රාජිත-විශ්ව සුසංයෝගය සත්කාරකයන්ගේ ඉනිම වනසති

 ඡායාරූපය:

රාජිත-විශ්ව සුසංයෝගය සත්කාරකයන්ගේ ඉනිම වනසති

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය වූ ඊයේ ආරම්භයේ සිටම තරගයේ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර සත්කාරකයන්ගේ ඉනිම ලකුණු 222කට සීමා කළේය. එහි මූලිකයන් බවට පත්වූයේ විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිතයි. ඔවුන් දෙදෙනා එක්ව කඩුලු හයක් දවාගත් අතර ධනංජය ද සිල්වා කඩුලු දෙකකට හිමිකම් කීය.

කාසියේ වාසිය දිනා පෝර්ට් ඔෆ් ස්පේන් පිටියේ පළමුවෙන් පන්දුවට පහරදීම වඩා ආරක්ෂිත බව දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙසිස් තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ඩීන් එල්ගර් සහ ඒඩ්න් මාර්ක් රාම්ගේ සම්බන්ධතාවය වැඩිදුරටත් ගොඩනැගීමට අවස්ථාව ලබානොදුන් විශ්ව ප්‍රනාන්දු එල්ගර්ගේ කඩුල්ල දවාගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමට සලස්වමිනි. එල්ගර් පිට ඉන්නට මඳක් පිටතින් පතිතවූ පන්දුව අවබෝධ කරගැනීමට මොහොතක්වත් අවස්ථාවක් ලබානොදී පිට ඉන්නේ වැදී එය ගලවා දැම්මේය.

පළමු කඩුල්ලක් දඩයම් කරගැනීමේ සතුට භුක්ති විඳිමින් සිටි ශ්‍රී ලංකා පිලේ එකී සතුට දෙගුණ කරමින් ඊළඟ පන්දුවේදී හසීම් අම්ලාගේ කඩුල්ල දවාගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් විය. එයත් මැද ඉන්නත්, පිට ඉන්නත් අතර පන්දුව දැවටීම සලස්වමිනි. හසීම් අම්ලා යනු දකුණු අප්‍රිකාව සතු විශිෂ්ටම පිතිකරුවකු වුවද ඔහු විශ්ව ප්‍රනාන්දු ඉදිරියේ අවිශ්වසනීයත්වයෙන් යුතුව පන්දුව පිළිගැනීමේ වරදවූයේ සිය කඩුල්ලෙන් වන්දි ගෙවීමට සිදුවීමය.

කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමේ දුර්ලභ අවස්ථාව විශ්ව ප්‍රනාන්දුට හිමිවූ අතර ටෙම්බා බවුමා කඩුල්ල වෙත පැමිණි නවක පිතිකරුවා වූයේය. පන්දුව ඇතුළත දෝලිත පන්දුවක් ලෙස එල්ල කළද එය බවුමාගේ පිත්තේ යන්තමින් වැදී බිම පතිතව කඩුල්ලේ ගැවී නොගැවී ඊට ඉහළින් ගමන් කළේ මොහොතකට ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ ඉහළ ගත් හුස්ම නවතා ලමිනි. ඒ අනුව බවුමා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් විශ්ව ප්‍රනාන්දුගේ ත්‍රිත්ව කඩුලු අවස්ථාව අහිමි කළේය.

හත්වැනි පන්දුවාරයේදී බවුමා දුවද්දී දැවීයාමට හසුකර ගත්තේය. මෙම දැවීයාමෙන් සත්කාරකයන්ගේ මානසික ස්වභාවය මනාව දිස්වූ අතර අනපේක්ෂිත ආකාරයෙන් හොඳම කඩුලු දෙකක් අහිමිවී තිබීම මෙන්ම ඩර්බන් ටෙස්ට් තරගයේ ලද පරාජයත් මෙම අවිනිශ්චිත දැවීයාම්වලට හේතුවන්නට ඇත.

විසි හත්වැනි පන්දුවාරය යැවීමේ වගකීම නායක දිමුත් කරුණාරත්න බාරගත් අතර ඔහු සත්කාරක නායක ෆැෆ් ඩු ප්ලෙසිස් ගේ කඩුල්ලට යැවූ පන්දුව කෙලින්ම කඩුල්ලේ දැවටීමත් සමඟ ශ්‍රී ලංකාව ලබාගත් සිව්වැනි කඩුල්ල සටහන් විය. එය ශ්‍රී ලංකා නායකයා ලබාගත් දෙවැනි ටෙස්ට් කඩුල්ල ලෙස සටහන් විය. එතෙක් වෙලා සාර්ථකව පන්දුවට පහරදෙමින් සිටි ඒඩ්න් මාර්ක්රාම්ගේ කඩුල්ල ලකුණු 60ක් ලබා සිටියදී අවසන් කිරීමට කසුන් රාජිත සමත්වනවිට ඔහු යවමින් සිටියේ සත්කාරකයන් මුහුණ දෙමින් සිටි 38 වැනි පන්දුවාරයයි. මාර්ක්රාම් දැවී ගියේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙනි. එකී සාර්ථකතාව තවදුරටත් ඉදිරියට රැගෙන යමින් හතළිස් වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී වියාන් මුල්ඩර්ගේ කඩුල්ලද එම වරදටම දවාගන්නට කසුන් රාජිත සමත්වූයෙන් හයවැනි කඩුල්ල දඩයම් කිරීමේ අභිමානය අත්විඳීමට සංචාරකයන්ට අවස්ථාව සලසා දුන්නේය. එය හතළිස් දෙවැනි පන්දුවාරයටද රැගෙන ගිය ඔහු කේශව් මහරාජ්ගේ කඩුල්ල දවාගත්තේ නිරෝෂන් දික්වැල්ල සමඟ සම්මාදම් වෙමිනි. මේ අතර වාරයේ දකුණු අප්‍රිකානු කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් සිය 17 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කරගත්තේය. ශ්‍රී ලංකා පන්දුයවන්නන් අතරින් උඩපන්දු කීපයක් ගිලිහී ගිය අතර රබාඩාගේ උඩපන්දුවක් පෙරළා රැකීමට ගිය යොවුන් ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය එය දකුණු අතේ මහපටැඟිල්ලේ වැදී පිටියෙන් ඉවත් විය.

මාතෘකා