ශ්‍රී ලංකා ලීග් රග්බි කිරුළ සොයායන ගමනේ සංක්ෂිප්ත ඉතිහාසයෙන්

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ලීග් රග්බි කිරුළ සොයායන ගමනේ සංක්ෂිප්ත ඉතිහාසයෙන්

පසුගිය සති අන්තයේ යුද හමුදා කණ්ඩායම සහ හැව්ලොක් කණ්ඩායම අතර පැවැති තරගයෙන් 2018-19 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටය ඇරඹිණි. පළමු වටය අවසන් වනවිට ඉදිරියෙන් සිටීමට සමත් වූයේ ප්‍රබල මහනුවර කණ්ඩායමයි. හැව්ලොක් කණ්ඩායම දෙවැනි ස්ථානයේද, සිලෝනිස් රග්බි සහ පාපන්දු සමාජය (සී.ආර්. ඇන්ඩ් එෆ්.සී.) තෙවැනි ස්ථානයේද පසුවේ.

වර්තමානයේදී සෑම වසරකම අවසන් කාලයේ ආරම්භවන තරගාවලිය ඊළඟ වසරේ පළමු මාස දෙක තුළදී අවසන් වේ. කණ්ඩායම් 8 ක් තරගාවලියට එක්ව සිටින අතර සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් 7 සමග තරග 2කට මුහුණදිය යුතුය. ඒ අනුව එක් කණ්ඩායමක් තරග 14කට ක්‍රීඩා කරයි. සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදීන් සමග තම ක්‍රීඩාංගණයේදී මෙන්ම ප්‍රතිවාදීන්ගේ ක්‍රීඩාංගණයේදීද එක් තරගයකට සහභාගී වේ.

මෙරට පැවැත්වෙන ලීග් රග්බි තරගාවලිය පළමු වරට ආරම්භවූයේ 1950වසරේදීය. තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් එක් විය. මහනුවර ක්‍රීඩා සමාජය, දිඹුල මලල ක්‍රීඩා සහ ක්‍රිකට් සමාජය, දික්ඔය-මස්කෙළිය ක්‍රිකට් සමාජය, ඌව ජිම්කානා ක්‍රීඩා සමාජය, කැළණිවැලි ක්‍රීඩා සමාජය, හැව්ලොක් ක්‍රීඩා සමාජය, සිලෝනීස් රග්බි සහ පාපන්දු සමාජය සහ කොළඹ හොකී සහ පාපන්දු සමාජය එම කණ්ඩායම් 8යි.

පළමු තරගාවලියේ ශූරතාව හිමිවූයේ ඉයන් ලැබ්බ්‍රෝයිගේ නායකත්වයෙන් තරග වැදුණු හැව්ලොක් කණ්ඩායමයි. අවසන් තරගයේදී ඔවුන් අතින් ලකුණු 13-0 ක් ලෙස පරාජය වූයේ දිඹුල මලල ක්‍රීඩා සහ ක්‍රිකට් සමාජයයි. නැවත වරක් 1951 වසරේද පිට පිටම දෙවැනි වරටත් ශූරතාව හිමිකර ගැනීමට හැව්ලොක් කණ්ඩායමට හැකි විය. 1952 වසරේ ශූරතාව හිමි වූයේ සිලෝනීස් රග්බි සහ පාපන්දු සමාජය හෙවත් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමටයි. එවර ඔවුන්ගේ නායකයා වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පලද නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙකු වූ මහේෂ් රොඩ්රිගෝ යි. 1953දී පළමු තරගාවලියේ අනුශූරයින් වූ දිඹුල මලල ක්‍රීඩා සහ ක්‍රිකට් සමාජය ලින් සිම්ප්සන්ගේ නායකත්වය යටතේ ශූරතාව හිමිකර ගත්තේ එය දිනූ පළමු කඳුරට කණ්ඩායම බවට පත් වෙමිණි.

කොළඹ හොකී සහ පාපන්දු සමාජය (සී.එච්. ඇන්ඩ් එෆ්.සී.) පළමු වරට ශූරතාව හිමිකරගන්නේ 1957 වසරේදීය. 1959දී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සහ දිඹුල මලල ක්‍රීඩා සහ ක්‍රිකට් සමාජය සම ශූරයින් බවට පත් වූයේ රග්බි ලීග් ඉතිහාසයේ සම ශූරතා දිනූ පළමු කණ්ඩායම් දෙක ලෙසිනි.

1961දී පොලිස්, යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා සහ විශ්වවද්‍යාල කණ්ඩයම තරගාවලිය සඳහා එක්වීමෙන් කණ්ඩායම් සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගියේය.

අවස්ථා කිහිපයකදී තරගාවලිය විවිධ ශූරතා සඳහා පවත්වා ඇත. 1985 වසරේ සිට 1995 වසර දක්වා ජෝන් පලේයර් රග්බි ශූරතාවය ලෙස පැවැති අතර එහි වැඩි අවස්ථා ගණනක ශූරයින් වී ඇත්තේ පොලිස් කණ්ඩායමයි. ඒ වසර 6ක ශූරයින් වෙමිනි.

1996 සිට කාල්ස්බර්ග් ලීග් රග්බි තරගාවලිය ලෙසින් වසර 4ක් ශූරතාව පැවැති අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී.කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අවස්ථා දෙක බැගින් එහි ශූරතාව හිමිකර ගැනීඹට සමත් වූහ.

2000 වසරේ සිට 2011 දක්වා පැවැති කැල්ටෙක්ස් ලීග් රග්බි තරගාවලියේ අවස්ථා 9කම ශූරයින් වී සිටින්නේ මහනුවර ක්‍රීඩා සමාජයයි.

2012 වසරේ සිට ඩයලොග් ලීග් රග්බි තරගාවලිය පැවැත්වෙන අතර එහිද වැඩි ශූරතා ගණනක් දිනාගෙන ඇත්තේ මහනුවර කණ්ඩායමයි.

මේ වනවිට අවස්ථා වැඩි ගණනක ලීග් ශූරතාව දිනූ කණ්ඩායම වන්නේ වත්මන් ශූරයින් වන මහනුවර ක්‍රීඩා සමාජයයි. ඔවුන් 19 වතාවක් මෙරට රග්බි ලීග් ශූරතාව දිනා ගැනීමට සමත් ව ඇත. ඒ අතරට 2001 වසරේ සිට 2011 දක්වා වසර 11ක් අඛණ්ඩව ලීග් ශූරතාව ජයග්‍රහණය කරමින් අසමසම වාර්තාවක් පිහිටුවා ඇත. 1970දී පොලිස් ක්‍රීඩා සමාජය සමග දිනූ සමශූරතාවද ඇතුළුව 14 වරක් ලීග් ශූරයින් වීමේ අභිමානය හැව්ලොක් කණ්ඩායම සතුවද පවතී. 1976, 77 සහ 78 වසර තුනේම පිට පිටම ශූරතාව දිනා ගැනීමට ඒ අතර තුර හැව්ලොක් කණ්ඩායම සමත්ව ඇත.

අවස්ථා 12කදී ලීග් ශූරතාව ජය ගෙන ඇති පොලිස් කණ්ඩායම ද වාර්තා රැසකට කිමිකම් කියන කණ්ඩායමකි. 1984 සිට 1989 දක්වා පිට පිටම වසර 6ක් ලීග් ශූරයින් වීමේ වරම් හිමිකර ගැනීමට ඔවුන් සමත්ව ඇත. එකල ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කළ ප්‍රබලම ක්‍රීඩකයින් සතු වූයේද පොලිස් කණ්ඩායමටය.

1952 දී පළමු වතාවට ශූරතාව දිනූ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල 11 වතාවක් ලීග් ශූරයින් ලෙස තරගාවලි ඉතිහාසයේ සිය නම සටහන් කර ගැනීමට සමත්ව ඇත. 1954, 55 සහ 56 තරගාවලි ඔවුන් පිට පිටම ජය ගෙන ඇති තරග වර්ෂ ලෙස දැක්විය හැකිය. අවසන් වරට ඔවුන් තරගාවලිය ජයග්‍රහණය කළේ 1998 වසරේදීය.

ත්‍රිවිධ හමුදා කණ්ඩායම් අතරින් වැඩිම අවස්ථා ගණනක කුසලාන ජයග්‍රහණය කර ඇත්තේ යුද හමුදා කණ්ඩායමයි. 1973 සහ 1975 වසරවලදී ඔවුන් ශූරයින් ලෙස අභිෂෙස් ලබා ඇත. නාවික හමුදා කණ්ඩායම 2014 දී ශූරතාව දිනා ඇති අතර ගුවන් හමුදා කණ්ඩායම මෙතෙක් එක් වරක් හෝ කුසලානය ජයග්‍රහණය කර නොමැත.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා