ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු එක්දින තරගය අද

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු එක්දින තරගය අද

තමුන් කවුදැයි පෙන්වන්න ලැබෙන අවස්ථාවක් - ලසිත් මාලිංග

ප්‍රබල ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වනවා - කේන් විලියම්සන්

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද (03) දිවා/ රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙයි. ඒ නවසීලන්තයේ මවුන්ට් මවුන්ගැනොයිහි බේ ඕවල් පිටියේදීය. දෙරට අතර එක්දින තරග ඉතිහාසය වසර තිස්නවයක් පුරා විහිදෙන අතර මේ දක්වා දෙරට අතර තරග 95 ක් පවත්වා තිබේ. ඉන් තරග 45 ක ජය නවසීලන්තය සතුය. ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ජයග්‍රහණ 41 ක් පමණි. එක් තරගයක් ලකුණු සමව අවසන්ව ඇති අතර තවත් තරග අටක් ජයපැරදුමෙන් තොරව අවසන්ව තිබේ. අවසන් වරට දෙරට අතර එක්දින තරගාවලියක් පවත්වා ඇත්තේ 2015/16 තරග වාරය වෙනුවෙනි. ඉන් තරග 3-1 ක් ලෙස ජයලැබීමට නවසීලන්තය සමත්විය.

මෙවර තරගවාරයේදී ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතුව පිටියට බසින ශ්‍රී ලංකා කණ්ඩායම යොවුන් ක්‍රීඩකයන් බහුතරයකින් සමන්විතය. ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පරාජය ලැබීමෙන් අනතුරුව එක්දින තරගාවලියේදී කෙසේහෝ සාර්ථකත්වය සොයාගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට තරග වැදසිටී. නව නායකයා වශයෙන් ලසිත් මාලිංග යටතේ සහභාගිවන පළමු තරගාවලිය මෙයවේ.

‘අපේ කණ්ඩායම වැඩිමනක් යොවුන් ක්‍රීඩකයන් පිරිසක්. ඉතින් ඔවුන්ගේ වගකීම වන්නේ තමන්ගේ දක්ෂතාව පෙන්වීමයි. ලෝක කුසලානයට තවත් මාස කීපයයි තිබෙන්නෙ. ඒ වෙනතුරු අපට මුහුණ දෙන්න තිබෙන්නේ සීමිත එක්දින තරග සංඛ්‍යාවක්. ආයෙත් කණ්ඩායම ගොඩනගන්න කාලයක් නැහැ. අවශ්‍ය වන්නේ දක්ෂතා දක්වා තරගාවලියේ ඉදිරියට යාමයි. ඒකට සුදුසුම තරගාවලිය මේ තරගාවලියයි’ යැයි ශ්‍රී ලංකා නායකයා පවසා තිබේ. මේ අතර ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධය හේතුවෙන් ඔහුගේ ස්ථානය සධීර සමරවික්‍රම වෙත පැවරීමට බොහෝ දුරට ඉඩ ඇත. එහිදී දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානය සහ ඔහුගේ ස්ථානය සංසන්දනය කරනු ඇතැයි කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කළේය. චන්දිමාල් එක්දින තරග රටාවට වඩා ටෙස්ට් තරග රටාවට උචිත ක්‍රීඩකයකු වන බැවින් මෙම තරගයට ක්‍රීඩා කරන්නේද යන්න යළි සලකා බලනු ඇත.

‘අපි මුල් පන්දුවාර දහයට ක්‍රීඩා කරන ආකාරය අනුව තරගයේ සැලසුම තීරණය කරනවා’ අද තරගය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලසිත් මාලිංග පවසා තිබිණි. මෙම ප්‍රකාශයෙන් පැහැදිලිවන්නේ ශ්‍රී ලංකා මුල් පෙළේ පිතිකරුවන්ගෙන් නිසැක වශයෙන්ම වැඩි දක්ෂතා නව නායකයා අපේක්ෂා කරන බවකි. පසුගිය තරග කීපයේ එතරම් දක්ෂතා නොදැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් උපරිම හැකියාව උකහාගැනීම තම අරමුණක් ඔහු තුළ පවතින බවයි.

මුල් පෙළේ පිතිකරුවන් සාර්ථක ඉනිමක් ගොඩනගන්නේ නම් මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන් යොදා ගනිමින් එකී ඉනිම පරිසමාප්ත ඉනිමක් බවට පත්කළ හැකිබව ලසිත් මාලිංගගේ අදහසවී තිබේ. අවසන් පන්දුවාර කීපය ඉතා හොඳින් ක්‍රීඩාකළ හැක්කේ අනවශ්‍ය කඩුලු වැටීම් නොමැතිව ලකුණු රැස්කිරීමට ආරම්භයේදී කටයුතු කර තිබෙන්නේ නම් පමණි. එසේනම් ආරම්භක පිතිකරුවන් සතුව වැඩිවගකීමක් පැවරෙන අතර මුල් පිතිකරුවන් සිව්දෙනා අවම වශයෙන් පන්දුවාර තිහකට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කිරීම වැදගත්ය. එවිට තිසර පෙරේරා, දසුන් ශානක, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න වැනි තුන්ඉරියව් ක්‍රීඩකයන්ගෙන් වැඩි ප්‍රයෝජනයක් උකහාගත හැකිය. එහෙත් තවමත් නිත්‍ය ආරම්භක පිතිකරුවන් යුගලයක් සොයාගැනීමේදී ශ්‍රී ලංකා පුහුණුකරුවා අසමත්ව තිබේ. තෝරාගැනීමට නියමිත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වශයෙන් කටයුතු කරන්නේ කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලකද, එසේ නැතහොත් ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ලද යන්න තවමත් නිශ්චිත නැත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගාවලියක් ලෙස මෙය සැලකිය හැකි බැවින් නිශ්චිත ආරම්භක පිතිකරු යුගලයක් පත්කරගැනීම මෙහිදී වඩා යෝග්‍යයය. කුසල් මෙන්ඩිස්ගේ ස්ථානය සම්බන්ධයෙන් සැලකීමේදී ඔහු අංක තුන පිතිකරුවා වශයෙන් අද තරගයේදී ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින්නේ නවසීලන්ත තණතීරුවල ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම වඩා සාර්ථකවූ පිතිකරුවා ඔහුවන බැවිනි.

නවසීලන්ත පිලට නවක මුහුණු රැසක් ක්‍රීඩා කරනු ඇතිබව කේන් විලියම්සන් පවසා තිබුණේය. ටෙස්ට් තරගාවලියේ වඩාත් සාර්ථක පිතිකරුවාවූ ටොම් ලෙතම් වෙනුවට තවමත් එක්දින හෝ ටෙස්ට් වරම් ලබානොමැති ටිම් සෙයිෆර්ට් ක්‍රීඩා කිරීමට නියමිතය. අද පැවැත්වෙන තරගය බොහෝදුරට වේග පන්දුයවන්නන්ට වඩා උචිත තණතීරුවක පැවැත්වීම ඉඩ ඇති හෙයින් නවසීලන්ත පිලට අතිරේක වේගපන්දුයවන්නකු ලෙස ලොකී ෆර්ගියුසන් එක්කරගැනීමට වැඩි අවකාශයක් පවතී.

මීට පෙර පැවැති අවසන් එක්දින තරග පහෙන් අවසන් තරග හතරම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය ලබා තිබීම කැපී පෙනෙයි. නවසීලන්තයද ශ්‍රේණි සටහනේ ස්ථාවරවීමේ අපේක්ෂාවෙන් මෙම තරගාවලියට සහභාගිවන අතර ඔවුන්ටද එක්දින පිටියේ ජයග්‍රහණය හා පරාජය තවමත් දෝලනය වෙමින් පවතින බවක් පෙණේ. ඔවුන් අවසන් වරට සහභාගිවූ එක්දින තරග පහෙන් දෙකක් ජයලබා තුනක් පරාජය ලබා ඇත.

ශ්‍රේණි සටහනේ වෙනස්කම්

මෙම තරගාවලිය 3-0 ක් ලෙස ජයගතහොත් ශ්‍රේණි සටහනේ ප්‍රසාද ලකුණු 83 ක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවන අතර 2-1 ක් ලෙසින් ජයගන්නේ නම් එය ප්‍රසාද ලකුණු 81 ක් වනු ඇත. නවසීලන්තය 2-1 ක් ලෙසින් ජයගන්නේ නම් ඔවුන් ප්‍රසාද ලකුණු 111 දක්වා පහත බැසීමටත් ශ්‍රේණි සටහනේ සිවැවැනි තැනට පත්වීමටත් සිදුවේ. එවිට ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 79 ක් වනු ඇත. එහෙත් ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති අටවැනි ස්ථානය සඳහා මෙම තරගාවලිය ජය ලැබීම බලපෑම් නොකිරීම විශේෂත්වයකි. නවසීලන්තය තරගාවලියම 3-0 ක් ලෙසින් ජයගන්නේ නම් ප්‍රසාද ලකුණු 113 ක් ලබා තම ස්ථානය තවදුරටත් ආරක්ෂා කරගැනීමට ඔවුන්ට හැකියාව උදාවේ.

 

අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිත සංචිතය

ශ්‍රී ලංකාව - ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත් චමීර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර.

නවසීලන්තය - කේන් විලියම්සන් (නායක), ට්‍රෙන්ට් බෝල්ට්, ඩග් බ්‍රාස්වෙල්, ලුකී ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, මැට් හෙන්රි, කොලින් මුන්රෝ, ජේම්ස් නිෂාම්, හෙන්රි නිකොලොස්, රොස් ටේලර්, ටිම් ෂෙයිෆර්ට්, ඉෂ් සෝදි, ටිම් සවුති

මාතෘකා