ජාතික ඔලිම්පික් කමිටුව සමඟ ක්‍රීඩා ඇමැති සාකච්ඡාවකට සූදානමින්

ජාතික ඔලිම්පික් කමිටුව සමඟ ක්‍රීඩා ඇමැති සාකච්ඡාවකට සූදානමින්

නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් අතර ඉදිරි දින කීපයතුළ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. ක්‍රීඩාවේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කිරීමට අපේක්ෂිත බව සඳහන්ය.

පසුගිය කාලවකවානුවේ ඔලිම්පික් කමිටු බලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර විරසකයක් නිර්මාණය කිරීමට ඇතැම් ක්‍රීඩා සංගම් බලධාරීන් කටයුතු කරතිබිණි. එම තත්ත්වය උද්ගතව තිබුණේ ඔලිම්පික් නිලවරණය පැවැත්වීමට ප්‍රථමවය. කෙසේ නමුත් නව ඔලිම්පික් කමිටු සභාපතිවරයාගේ ආගමනයත් සමඟ ඔලිම්පික් කමිටුවට එරෙහිව ගොඩනැගී තිබූ විරෝධතා සමහන් වූබවක් පෙනෙන්ට පවතින නමුත් එහි පරිපාලනය සම්බන්ධයෙන් එකඟත්වය පළනොකරන පාර්ශ්ව විසින් නව ක්‍රීඩා අමාත්‍යවරයාට විවිධ යෝජනා මේවනවිට ඉදිරිපත් කර ඇතැයි වාර්තාවෙයි. ඒ අනුව මෙම සාකච්ඡාව කඩිනමින් පැවැත්වීම සඳහා අමාත්‍යවරයා සැලසුම්කර ඇතැයි දැනගන්නට ඇත.

විශේෂයෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය මෙන්ම මෙම වසර තුළ පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකිරීමට නියමිතය. ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා ඇතුළු පිරිසක් මෙහිදී ක්‍රීඩා අමාත්‍යරවයා මුණගැසීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පාලස සමයේ ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර විරසකයක් නිර්මාණයවුණු අතර අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් මෙරට ඔලිම්පික් කමිටුවට බලපෑම් නොකරන ලෙසට ක්‍රීඩා අමාත්‍යංශයට දැනුම්දීම සිදුකෙරිණි. එම විරසකය සමහන් වූයේ දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුවය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි