ක්‍රීඩාව නම් ගූගල් බැලූනය වගේ වෙන්නේ නෑ : ඇමැති හරින් ප්‍රනාන්දු

 ඡායාරූපය:

ක්‍රීඩාව නම් ගූගල් බැලූනය වගේ වෙන්නේ නෑ : ඇමැති හරින් ප්‍රනාන්දු

ආණ්ඩුවේ නව ක්‍රීඩා අමාත්‍යවරයා හරින් ප්‍රනාන්දු මහතාය. ප්‍රවේගකාරී චරිතයක් ලෙසින් සැලකෙන ඔහු ක්‍රීඩා විෂය බාරගැනීමෙන් අනතුරුව පළමුව කතාකළේ ක්‍රිකට් අතුරුකමිටුවක් සම්බන්ධයෙනි. දෙසැම්බර් 31 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ ක්‍රිකට් පරිපාලනය අතුරු කමිටුවක් වෙත පැවරීමට තමන් අරමුණු කර ඇතිබවයි. දීප්තිමත් රගර් ක්‍රීඩයකු වූ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා හැටකට අධික රටේ ක්‍රීඩාව පරිපාලනය කරන්නේ කෙසේද? ජීවිතයෙ මැදියමට පිවිස ඇති ඔහුට රටක තරුණ පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රධාන අමාත්‍යංශයක් පරිපාලනය කරනු අැත්ෙත් කෙලෙසින්ද යන්න සම්බන්ධයෙන් 'රැස' ඔහු හා මෙලෙස සංවාදිත විය.

පළමුවෙන්ම අපි පෞද්ගලික ප්‍රශ්නයකින් සංවාදය අරඹමු. හරින් ප්‍රනාන්දු කියන්නේ ලොකු හඬක් ඇතිකරන ජනතා නියෝජිතයෙක්. නමුත් ඔහුගෙන් හොඳ වැඩක් අපේක්ෂා කරන්න පුරවැසියාට හැකියාවක් තියෙනවද?

නිසැකවම. මේ හරින්ගේ සද්දෙ වගේම වැඩත් ෙහාඳයි. බුලට් එකක් ඉලක්කයට යනවා වගේ මගෙන් සිදුවිය යුතු වගකීම් වෙනුවෙන් වැඩකරන්න හැමවිටම සූදානම්වන පුද්ගලයෙක්.

ඒත් ඔබ ඩිජිටල් සහ යටිතල පහසුකම් අමාත්‍යංශයේ වැඩකරද්දී මහා සද්දයක් දාලා ගූගල් බැලූන් ව්‍යාපෘතියක් පටන් ගත්තා. පස්සේ බැලූනය බිම වැටුණා. එතැන තිබුණු සද්දය තරමට වැඩක් වුණේ නෑ?

ගූගල් බැලූනය ලෝකයේ තිබෙන නවීන තාක්ෂණික භාවිතයක්. ඒ වැඩේ සාර්ථක කරගන්න අදාළ සමාගමේ නියෝජිතයන් ලංකාවට ආවා. ඇවිත් ඔවුන් අදාළ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. ඇතැම් මාධ්‍ය ඒ ගැන වැරදි ප්‍රචාර සිද්ධ කළා. බැලූනය ගුවන්ගත කිරීමේ සිට එය බිම වැටෙන තුරු එවැනි නාලිකා සමාජගත කළේ අසුබවාදී තොරතුරුයි. නමුත් එහි සත්‍ය තත්ත්වය ඔවුන් ජනතාවට සම්ප්‍රේශණය කළේ නැහැ. එතැන සිද්ධ වුණේ වෙනම දෙයක්. නැත්නම් ඒ ව්‍යාපෘතිය ඉතා හොඳින් ක්‍රියාවට නංවන්න තිබුණා.

ක්‍රීඩාව පැත්තකින් තියලා කියන්න කැමතිද ඒ ව්‍යාපෘතිය අසාර්ථක වෙන්න හේතුව?

නිවැරදි සංඛ්‍යාත ලබාදීමේදී අර්බුද පැනනැංගා. කවුරුත් දන්නවා ගූගල් බැලූන් ව්‍යාපෘතියට සංඛ්‍යාත ලබාගැනීමට නොහැකිවූු බව. ඒ නිසයි එම ව්‍යාපෘතිය කඩාගෙන වැටුණේ.

හොඳයි දැන් ක්‍රීඩා විෂයත් අවසානයේ මේ වගේ මොනවහරි හේතුවක් නිසා අසාර්ථක වුණොත් ඔබ නිදොස් වෙන්න පිළිතුරක් ගොඩනගාවිනෙ?

ඔබට එහෙම කියන්න බැහැ. ගූගල් බැලූන් ව්‍යාපෘතිය අසාර්ථක වෙන තත්ත්වයක් ආවේ මගේ දෝෂයක් නිසා නොවෙයි. එය සංඛ්‍යාත දෝෂයක්. ඒකට වගකිවයුතු අය ඔබට, පුරවැසියාට සොයාගන්න අසීරු නෑ. නමුත් ක්‍රීඩා අමාත්‍යංශයට මම එන්නේ ක්‍රීඩකයකු වීම නිසයි. අපේ රටට ක්‍රීඩාවෙන් බොහෝදේ කරන්න අවශ්‍ය ව්‍යූහාත්මක වෙනස්කම් කරන්න ෙමතැනදි මම අපේක්ෂා කරනවා. අපි ලැබෙන කාලයේ රටට, පුරවැසියාට ඵලදායී යමක් කළ යුතුයි.

ඔබත් ක්‍රීඩකයෙක්ව සිටි බව කීවා. අපි දන්නවා ඔබ රගර් ක්‍රීඩාවට සම්බන්ධතාවක් දක්වන පුද්ගලයකු බව. නමුත් ක්‍රීඩාව කියන්නේ රගර්ම නෙවෙයි ඇමැතිතුමා. ඒක ර ෙට් එක ක්‍රීඩා ඉසව්වක් විතරයි?

ඔව්. ඒක මම දන්නවා. මම මට උපදෙස් ගන්න විද්වත් කමිටුවක් යොදාගන්නවා. හිතුමනාපෙට, හිතුවක්කාර විධිහට වැඩකරන්නෙත් නෑ.

හිටපු අමාත්‍යවරුනුත් ක්‍රීඩාව නගාලන්න යම් යම් උත්සහයන් දැරුවා නේද?

ඒක මම ගෞරවයෙන් පිළිගන්නවා.

දැන් ඔවුන් නවත්තවපු තැනින් ක්‍රීඩාව ඉදිරියට ගෙනියනවාද නැත්නම් ඔබ විසින්ම හරින් ප්‍රනාන්දු රීතියක් හදලා ක්‍රීඩාව පරිපාලනය කරන්න උත්සහ කරනවාද කියලා කීවොත්?

දයාසිරි ඇමැතිතුමා, මහින්දාන්නද ඇමතිතුමා එක්ක මට ඇහැට ඇහ තියලා වැඩකරන්න හැකියාවක් තිබෙනවා. හරි හැමදේකදීම ඔවුනුත් මාත් වෙනස් නැහැ. රටට හරියන දේ හරින්ට හරි. ඒවා දයාසිරිටත්, මහින්දානන්දටත් වැරදි නැති බව මම දන්නවා. ඒ නිසා මම ඔවුන්ගෙනුත් යම් යම් උපදේශ ලබාගන්නවා. ක්‍රීඩා අමාත්‍යංශය හරින් ප්‍රනාන්දු පාලනය කළාට එ්ක පාලනය කරන්නේ රටේ පුරවැසියා වෙනුවෙනුයි. ඒක ජාතික වැඩක්.

ඔබේ පළමු වගකීම හැටියට ඔබ දැනට තීරණය කරලා තිබෙන්නේ ක්‍රිකට් අතුරු කමිටුවක් දාන එකද?

