මාලිංග ඇතුළු හතක් අද දකුණු අප්‍රිකාවට

 ඡායාරූපය:

මාලිංග ඇතුළු හතක් අද දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් හත් දෙනෙක් අද(25) දකුණු අප්‍රිකාව බලා පිටත්ව යයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ලසිත් මාලිංග ගේ නායකත්වයෙන් යුත් එක්දින කණ්ඩායමට එක්වීම සඳහා මෙම ක්‍රීඩකයන් අද කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යන බවයි.

එම කණ්ඩායම සමඟ එක්වීමට නියමිත ඉසුරු උදාන හෙට දිනයේදී දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරසිටී. අද උදෑසන 9.55ට EK 651 ගුවන් යානයෙන් මෙම ක්‍රීඩකයන් 7දෙනා අද පිටත්ව යන අතර මාර්තු 3වැනිදා ප්‍රථම එක්දින තරගය පැවැත්වෙයි.

එක්දින තරග පහකට සහ පන්දුවාර විස්සයි විස්ස තරග තුනකට ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතය.

එක්දින කණ්ඩායම

ලසිත් මාලිංග (නායක), අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල (උපනායක), කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ පෙරේරා, ඕෂද ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්

------------------------------

මඟ හරින්න එපා හෙට පදනම් ආයතනයට එන්න

ක්‍රීඩා අමාත්‍යාංශය

[කසුන් ඉරුගල්බණ්ඩාර]

ක්‍රීඩාවේ ප්‍රගමනය සඳහා වන උපායමාර්ගික ගමන් මඟක් නිර්මාණය කරගැනීමේ අභිලාෂයෙන් වන වැඩමුළුව අද (25) සහ හෙට (26) යන දිනයන්හිදී කොළඹ පදනම් ආයතනයේදී පවත්වන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා රැසට පැවසීය. මේ සඳහා සියලු ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් සාමාජිකයන් සහභාගිකරවන ලෙස ඉල්ලීමක් කර ඇතිබවද එම මහතා ප්‍රකාශ කළේය. ‘මෙම දෙදින වැඩමුළුව මඟ හරින්න එපා. අනිවාර්යයෙන් සහභාගිවන්න කියලා අපි කියන්න කැමතියි. එය ක්‍රීඩාවේ ඉදිරි ගමන ගැන විද්‍යාත්මක අධ්‍යයනයක් අරමුණු කරගත් වැඩසටහනක්’ ඔහු තවදුරටත් පැවසීය.

මෙම සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු 07 ක් යටතේ අදහස් ලබා ගැනීමට යෝජිත බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේය.

එහි මාධ්‍ය අංශය පැවසූයේ කරුණු හතක් යටතේ මෙලෙස අදහස් ලබාගැනීමට අපේක්ෂා කරන බවය. ඒ අනුව සංගම්වල ක්‍රියාකාරීත්වය විධමත් කිරීම හා අමාත්‍යාංශ සම්බන්ධීකරණය, ක්‍රීඩා ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම, සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් බිහි කිරීම සදහා ක්‍රීඩාව හා ව්‍යායාම, ක්‍රීඩාවෙන් සමුගත් හා ක්‍රීඩාවේ නියැලී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභ සාධනය පවත්වා ගැනීම සදහා වන උපාය මාර්ග, ක්‍රීඩා තාක්ෂණකයින්ගේ ධාරිතා සංවර්ධනය හා මෙම ධාරිතා සංවර්ධනය ප්‍රාදේශීය මට්ටම දක්වා ව්‍යාප්ති කිරීමේ උපාය මාර්ග, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය සහ දිවයින පුරා කුසලතා සපිරි ක්‍රීඩකයින් හඳුනා ගැනීම මෙම වැඩමුළුව මගින් අපේක්ෂිතය.

-----------

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය

හැව්ලොක් සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම් අතර පැවැති ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයේ පළමු තරගයෙන් ලකුණු 21-14ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.

ඒ සමගම ලකුණු සටහනේද තවදුරටත් පෙරමුණ හැව්ලොක් කණ්ඩායම සතුවිය.

හැව්ලොක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරන ලද්දේද හැව්ලොක් කණ්ඩායම විසින්මය. තීක්ෂණ දසනායක විසින් හැව්ලොක් පිලේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන ලද්දේ 08 වැනි මිනිත්තුවේදීය. එහි ප්‍රවර්ථනය සිදු කළේ රීසා මුබාරක් විසිනි. ඒ සමගම ලකුණු 07 - 00ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමටද හැව්ලොක් කණ්ඩායමට හැකි විය. තරගයේ 17 වැනි මිනිත්තුවේදී ගැමුණු චේතිය සී.ආර්. කණ්ඩායමට පළමු උත්සාහක දිනුම ලබාදීමට සමත් විය. තරින්ද රත්වත්ත එහි ප්‍රවර්ථනය සාර්ථක කළේ ලකුණු තත්ත්වය සමකරමිනි.

36 වැනි මිනිත්තුවේදී හැව්ලොක් කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් රීසා මුබාරක්ට සාර්ථක කරගැනීමට නොහැකි විය. දෙවැනි අර්ධයේදී මිථුන් හපුගොඩ හැව්ලොක් කණ්ඩායමට දෙවැනි උත්සාහක ලකුණ ලබාදීමට සමත් වූයේ තරගයේ 47වැනි මිනිත්තුවේදීය. රීසා මුබාරක් අමතර ලකුණු දෙකක් එක්කිරීමෙන් නැවතත් තරගයේ පෙරමුණ හැව්ලොක් පිල සතුවිය. 68 වැනි මිනිත්තුවේදී යළි ක්‍රියාත්මක වූ මිථුන් හපුගොඩ දෙවැනි උත්සාහක දිනුමද රැස්කළේය. රීසා මුබාරක එයද සාර්ථකව ප්‍රවර්ථනය කළෙන් ලකුණු 21-07ක් ලෙස ඉදිරියෙන් සිටීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.

76 වැනි මිනිත්තුවේදී මිථුන් හපුගොඩ කහකාඩ්පත පෙන්වා පිටියෙන් ඉවත් කළ අතර ඒ සමගම 77 වැනි මිනිත්තුවේදී කවිඳු පෙරේරා සී.ආර්. කණ්ඩායමට දෙවැනි උත්සාහක දිනුම ලබාදුන්නේය. සිවරාජ් ස්ටීවන්ගේ සාර්ථක ප්‍රවර්ථනයත් සමග ලකුණු තත්ත්වය කියැවුණේ 14-21ක් ලෙසිනි. ඉන් පසු හැව්ලොක් ක්‍රීඩකයෝ සී.ආර්. කණ්ඩායමට ලකුණු ලබා ගැනීමේ අවස්ථාව අවහිර කරමින් තරගාවසානය දක්වා ක්‍රීඩා කළහ.

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි