කුඩා පිටියක පිතිකරු සැණකෙළියක් වන නවසීලන්ත සංචාරයේ විස්සයි විස්ස තරගය අද

 ඡායාරූපය:

කුඩා පිටියක පිතිකරු සැණකෙළියක් වන නවසීලන්ත සංචාරයේ විස්සයි විස්ස තරගය අද

නවසීලන්තයේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් තරගය ලෙස පන්දුවාර විස්සයි විස්ස තරගය අද ඕක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් පිටියේදී පැවැත්වෙයි. ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ සහභාගිවන මෙම තරගයෙන් කෙසේ හෝ ජය ගනිමින් ජයග්‍රාහී රිද්මය සොයාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම උත්සහ ගනු ඇත. ටිම් සවුතීගේ නායකත්වය යටතේ නවසීලන්ත කණ්ඩායම තරගයට සහභාගිවීමට නියමිතය. නිත්‍ය නායක කේන් විලියම්සන් ජයග්‍රාහී තරග කීපයකින් පසුව මෙම පන්දුවාර විස්සයි විස්ස තරගයට සහභාගි නොවන අතර නව නායකයෙකු යටතේ ඔවුන් ඒ වෙනුවෙන් තරග වැද සිටී.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පාර්ශ්වයෙන් බලන කල අවසන් වරට ඔවුන් සහභාගිවූ පන්දුවාර විස්සයි විස්ස තරග 16 න් 12 ක් පරාජය ලබා තිබේ. ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සහභාගිවීමට අවසර නොලැබීම හේතුවෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ඇත්තේ අසීරු අඩියකය. එහෙත් නවසීලන්ත කණ්ඩායමද මෙම තරගය ලෙහෙසියෙන් අත්නොහරින බව පිළිගත යුතුව ඇත්තේ අවසන් වුණු එක්දින තරග තුනේදී ඔවුන් ලකුණු තුන්සියයේ සීමාව ඉක්මවා යාමට සමත්වූ හෙයිනි. අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක තරග නොවදිනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ ඔහුගේ සිරුරේ පසුකොට ආශ්‍රිතව හටගෙන ඇති ආබාධිත තත්ත්වයක් හේතුවෙනෙි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැවරෙනු ඇත්තේ කුසල් ජනිත් පෙරේරා හටය. නිරෝෂන් දික්වැල්ල සමඟ තරගය ආරම්භ කිරීමට කුසල් ජනිත් කටයුතු කරනු ඇත. තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් සලකද්දී එය පන්දුයවන්නන්ගේ පාර්ශ්වයෙන් අභියෝගයක් වනු ඇත්තේ හතරේ සීමාව ළඟින් පිහිටා ඇති හෙයිනි. අද තරගයේදී පිතිකරුවන්ගෙන් වැඩිවශයෙන් හයේ පහරවල් එල්ල වනු ඇතැයි විශ්වාස කළ හැකිය. එය කුසල් ජනිත් පෙරේරා වැනි පිිතිකරුවන්ගේ පාර්ශ්වයෙන් වැදගත් වනු ඇත. මේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පවසන්නේ මෙවැනි ක්‍රීඩාංගණයක බුද්ධිමත්ව තරග කළ යුතු බවයි.

‘යෝකර් පන්දුව කොතනත් යෝකර් පන්දුවමයි. ඒකෙ වෙනසක් නැහැ. මම හිතනවා බුද්ධිමත්ව පන්දුයැව්වොත් තරගය හොඳින් පාලනය කළ හැකියි

‘සමහර අවස්ථාවලදී පන්දුයවන්නෝ අසීරුතාවලට පත්වෙනවා. අපි පන්දු ආක්‍රමණය කරද්දී විවිධතා තිබිය යුතුයි. ඒවගේම ඔවුන් තමන්ගේ පන්දුවාරයක් සැකසෙන්න අවශ්‍ය වන්නේ කොහොමද කියන එක දැනසිටිය යුතුයි. හැම පන්දුවකින්ම කඩුලු ගන්න බැහැ. පිතිකරුවෝ පොළඹවලා කඩුලු ගැනීමයි මෙතැනදී අපේක්ෂා කරන්නෙ. පන්දුයවන්නෝ සතුව දක්ෂතා තිබෙනවා. නමුත් ඔවුන් ඒවා පන්දුයැවීමේදී පහසු ලෙස භාවිත කරන්නේ නෑ. පුහුණු අවස්ථාවලදී ඔවුන් ඉතා හොඳයි. නමුත් තරග වදිද්දී ඔවුන්ගේ විශ්වාසය පහළ යනවා. ඔවුන්ගේ එම තත්ත්වය වෙනස් කරගන්න උපකාර කරන්න මම අපේක්ෂා කරනවා. ඔවුන්ට බොහෝදේ උගත යුතු වෙනවා’ යැයි ද පවසයි.

මේ අතර දෙපිලම අවසන් වරට පැවැති පන්දුවාර විස්සයි විස්ස තරග තුනම පරායට පත්වී ඇත. නවසීලන්තය අවසන් තරග පහම පරාජයවී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරග පහෙන් දෙවැනි තරගය පමණක් ජයගෙන තිබේ. ඒ අනුව අද පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගය දෙපිලටම තමන්ගේ රිද්මය රැකගැනීම සඳහා ලැබෙන ප්‍රබල අභියෝගයක් වනු නිසැකය. තරග වදිනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම් මෙසේයි.

නවසීලන්ත කණ්ඩායම - කොලින් මුන්රෝ, මාටින් ගප්ටිල්, ග්ලෙන් පිලිප්ස්, රොස් ටේලර්, හෙන්රි නිකොලොස්, ටිම් ෂෙයිෆර්ට්, මිචෙල් සැන්ට්නර්, ටිම් සවුතී(නායක), ඩග් බ්‍රාස්වෙල්, ඉෂ් සෝදි, ලුකී ෆර්ගියුසන්.

ශ්‍රී ලංකා කණ්ඩායම - නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න, ලසිත් මාලිංග, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත.

මාතෘකා

ජනප්‍රිය ලිපි