ක්‍රිකට් අතුරු කමිටුව මගේ එකම යෝජනාව නොවෙයි. ක්‍රීඩා පනතේ දූෂණයට එරෙහිව වන නීති කෙටුම්පත් කිරීම තමයි මගේ වගකීම.මහින්දානන්ද ඇමැතුමාගේ කාලේ කෙටුම්පත් කළ දූෂණ පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කරලා අනාගතයට ගැලපෙන ආකාරයෙන් සකස්කිරීම තමයි මගේ පළමු ප්‍රයත්නය වෙන්නෙ. අනෙක් කාරණය අපි අමාත්‍යංශයක් වශයෙන් විශාල මුදලක් ක්‍රීඩකයන්ගේ සංචාර වෙනුවෙන් වැය කරනවා. ඒ වැයකරන මුදල් ජනතා බදු මුදල්. ඒවා ගැන අපි ජනතාවට වගකිවයුතුයි. මම මේ මුදල් භාවිත කරණ ක්‍රීඩකයාට ඒ සම්බන්ධයෙන් වගකීමක්, යුතුකමක් ඇතිබව උගන්වන්න මූලිකවම කටයුතු කරනවා.

ඒ කියන්නේ 'කරුණානන්ද' සිද්ධාන්තය යොවුන් ක්‍රීඩකයන් තුළට එන්නත් කරනවා කියන එක නේද?

ඔව්. අපි කවුරුත් දන්නවා කරුණානන්ද මහත්තයා වගේ ක්‍රීඩකයෙක් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී තමන්ගේ ධාවන ඉසව්ව වෙනුවෙන් කළ කැපකිරීම. මටත් අවශ්‍ය වන්නේ අපේ ජනතා බදු මුදලින් රට යන ක්‍රීඩකයින්ගෙන් මෙවැනි යුතුකමක් රටට ලබාදෙන්නයි. අපේ තරුණයා ලෝකය වෙනස් කළ හැකි බුද්ධිමත් බලකායක්. මට ඔවුන් ගැන විශ්වාසයි.

ක්‍රීඩා අමාත්‍යංශ විෂය සලකද්දී එය තිබෙන්නේ අධ්‍යාපන සහ සෞඛ්‍ය විෂයන්ගේ මධ්‍ය ලක්ෂයේ. අපි දන්වා ක්‍රීඩකයෙක් බවට පාසල් වියේ සිට පත්වන යෞවනයා දෙවනුව ක්‍රීඩා අමාත්‍යංශය බාරගන්නවා. රටක සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන සලකද්දී ශාරීරික යෝග්‍යතාව සැමවිටම බෝනොවෙන රෝග සම්ප්‍රේශනය වීම වළක්වන්න ඉවහල් වෙනවා. මෙම තත්ත්වය තේරුම් අරගෙන ඒ අමාත්‍යංශය සමඟ සහයෝගයෙන්ද ඔබ කටයුතු කරන්නෙ?

මගේ වගකීම රටක ප්‍රතිරූපය ගොඩනංවන්න හැකි තරගකාරී ක්‍රීඩාව පවත්වාගෙන යාමයි. එතැනදී බෝනොවෙන රෝග ව්‍යාප්තිය වළක්වන්න සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රීඩාව උපයෝගී කරගන්නේ තරගකාරී ක්‍රීඩාවක් ලෙස නොවෙයි. ඒ නිසා මගේ විෂය ඍජුව සෞඛ්‍ය අමාත්‍යංශය බද්ධ වන්නේ නැහැ. නමුත් නවීන තාක්ෂණය උපයෝගී කරගනිද්දී මම සෞඛ්‍ය කරුණු සැලකිලිමත් වෙනවා. අධ්‍යාපන විෂය ගත්තොත් මමයි, අකිල අමාත්‍ය තුමයි හොඳ මිත්‍රයො. ඉතින් අපි දෙන්නා අතර එකඟතා නිර්මාණය කරගැනීම අපහසු නැහැ.

යළිත් ක්‍රිකට් ගැන කතාකරනවා නම් ජාත්‍යන්තර දුෂණ මර්දන ඒකකයේ කාර්යාලයක් ලංකාවේ පිහිටුවන්න යනවා නේද?

ඔව්. ලෝකයේ තිබෙන වඩාත් දූෂිත ක්‍රිකට් රාජ්‍ය ශ්‍රී ලංකාව බවට අයි.සී.සී. ය ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා ඔවුන් එකඟයි අපේ රටේ දූෂණ මර්දන කාර්යාලයක් පිහිටුවන්න.

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් ගැනත්, රණවිරු දඩයමක් ගැනත්, විදේශීය විනිසුරුවන් ගැනත් කියන අපේ ඇතැම් විරුද්ධ දේශපාලන පක්ෂ මේ දූෂණ මර්දන කාර්යාලයක් පිහිටුවීමත් බිල්ලෙක් මවන්න යොදාගනීවිද දන්නෙ නෑ?

ඒකත් ඇත්ත. නමුත් සියයට අසූ දෙකකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවන්නේ අයි.සී.සී. ය විසින්. ඔවුන්ට හැකියි අපිව දූෂිත රටක් ලෙස නම්කරලා අපේ ටෙස්ට් තත්ත්වය තාවාකිලක පදනම යටතේ නවත්වන්න. එවැනි අනතුරක් තිබෙන බව දැන දැන මට රටේ ක්‍රිකට් අනතුරේ දමන්න නොහැකියි.

ඔබ අයි.සී.සී. යට ගිය වෙලාවෙ මෙරට ක්‍රිකට් වලට සම්බන්ධ දූෂිතයෝ කවුරුන්ද යන්න ඔබට හෙළි කළා?

ඔව්. ඒකේ නම් කළ දූෂිතයො කවුද කියලාත් මම දැක්කා.

ඇයි එතින් මේ තොරතුරු හෙළිදරව් නොකරන්නෙ?

මට අවශ්‍ය නම් ඒ තොරතුරු හෙළිකරන්න හැකියි. නමුත් ඔවුන් පවත්වන බොහෝ පරික්ෂණ වලට එය හානියක් විය හැකියි. ඒ නිසා මම නිහඬ වුණා.

හරින් කියන්නෙ කටට තිරිංග නැති ජනතා නියෝජිතයෙක්. සමහර විට එන මැතිවරණ වේදිකාවල මේගැන කතාකරාවි?

නැහැ. නැහැ. මම දැකපු දේ අගමැතිතුමා සමඟ කිව්වා.

ඇයි ඔබ මේ ගැන අගමැතිතුමාට පමණක් කිව්වේ?

මම පමණක් දැනගත් තොරතුරු දන්න බලවතෙක් මේ රටතුළ ඉන්න අවශ්‍ය නිසයි.

නැත්නම් මේ ක්‍රිකට් දූෂණ ක්‍රියාවලට පාතාලය සම්බන්ධ නිසාද?

පාතාලය ගැනත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. මේ දූෂණ වලදී ඇතැමුන් අසරණයි. ඔවුන් ඒවාට අහුවෙලා තිබෙන්නේ අත දිග ඇරලා නවලා, කැප් එක අනිත් පැත්ත දාලා එහෙමත් නැත්නම් කණ්නාඩි දාගෙන පන්දුයවලා, එ් අතරේ කණ්නාඩිය ගලවලා වගේ ක්‍රමවලින්. තමුන්ට සල්ලි කීයක් හරි ලැබෙන නිසා ඔවුන් ඒවට එකඟ වෙලා තිබෙනවා. මේවා නතර කරන්න කටයුතු කරන එක තමයි අපේ වගකීම. රටේ ක්‍රිකට් අනාගතයට බාරදිය යුතුයි.

ඒක කරන්නෙ තිලංග සුමතිපාල මහතාව පරිපාලනයට එන්න නොදී කොටුකරලාද?

