පළමු පෙළ අන්තර් සමාජ රග්බි තරගාවලිය

 ඡායාරූපය:

පළමු පෙළ අන්තර් සමාජ රග්බි තරගාවලිය

සති අන්තයේ තියුණු තරග දෙකක්

මෙවර ලීග් රග්බි තරගාවලියේ තරග 4 බැගින් ජය ගෙන ලකුණු 27 බැගින් ලබා ගනිමින් තෙවැනි සහ සිව්වෙනි ස්ථානවල පසුවන සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම් හෙට (12) තුරඟ තරග පිටියේදී තරග වැදීමෙන් මෙම සති අන්තයේ රග්බි තරග ඇරඹීමට නියමිතය.

තරගාවලිය ආරම්භයේදී තරමක පසු බෑමක් පෙන්නුම් කළ සී.එච්. කණ්ඩායම අවසන් සති කිහිපයේ පැවැති තරගවලදී දක්ෂතා දක්වමින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටින අතර සී.ආර්. කණ්ඩායමද තම ස්ථානය රැක ගනිමින් ඔවුන්ට ඉදිරියෙන් සිටින හැව්ලොක් සහ මහනුවර කණ්ඩායම්වලට අභියෝගයක් එල්ල කිරීමට මෙම සති අන්තයේදී අර අදිනු නොඅනුමානය. මෙම දෙපිල අතර පළමු වටයේ තරගයේදී සී.ආර්. පිල ලකුණු 24-23ක තියුණු ජයක් ලැබීය.

එසේම වැලිසරදී ඉරිදා නාවික හමුදාව සහ හැව්ලොක් අතර ඉතා තියුණු තරගයක් දැක බලා ගත හැකිවනු ඇතැයි රග්බි ලෝලීන් බලාපොරොත්තුවේ. කණ්ඩායම් දෙකම පළමු වටයේදී අපරාජිත මහනුවර කණ්ඩායමට ඉතා හොඳ අභියෝගයක් එල්ල කළ අතර මෙම කණ්ඩායම් දෙක අතර පළමු වටයේ පැවැති තරගයෙන් හැව්ලොක් කණ්ඩායම ලකුණු 22-18 ක ජයක් ලබා ගැනීමට සමත් විණි.

---------------------------

ජනවාරි 12 වැනිදා

සී.එච්. ඇන්ඩ් එෆ්.සී සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. - කොළඹ තුරඟ තරග පිටියේදී,

ගුවන් හමුදා සහ පොලිස් - රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී

මහනුවර සහ යුද හමුදා - නිත්තවෙලදී,

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි