙන් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමඟ කාසියේ වාසිය උරගා බලන කඩවසම් ක්‍රීඩකයකුගේ ඡායාරූපයකි.

දකුණු ආසියානු කලාපයේ රටක ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් එම කලාපයට පැමිණි එකම එක අවස්ථාවේ, පැවති තරගයකට පෙර මෙම ඡායාරූපය ගෙන තිබිණි. ඒ 1948 වසරේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිලෝන් සංචාරයේදි ප්‍රතිවාදී සිලෝන් පිලේ නායකයා සමග ගනු ලැබූවකි. ඒ නායකයා එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම පිතිකරු වශයෙන් පිළිගන්නා අතර මේ ඔහු පිළිබඳ කතාවය.

ජාති, ආගම් ඇතුළු පළාත් කුලකයන්ගෙන් බෙදුණු මානව සමාජයට අනුව නම් ඔහු දෙමළෙකි. නමින් මහදේවන් සතාසිවම්ය. නමුත් නියෝජනය කළේ සිලෝන්ය. එනම් වර්තමාන ශ්‍රී ලංකාවය.

එම යුගයේ බොහෝදෙනෙක් සතාසිවම් හැඳින් වූ ආදරණීය නමක් තිබුණේය. ඒ නම "සතා" යන්නය. එහෙයින් මෙම ලිපිය පුරා අපද ඔහුගේ අන්වර්ථ නාමය වන ‘සතා’ යන්න මින් අනතුරුව යොදාගනු ඇත. එහෙත් එය භාවිත කරන්නේ ඔහුට ගෞරවාර්ථයෙන් මිස කිසිදු අගෞරවයක් කිරීමේ චේතනාවෙන් නොවන බවද පැවසිය යුතුය.

ඔබ සතා ගැන වැඩිවශයෙන් අසා ඇත්තේ වංගෙඩි, මෝල්ගස් සිදුකළ පුද්ගල ඝාතනයකට සම්බන්ධව මිස අන් ආකාරයකින් නොවනු නිසැකය. එහෙයින් අපරාධ නඩුවක සැකකරුවූ සතා වෙනුවට ඔහුගේ සැඟවුණු ජීවිතය වන විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා ගැන මෙම ලිපියෙන් කතාකරන බවද පැවසිය යුතුමය.

මහදේවන් සතාසිවම් යනු පස් මහ බැලුම් නොබලා උපත ලැබූවෙක්යැයි කිවහොත් වඩා නිවැරදිය. අප එසේ කියන්නේ ඔහු ඉපැදුණේ වැරදි කාල වකවානුවක යැයි දැන් අපට හැඟෙන හෙයිනි. අප එසේ කියන්නේ එකල සිලෝන් රටෙන් ජාත්‍යන්තරයේ නම කියැවුණු එකම ක්‍රිකට් ක්‍රීඩකයාද අපේ සතා වීමය.

මහදේවන් සතාසිවම්ගේ උපත දැක්වෙන්නේ 1915 වසරේ ඔක්තෝබර් 18 වැනිදාය. සුද්දන්ගේ පාලනය යටතේ "සිලෝන්" දිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය වීම ඇරඹුණු කාලයේ මේ අනුව සතා උපත ලැබීය.

පාසල් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹීම

සතාගේ මුල්ම පාසල මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයය. පසුකාලීනව ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ඉවත්ව බොරැල්ල වෙස්ලි විද්‍යාලයට ඇතුළත් වුණු ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉතා ඉහළ දක්ෂතා දක්වමින් සිටියේය.

මේ හේතුවෙන් ඔහු පාසලේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නේ වයස අවුරුදු 15දී යැයි කිවහොත් වඩාත් නිවැරදිය. මෙසමයේ දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් නියෝජනය කළ පන්දු යවන්නෝ සියල්ලන්ම මේ සුපිරි දකුණත් පිතිකරුවකු වූ සතාගේ පිත්තෙන් බැට කා තිබීම ඔහුගේ විශිෂ්ටත්වය කියාපාන අවස්ථාවකි.

පන්දු යවන්නන්ට එළව එළවා පහරදුන් ඉනිම් බොහොමයක් අතරේ තමන්ගේ අවසාන පාසල් ක්‍රිකට් වාරය වූ 1936 වසරේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව සතා ක්‍රීඩා කළ ලකුණු 145ක අති විශිෂ්ට ඉනිම සැලකෙනුයේ සුවිශේෂී එකක් ලෙසය. එය පාසල් ක්‍රිකට් වාර්තා පොත්වල ලියැවී ඇති ඉනිමකි.

මීට අමතරව සතා කියන්නේ අවස්ථානුකූලව පන්දු යැවීමටත් ඔහු කටයුතු කර තිබිණි. ප්‍රතිවාදී පිතිකරුවන්ගේ සබඳතා බිඳ දැමීමට අසීරු අවස්ථාවලදී පන්දු යවා සාර්ථක ප්‍රතිඵල ලබාගත් පන්දුයවන්නකු ලෙසද ඔහුව සැලකිය හැකිය. ඒ අනුව ඔහු ක්‍රීඩා කළ යුගයේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේද සතාමය. ඔහුගේ මෙම අපූරු දක්ෂතා, විශිෂ්ටතා සිලෝන් කණ්ඩායමට එක්වීමට හිනිමගක් වූයේයැයි කිවහැක්කේය.

සිලෝන් ක්‍රිකට් කණ්ඩායම හා සතාසිවම්

රටේ අවාසනාවකට සතාසිවම් කණ්ඩායමට ඇතුළත්වුණු 1945 වසර වද්දී අපේ රටට ටෙස්ට් වරම් හිමිව තිබුණේ නැත. රට තුළ පළමු පෙළ මට්ටමේ ක්‍රිකට් තරගාවලි පැවැත්වුණේද සීමිතවය. සංවිධානාත්මක ලෙස ක්‍රීඩා සමාජ තරග පමණක් පැවතුණේය.

අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ලෝකයේ වෙනත් රටක කණ්ඩායමක් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරන්න ලැබුණේ කොළඹ වරායට ගොඩබසින නැව්වල පැමිණෙන කණ්ඩායම් නිසාය. එම කණ්ඩායම් ඉන්දියාවට යන අතර කොළඹ වරායේ ජැටියට ආවෝය. එහෙත් ඔවුන් එලෙස පැමිණි පසු සිලෝන් ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කළේ එක් තරගයක් පමණකි. පුංචි දූපතක් වුණු සිලෝන් රාජ්‍යයට ලැබුණු කුඩම්මාගේ සැලකිල්ල එය විය. යම් ආකාරයකින් අපේ සිලෝන් කණ්ඩායමට පළමු පෙළ මට්ටමෙන් ක්‍රීඩා කරන්න අවශ්‍ය නම් ඉන්දියාවේ සංචාරය කළ යුතු විණි.

ඉන්දියාවට යැයි කීවාට එවකට අප වැඩි වශයෙන් ගියේ දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරටය. ඒ බව අවබෝධ වන්නේ සතා ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ඔහු ක්‍රීඩා කර තිබුණේ පළමු පෙළ තරග 11කට පමණක් වීමය. එම පළමු පෙළ තරග 11ක ඉනිම් 18කදී ලකුණු 753ක් ලබාගත් සතාගේ ඉනිමක සාමාන්‍ය වශයෙන් සටහන්ව ඇත්තේ ලකුණු 41.83කි. මේ ඉනිම් 18 තුළදී ශතක 3ක් හා අර්ධ ශතක 3ක් ලබාගන්නත් ඔහු සමත්ව තිබේ.

ක්‍රීඩා සමාජ තරගවලදී ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කළ සතා දැක්වූ දක්ෂතා එතරම් පහසුවෙන් ලබාගත නොහැකි ඒවා යැයි සැලකෙයි. ඔහු එම තරගවලදී ශතක 44ක් හා ද්විත්ව 4ක් රැස්කර ඇති අතර ලකුණු 150 ඉක්මවන ඉනිම් 12ක් ඒ අතරට එක්කරගෙන ඇත.

නිරන්තරයෙන්ම ක්‍රිකට් පිටියේදී විශිෂ්ට දක්ෂතා දැක්වීම නිසා සතාට ලෝඩ්ස් පිටියේ හිමිකාරීත්වය දරන Marleybourne ක්‍රීඩා සමාජයේ ගෞරව සාමාජිකත්වය පවා හිමිව තිබේ. සතාගේ ක්‍රිකට් ක්‍රීඩාව රසවිඳින්නට විශාල රසිකයන් පිරිසක් එකල පිටියට එක්රොක්වීමද අමතක කළ නොහැකිය. ඒ සෑම දෙයක්ම කියන්නේ සතා යනු සුපිරි තරුවක් බවය. අවාසනාවට ඔහුගේ එම ක්‍රීඩා රටාව වීඩියෝ ගත කරන්නට තාක්ෂණයක් එකල මෙරට තුළ තිබුණේ නැත.

මතකයේ රැඳෙන සුවිශේෂී ඉනිම් 3ක්

1945 වසරේදී ඉන්දියාවට එරෙහිව රැස්කළ ලකුණු 111

සතා මුල්වරට සිලෝන් පිල නියෝජනය කළ වසර 1945 ලෙස දැක්විය හැකිය. ඒ ඉන්දියාවට එරෙහිවය. මේ තරගයේදී ඉන්දියානු කණ්ඩායමට නායකත්වය දුන්නේ විජේ මර්චන්ට් විසිනි.

තම මංගල තරගයේදීම ප්‍රබල ඉන්දීය පන්දු යවන්නන් වූ අමරනාත්, බැනර්ජි, සී.කේ. නායිදු, විජේ හසාරේ, මෝදි වැනි ක්‍රීඩකයන්ට හිතේ හැටියට පහර එල්ළ කළ සතා ශතකයක් වාර්තා කරමින් ප්‍රේක්ෂකයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර විණි. තරගය අවසානයේ ඉන්දීය නායක විජේ මර්චන්ට් සිලෝන් කණ්ඩායමට වෙන්ව තිබූ ක්‍රීඩක කාමරයට පැමිණියේ සතාගේ මෙම ඉනිමට සුබ පතන්නය. ඔහු එහිදී සතාට සමරු සටහනක් දෙන්නට අමතක නොකළේය. ඒ සමරු සටහන වූයේ එම තරගයටම භාවිත කළ කඩුල්ලකි. ඔහු සතාගේ සටන්කාමී ඉනිම අගය කරන බව එහිදී පැවසීම සතා යනු කවුරුන්ද යන්න අවබෝධ කරගැනීමට හැකිය.

1947 චෙන්නායි චෙපොක් ක්‍රීඩාංගණයේදී දකුණු ඉන්දියාවට එරෙහිව රැස්කළ ලකුණු 215

"විස්මය දනවනසුළු මනස්කාන්ත හීන්දෑරි පිතිකරුවෙක් පන්දුවට පහරදීමට පිටියට පිවිසුණා. ඔහු කැප් තොප්පිය පැළඳගෙන සිටියේ අමුතුම කෝණයකින්. ඒ වගේම ඔහුගේ කර වටා සුදු ලේන්සුවක්ද ගැටගසා තිබුණා"

1947 වසරේදි චෙපොක් ක්‍රීඩාංගණයේදි පැවති දකුණු ඉන්දියාව හා සිලෝන් කණ්ඩායම අතර තරගයකදී පිතිකරණය වෙනුවෙන් පිටියට පිවිසි සතා ගැන එදා 'මැඩ්‍රාස් මිරර්' පුවත්පත් වාර්තාකරු ශ්‍රී රාම් වීරා හඳුන්වා තිබුණේ එලෙසිනි. 1947 වර්ෂය වනතුරු චෙපොක් ක්‍රීඩාංගණයේදි පිතිකරුවෙක් ලබාගත් උපරිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන්ව තිබුණේ ලකුණු 213කි. එය පිහිටුවා තිබුණේ 1938/39 කාල වකවානුවේදීය. ජෝ හාර්ඩ්ස්ටාෆ් නමැති පිතිකරුවා නමට ලියවී තිබූ අතර එය බිඳ දැමුවේ සිලෝන් හි සතාය.

තරගයේ පළමු දිනය ආරම්භ වීමට පෙර සිලෝන් කණ්ඩායමේ කළමනාකරු සතාට පොරොන්දුවක් ලබාදෙන්නේ එම තරගයේදී ශතකයක් රැස්කළහොත් නිසැකවම ත්‍යාග වශයෙන් විස්කි බෝතලයක් තිළිණ කරන බව පවසමිනි.

ඒ අනුව තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිලෝන් කණ්ඩායම පළමු දිනයේ දිවා ආහාරය වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 119ක්ද, තේ පානය වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 263ක්ද, පළමු දිනය අවසාන වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 369ක්ද ලබාගත් අතර පළමු දිනය අවසානයේ සතාසිවම් නොදැවී ලකුණු 120ක් ලබා සිටියේය. කළමනාකරු පොරොන්දු වූ අයුරින්ම සතාට විස්කි බෝතලයක් ලබාදුන්නේය. එසේ ලබාදෙන අතර ඔහු හමුවේ තවත් පොරොන්දුවක් ලබාදෙන්නට අමතක නොකළේය. ඒ එම තරගයේදී සතා ද්විත්ව ශතකය රැස්කළහොත් ඉන්දියාවේ බොම්බේ නගරයේ සතියක නිවාඩුවක් සහිතව ගතකිරීමට අවස්ථාව සලසා දෙන බවය.

පළමු දිනය අවසාන වීමෙන් පසු මුළු රාත්‍රිය පුරාම බීමත්ව විනෝද වූ අපේ කතානායක සතාසිවම් ඊළඟ දිනයේදි සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණය දියත් කරමින් තම ද්විත්ව ශතකය වාර්තා කළේය.

තරගයේ දෙවැනි දිනයේ උදෑසන සිලෝන් කණ්ඩායම ඉනිම කඩුලු 7කට ලකුණු 521ක් ලෙස ලබාගනිමින් අත්හිටුවන්නේය.

සිලෝන් කණ්ඩායම ලකුණු 100 ලබාගන්නා විට ඒ සඳහා වැයවූ මිනිත්තු ගණන 105ක් ලෙසද, ලකුණු 300 ලබාගන්නා විට වැයවූ මිනිත්තු ගණන 281ක් ලෙසද, ලකුණු 400 ලබාගන්නා විට වැයවූ මිනිත්තු ගණන 315ක්ද, ලකුණු 500 ලබාගන්නා විට වැයවූ මිනිත්තු ගණන 381ක් වශයෙන්ද සටහන්ව ඇත. සිලෝන් කණ්ඩායමේ තුන්වන කඩුල්ල දැවී යාමෙන් පසු පිටියට පිවිසි සතා ලකුණු 215ක් ලබාගැනීම සඳහා වැයකරන්නේ මිනිත්තු 248ක් පමණි. සිලොන් කණ්ඩායමේ කළමනාකරු පොරොන්දු වූ පරිදිම ලබාගත් ද්විත්ව ශතකය නිසා සතාසිවම්ට බොම්බේ නුවර සතියක නිවාඩුවක් ගතකිරීමටද අවස්ථාව හිමිකර දුන්නේය.

මේ අයුරින් මිනිත්තු 248ක කාලයක් පමණක් වැය කරමින් ඔහු රැස්කළ ලකුණු 215ක ඉනිම දශක ගණනාවක් ගතවී ගියද අද වනතුරුම චෙපොක් ක්‍රීඩාංගනයේ පිතිකරුවකු දියත් කළ හොඳම ඉනිම වශයෙන් එය සටහන්ව තිබේ. සචින්, ඩ්‍රාවිඩ්, කෝලි මෙන්ම ඊට පෙර ඉන්දියාව බිහිකළ ගවස්කාර්ලා හෝ වෙනත් සුපිරි පිතිකරුවකුට එම වාර්තාව අදටත් බිඳ හෙළීමට හැකියාව උදානොවීම සතාගේ තරම තේරුම් ගැනීමට කදිම නිදසුනකි. සතා එම ද්විත්ව ශතකය රැස් කරද්දී එවකට ඉන්දියාව සතුවූ එම්.ජේ. ගෝපාලන්, සී. ආර්. රංගචාරි,රාම් සිං වැනි ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල දකුණු ඉන්දීය පන්දු යවන්නෝ අන්ත අසරණ කළ බවද සඳහන්ය.

කොටින්ම කියන්නේනම් 1947 වසරෙන් වසර 30 කට පසුව 1977 වසරේදි සතා මිය ගියපු අවස්ථාවේදි පවා 'මැඩ්‍රාස් මේල්' නම් ඉන්දීය පුවත්පත ඔහුගේ මරණ දැන්වීම නිවේදනය කළේ,

"චෙපොක් ක්‍රීඩාංගන ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ඉනිම වාර්තා කළ විරුවා තවදුරටත් අප අතරේ නොමැත" යනුවෙනි. එමෙන්ම 'ද හින්දු' පුවත්පත ඔහුගේ ඉනිම සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ මෙසේය. ‘ඔහුගේ ඉනිම සැතපුම් ගණනාවක් පහු කරලා ගිහින් උනත් බලන්න වටින තරමේ ඉනිමක්’යනුවෙනි.

සතාගේ ලේට් කට් පහර, ලෙග් ග්ලාන්ස් පහර, මනරම් පාද චලනයන් ඔහු විශිෂ්‍ට ක්‍රීඩකයෙක් බව ලොවටම ඔප්පු කළ බවද 'ද හින්දු' පුවත්පතේ ඒ යුගයේ ලියැවී තිබිණි. චෙපොක් ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරමින් ප්‍රේක්ෂකයින් පිනවූ අති දැවැන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් වුණු ජැක් හොබ්ස්, චාලි මැකාට්නි,ජෝ හාර්ඩ්ස්ටාෆ්, සී.කේ. නායිදු, ඩෙනිස් කොම්ටන්,ලින්ඩ්සේ හැසට්, ගාෆීල්ඩ් සෝබර්ස්,විජේ හසාරේ වගේ ක්‍රීඩකයන්ටත් වඩා සිලෝන් වල සතාසිවම් සහ ඔහුගේ පිතිකරණය විශිෂ්ට ගණයේ බව එකල විස්තර විචාරකයන්ගේ අදහස ව තිබුණේය.

සිලෝන් කණ්ඩායමේ සතාසිවම් යනු,

"ඉන්දියානු ක්‍රීඩක සී.කේ. නායිදුගේ ප්‍රහාරාත්මක පිතිකරණ විලාශයේත්, කොදෙව් ක්‍රීඩක එවර්ටන් වීක්ස්ගේ පාද චලනයේත්, ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ලින්ඩ්සේ හැසට්ගේ නිහතමානී හැසිරීමේත්, කොදෙව් ක්‍රීඩක ගාෆීල්ඩ් සෝබස්ගේ ඩ්‍රයිව් පහර එල්ලකිරීමේ හැකියාවේත්" එකතුවක් බව එකල ඉන්දියානු පුවත්පත් වල සටහන් විය.

එමෙන්ම මේ තරගයේදි සතාට පන්දු යැවූ ඉන්දියානු පිලේ සුප්‍රසිද්ධ පිට දඟ පන්දුයවන්නෙක් මෙන්ම ඉන්දියානු කණ්ඩායමට නායකත්වය පවා ලබාදුන් ගුලාම් අහ්මඩ් වරක් ප්‍රකාශ කළේ තමාගේ ක්‍රිකට් දිවිය තුළ පන්දු යවා දවාගැනීමට අසීරුම පිතිකරුවා සිලෝන් කණ්ඩායමේ සතාසිවම් බවයි. එකල පිතිකරණයේ පතාක යෝධයන් ලෙස හැඳින්වූ ඩොන් බ්‍රැඩ්මන්,ලේන් හට්න්,ඩෙනිස් කොම්ටන්,කීත් මිලර්,එවර්ටන් වීක්ස්, ෆ්‍රෑන්ක් වොරල් වැන්නන්ට පන්දු යවා ඇති ගුලාම් සඳහන් කරන්නේ සතාසිවම් ඔහුට චෙන්නායි හීදී බැට දුන් ආකාරය කිසිදා අමතක නොවන බවය.

සතාසිතවම් ගැන කතාවේ ඉතිරි කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න.

[හේලිත හෙට්ටිආරච්චි]

මාතෘකා