මගෙයි, තිලංගගෙයි අතර කිසි ප්‍රශ්නයක් නෑ.

ඔබ කිව්වා මහින්දානන්ද සහ දයාසිරි සමඟ ඇහැට ඇහ තබාගත හැකි බව. නමුත් මහින්දානන්ද පාලන සමයේ ක්‍රිකට් පරිපාලනයට තිලංගව වද්දා ගත්තෙවත් නෑ. ඒත් දයාසිරි ඊට වෙනස් ප්‍රතිපත්තියක සිටියේ. ඔහු ඡන්දයක් තියලා තිලංගට පරිපාලනය බාරදුන්නා. එතකොට ඔබ ඇහැට ඇහ තියන්නෙ කා සමඟද?

ඔබ එය තේරුම්ගත යුතුයි. ඔබ දන්නවා දයාසිරි මහතාට යම් යම් දේ කරන්න සිද්ධ වෙලා තිබුණු බව. නමුත් මහින්දානන්ද මහත්මයාට වසර පහකට වඩා පරිපාලන කාලයක් තිබුණා. ඔහු බය නැතිව තීරණ ගත්තා. නමුත් දෙයියනේ කියලා මට මේ වගකීම හම්බවෙලා තිබෙන්නේ සැබෑ තත්ත්වය හොඳින් අවබෝධ කරගතහැකි කාලයකයි. මට බලපෑමක් නෑ.

ඒ කියන්නේ ඔබ තිලංග සුමතිපාල මහතාව බිත්තියට තබා සිරකරන්න සූදානම්?

අනේ නෑ. මට එතුමා එක්ක පෞද්ගලික වෛරයක් හෝ තරහක් නැහැ.

දැන් ක්‍රීඩා අමාත්‍යංශ පස් අවුරුදු සැලැස්මක් හදන්න යනවා. ඒකෙදී ක්‍රීඩකයන් පුහුණු කටයුතුවලට රට යවනවාට වඩා විදේශීය පුහුණුකරුවන් රටට ගෙන්වා ගන්න කැමැත්තක් තිබෙන බව පෙනෙනවා. එය ඔබේ ප්‍රතිපත්තියද?

ලේකම්තුමයි, අධ්‍යක්ෂ ජනරාල් තුමයි සෙසු නිලධාරීන් ගන්න ඇතැම් තීරණ සමාලෝචනය කරන්න මම කටයුතු කරනවා.

අධි උන්නතාංශ ක්‍රීඩාංගණයක් හදන කාරණය දයාසිරි අමාත්‍යවරයාගේ කාලයෙත් කතාකළා?

ඇත්තෙන්ම දැන් එය හදන්න වෙලා තිබෙන්නේ මගේ කාලයේ. ප්‍රංශ රජයේ ආධාර යටතේ ඒ දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ කරනවා. මේ ණය ගෙවන්න වෙන්නේ වසර කීපයක් ගතවීමෙන් පසුවයි. මම මෙම ව්‍යාපෘතිය රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සහ සම්බන්ධ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කරනවා. අධි උන්නතාංශ පහසුකම් සහිතව ආසියාවේ ඉදිකළ තෙවැනි ක්‍රිඩා සංකීර්ණය එයයි.

ඒ කියන්නේ ක්‍රීඩා ආර්ථිකය සම්බන්ධයෙන් අවබෝධයක්, දැක්මක් සහිතව ඔබ පරිපාලය විධිමත් කරනවා කියන එකයි?

නිසැකවම. ඔබ දන්නවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කියන්නේ රටට හිතැති, රටට දෙයක් ලබාගන්න හැකි, ජනතාවට දෙයක් ලබාදිය හැකි ලෙස රාජ්‍ය පාලනය සුහුරු කරන ආණ්ඩුවක් කියන එක. ඉතින් ක්‍රීඩා අමාත්‍යංශය හරහා ක්‍රීඩා ආර්ථිකය වෙනුවෙන් බොහෝ සැලසුම් ක්‍රියාත්මක කරනවා.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා