චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය : කුර්ෂිඩ්ගේ විස්මිත ගෝලයෙන් සෝන්ඩර්ස්ට ජය බ්ලූ ස්ටාර් දෙවැනි පරාජයත් ලබයි

 ඡායාරූපය:

චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය : කුර්ෂිඩ්ගේ විස්මිත ගෝලයෙන් සෝන්ඩර්ස්ට ජය බ්ලූ ස්ටාර් දෙවැනි පරාජයත් ලබයි

තරගය අවසන් වීමට මිනිත්තු 6ක් තිබියදී මොහොමඩ් කුර්ෂිඩ් වාර්තා කළ විස්මිත ගෝලය නිසා බ්ලූ ස්ටාර් කණ්ඩායමට සුපුරුදු කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදීම ඔවුන් පරාජය කරමින් ගෝල 2-1ක ජයක් වාර්තා කිරීමට සෝන්ඩර්ස් කණ්ඩායම සෙනසුරාදා (26) සමත් විය.

තවමත් පාසල් සිසුවෙක් වන කුර්ෂිඩ් කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ 17 හැවිරිදි ක්‍රීඩකයෙකි.

මෙවර චැම්පියන්ස් ලීග් තරගාවලියේ 13 වැනි අදියරේ තරගයක් ලෙස පැවැති සෝන්ඩර්ස් සහ බ්ලූ ස්ටාර් තරගය ආරම්භ කිරීමට ප්‍රථම බ්ලූ ස්ටාර් කණ්ඩායම පරාජයට පත්ව සිටියේ එක් තරගයක් පමණි. එසේම සත්කාරකත්වයේ වාසියද සමගිණ් බ්ලූ ස්ටාර් කණ්ඩායම තරගයට අවතීර්ණ විය.

කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමු අර්ධයේදී ගෝල ලබා ගැනීමට තිබූ ඉතා පහසු අවස්ථා කිහිපයක් කණ්ඩායම් දෙකම මගහරවා ගත් බැවින් විවේක කාලය සඳහා තරගය නතර කරන විට එක් කණ්ඩායමක් හෝ ගෝල වාර්තා කර ගැනීමට සමත්ව සිටියේ නැත. එහෙත් තරගයේ 75වැනි මිනිත්තුවේ දී සෝන්ඩර්ස් නායක ක්‍රිෂාන්ත අබේසේකර සිය පිලට පළමු ගෝලය ලබා දුන්නේ තම සත්කාරකත්වයෙන් පිටත තරගයක පළමු ජය සෝන්ඩර්ස් පිලට ලබාදීම සඳහාය. එහෙත් අනතුරව ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ බ්ලූ ස්ටාර් ක්‍රීඩකයෝ ඊට මිනිත්තු පහකට පසුව ගෝලයක් ලබා ගනිමින් ගෝල 1-1ක් ලෙස තරගය සම කිරීමට සමත් වූහ.

 

එහෙත් තරගය පුරාම ඉතා දක්ෂ පන්දු පාලනයක නිරතවී සිටි ළබාල මොහොමඩ් කුර්ෂිඩ් බ්ලූ ස්ටාර් දැල් රකින්නා මදක් ඉදිරියට පැමිණ සිටි අවස්ථාවක මීටර් 35ක් පමණ දුර සිට එල්ල කළ පහර නිවැරදිව ගෝලයේ හරස් දණ්ඩ අසලින්ම දැල තුළට යොමු කිරීමට සමත් විය. ඒ සමගම මෙවර තරගාවලියේ තෙවැනි ජයද වාර්තා කිරීමට සෝන්ඩර්ස් කණ්ඩායමට හැකි විය. (ඡායා- ද පපරේ අනුග්‍රහයෙනි)

 

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි