ඉතිහාසය වෙනස් කළ ඩර්බන් ආශ්චර්ය: බය වෙන්න එපා කුසල් අයියා මම ඇඟෙන් හරි ගහන්නම් විශ්ව ප්‍රනාන්දු මගේ ලකුණුවලට වඩා විශ්ව මුහුණ දුන් පන්දු ප්‍රමාණය වටිනවා කුසල් පෙරේරා

 ඡායාරූපය:

ඉතිහාසය වෙනස් කළ ඩර්බන් ආශ්චර්ය: බය වෙන්න එපා කුසල් අයියා මම ඇඟෙන් හරි ගහන්නම් විශ්ව ප්‍රනාන්දු මගේ ලකුණුවලට වඩා විශ්ව මුහුණ දුන් පන්දු ප්‍රමාණය වටිනවා කුසල් පෙරේරා

මට ටිකක් මහන්සියි. ඒ නිසා මොකක් කියන්නද කියලා මට තේරුමක් නෑ’ දකුණු අප්‍රිකාව සමඟ ඩර්බන් හි පැවැති ටෙස්ට් තරගය ඓතිහාසික ජයග්‍රහණයක් කරා රැගෙන ගිය කුසල් ජනිත් පෙරේරා එසේ පැවසූයේ තරගයෙන් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

ඔහු එසේ පැවසුවද මිනිත්තු 309ක කාලයක් පුරා පිත්ත හැසිරවූ කුසල් තරගයේදී තමන් සිදුකළ යුත්තේ කුමක්දැයි නිවැරදිවම අවබෝධකරගෙන සිටියේය. ඒ මන්දයත් මොහොතින් මොහොත දුරස්විය හැකි ජයග්‍රහණයක් ළංකර ගැනීමට පිතිකරුවන්ට නායකත්වය ලබාදීමට ඔහු සමත්වූ හෙයිනි.

දින හතරක් තුළ ටෙස්ට් තරගයක විසඳුම ලබාදෙමින් එය එක් කඩුල්ලක තියුණු හා උද්වේගකර ජයක් කරා මෙහෙයවන්නට ඒ අනුව කුසල් ජනිත් පෙරේරාට හැකිවිය. ලකුණු 304ක් ලබා ගැනීමේ සිව්වැනි ඉනිමේ බැරෑරුම් අභියෝගය ජයගැනීමට ඔහු සමත් වූ අතර එක් කඩුල්ලකින් ටෙස්ට් තරගයක් ජයගත් ලොව 13 වැනි අවස්ථාවද එයවිය.

‘මේක තනි පුද්ගලයකුගේ ජයක් නොවෙයි. කණ්ඩායමක් වශයෙන් ලබාගත් ජයක්. විශේෂයෙන්ම පසුපෙළ පිතිකරුවන් එතැන ඉන්නවා. ඔවුන් මේ ලකුණු ප්‍රමාණය හඹායන්න ගොඩාක් සහය දැක්වුවා. ඒ වගේමයි මම මෙය ජයගත හැකි ඉලක්කයක් බව විශ්වාස කළා. මම යමක් කළා... මම මගේ කොටස කළා. නමුත් අපි කණ්ඩායමක් වශයෙන් ජයගත්තා. මුළු ඉනිම පුරාම සම්බන්ධතා තමයි වැදගත් වුණේ. ඒ නිසයි අපිට ලකුණු 304ක් හඹායන්න හැකිවුණේ.

ඔබට එක ක්‍රීඩකයෙක් ගැන හරි එක සම්බන්ධතාවක් හරි විශේෂ කරලා කතාකරන්න බැරි ඒකයි. අපි එකළොස්දෙනාටම ලකුණු රැස්කරන්න සිද්ධ වුණා. රට වෙනුවෙන් මම ක්‍රීඩාකළ හොඳම ටෙස්ට් තරගය තමයි මේ.

‘දකුණු අප්‍රිකාව වගේ රටක පන්දුව ඇඟේ වද්දා ගන්නෙ නැතිව ක්‍රීඩාකරන්න හැකියි කියලා කවුරුහරි හිතනවා නම් ඒක විසුළුවක්. මේවගේ තණතීරු සහිත රටක ක්‍රීඩා කරන එක ලෙහෙසි නැහැ.

දකුණු අප්‍රිකානු පන්දුයවන්නෝ ලෝකයේ හොඳම ටෙස්ට් පන්දුයවන්නන් පස්දෙනා අතර ඉන්නවා. ඔවුන් එවන්නෙ මොනවගේ පන්දුද කියලා ඔබට පළමුවෙන්ම තේරුම්ගන්න බැහැ. තරගයකදී ඔවුන් ඔබට කිසිම අවස්ථාවක් දෙන්නෙත් නෑ. ඒතරමටම ඔවුන්ට අත්දැකීම් තිබෙනවා.

ඔවුන් අපිට දුර්වල පන්දු එව්වෙ කීපයක් විතරයි. බෝල කීපයක් මගේ ඇඟේ වැදුණා. ඒක කීපාරක්ද කියලාවත් මට මතක නෑ. ඒතරමටම පන්දු ඇඟේ වැදුණා. අවංකව කියනවානම් මට ඒ ප්‍රමාණය ගණන් කරගන්නත් අමාරුයි. ඒ ඇඟේ වදින්නෙත් පැයට කිලෝ මීටර් 150ක විතර වේගයෙන් එන බෝලයක්. එතකොට දැනෙන්නෙ මොනවගේ හැඟීමක්ද කියලා යළි කියන්න අවශ්‍ය නෑ.

ශ්‍රී ලංකාවේ නම් පැයට කිලෝ මීටර් 130-140ත් අතර වේගයකින් තමයි පන්දුව එන්නෙ. අපි ඒකට සූදානම් වෙන්න අවශ්‍යයි. එයට මට මුහුණදෙන්න වුණා. ඒක තමයි ක්‍රිකට්වල ස්වභාවය’ කුසල් ජනිත් ප්‍රකාශ කළේය.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවැති පළමු ටෙස්ට් තරගය ජයගැනීමෙන් අනතුරුව ඔහු මේ බව පැවසූයේ තරගයේ වීරයා සම්මානය දිනාගැනීමෙන් අනතුරුව අදහස් දක්වමිනි. ඒ අනුව අවසන් කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 78ක සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් ටෙස්ට් පිටියේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමටද කුසල් ජනිත් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු සමත්වූහ. මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ පාකිස්තානයේ ඉන්සමාම් උල්හක් සහ මුෂ්ටාක් අහමඩ් එක්වය. ඒ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සම්බන්ධතාවයක් පවත්වමින් ටෙස්ට් තරගයක් ජයගැනීම සඳහා ලකුණු හඹායමිනි.

පළමු ටෙස්ට් තරගයේ ලකුණු 304ක ජයග්‍රාහී සහ අභියෝගාත්මක ඉලක්කයක් හඹායාම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ සිකුරාදා දිනය අවසන්වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 83ක් රැස්කර සිටියේය. ඒ වනවිට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 221ක් පිටුපසින් පසුවූ අතර කඩුල්ලේ රැඳීසිටියේ කුසල් ජනිත් පෙරේරා සහ ඔසඳ ප්‍රනාන්දුය.

ඉදිරි පෙළ පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න සහ කුසල් මෙන්ඩිස් ඒ වනවිට සිය කඩුලු අහිමිකරගනිමින් ක්‍රීඩාගාරය වෙත ගොස් සිටියහ. 29 වැනි පන්දුවාරයට මුහුණ දෙමින් සිව්වැනි දිනයේ තරගය ආරම්භ කළ අතර තවත් පන්දුවාර නවයක් පමණක් ක්‍රියාත්මක වෙමින් තිබියදී ඔසඳගේ කඩුල්ල ශ්‍රී ලංකාවට අහිමිවිය. ඔහු ලකුණු 37ක් රැස්කර සිටියදී දකුණු අප්‍රිකාව සතු පළපුරුදු වේගපන්දු යවන්නා වන ඩේල් ස්ටේන් විසින් ඔහුව දවාගනු ලැබිණි.

ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා, කුසල් ජනිත් සමඟ එක්ව ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේ සටන තවදුරටත් ඉදිරියට රැගෙන ගියේය. ශ්‍රී ලංකා ඉනිම බලාපොරොත්තු ස්ථාවරයකට රැගෙන යන බව ප්‍රදර්ශනය කරමින් සිටියදී දිවා ආහාරය අවසන්කර නොබෝ වේලාවකින් ධනංජය දැවී යද්දී ක්‍රියාත්මක වෙමින් තිබුණේ තරගයේ 64 වැනි පන්දුවාරයයි. ඊළඟ පන්දුවේදී සුරංග ලක්මාල් දැවීයාමත් සමඟ තරගයේ වාසිය යළි දකුණු අප්‍රිකාව වෙත තල්ලුවෙන ආකාරයක් දක්නට ලැබිණි.

ඉන් අනතුරුව පිටියට පිවිසි යොවුන් පිතිකරු ලසිත් ඇඹුල්දෙණියගේ කඩුල්ල දවාගැනීමට ඩුආනේ ඔලිවියර් සමත්විය. අනතුරැව කසුන් රාජිතගේ කඩුල්ල මහරාජ් දවා ගැනීමට සමත් විය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නවවැනි කඩුල්ල බිඳවැටීම සටහන් වූ අතර අනපේක්ෂිත සහ උද්වේගකර සටන ආරම්භ වූයේ ඉන් අනතුරුවය.

‘ඒ කඩුල්ල දැවී යද්දී මම ලකුණු පුවරුව දිහෑ බැලුවෙවත් නෑ. මොකද මම දැනගෙන සිටියා අපිට ලොකු ලකුණු ගණනක් ගහන්න තිබෙන බව. මම උත්සහ කළේ පන්දුවාරයෙන් පන්දුවාරයට ඒ ලකුණු පරතරය පොඩ්ඩ, පොඩ්ඩ අඩුකරගන්න. විශ්ව පිටිය මැදට එන ගමන් මට කිව්වේ, ‘කුසල් අයියා මුකුත්ම කරන්න බැරිනම් මම ඇඟෙන් හරි ගහන්නම්. ඔයා, ඔයාට පුලුවන් දේ කරන්න’ කියායි. ඒ කතාව මට විශාල ශක්තියක් වුණා.

ඊට පස්සෙ කිසිම බයක් නැතිව මම එක ලකුණක් ගන්න පැතිමාරුකරලා ඔහුට පන්දුවට මුහුණ දෙන්න අවස්ථාව දුන්නා. ඔහු ලොකු රාජකාරියක් කළා. ඔහු ඒ වෙලාවෙ දැවීගියානම් මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ. එතකොට අපි ඔක්කොම දැවීයනවා. මම දන්නෙ නෑ ඔහු බෝල කීයකට මුහුණදුන්නද කියලා. ඒ හැම පන්දුවක්ම වටිනවා.ඇත්තම කියනවානම් මම ගත්තු ලකුණු වලට වඩා වටින්නේ විශ්ව මුහුණදුන්නු ඒ පන්දු ටිකයි’ යැයි කුසල් ජනිත් පැවසීය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකාව වෙත පැවරීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කටයුතු කළ අතර සත්කාරකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 235ක් රැස්කරනු ලැබිණි. එහිදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් සහ කසුන් රාජිත කඩුලු 3ක් දවාගනිමින් දක්ෂතා දැක්වූහ. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 191කට සීමාවුණු අතර දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම සටහන් වූයේ ලකුණු 259ක් ලෙසය. ලසිත් ඇඹුල් දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු පිළිවෙලින් කඩුලු 5ක් සහ 4ක් දවාගනිමින් දෙවැනි ඉනිමේදීද දක්ෂතා දැක්වූහ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය පෙබරවාරි 21වැනිදා පෝට් එලිසබත්හිදී ආරම්භවීමට නියමිතය.


153*

මීට වසර විස්සකට පෙර බාබෙඩෝස්, බ්‍රිජ්ටවුන්හි කිංග්ස්ටන් ඕවල් පිටියේදී අංක අට සහ අංක 11 පිතිකරුවන් දෙදෙනාගේ සහය සහිතව ටෙස්ට් තරගයක් ජයගැනීමට තම කණ්ඩායම මෙහෙයවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා සමත්විය. එහිදී නොදැවී ලකුණු 153ක් රැස්කිරීමට ඔහු සමත්වූ අතර කොදෙව් පිලට හිමිවූයේ එක් කඩුල්ලක තියුණු ජයකි. එහිදී ඔහු පිටියට පිවිසියේ අංක පහ පිතිකරුවා වශයෙනි.

ඊට වසර විස්සකට පසු දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි පැවැති ටෙස්ට් තරගයේදී සංචාරකයන් වශයෙන් සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අංක පහ පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 153ක් රැස්කරමින් එම ටෙස්ට් තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්වූයේය.

එහිදීද ඔහුගේ සහයට පැමිණි අංක 11 පිතිකරු සමඟ දීර්ඝ සම්බන්ධතාවක් පිහිටුවාගත් අතර බ්‍රයන් ලාරා මෙන්ම කුසල් ජනිත් පෙරේරාද වමත් ක්‍රීඩකයන්වීම මෙහි ඇති අනෙක් සමානත්වය වීම විශේෂත්වයකි.


විස්මිත තරගයක්

ෆැෆ් ඩු ප්ලෙසිස්

ඒක විස්මිත තරගයක්. පරාජිත කණ්ඩායම නිසැකවම ඒ ගැන කනගාටු වෙනවා. අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 60-70 ගහනවා කියන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් හොඳ තත්ත්වයක්. ඒ වගේ ටෙස්ට් තරග තමයි නැරඹිය යුත්තේ. ශ්‍රී ලංකාව හොඳට ක්‍රීඩා කළා. කුසල් ජනිත් පෙරේරා විශ්වාස කරන්න බැරි ඉනිමක් ක්‍රීඩා කළේ. ඒක සුපර්මෑන් කෙනෙක්ගේ ඉනිමක්. ඔහු සියලු ගෞරවවලට හිමිකම් කියනවා.

පන්දුව දෝලනය වුණේ අඩුවෙන්. අපි පළමු ඉනිමෙ හිතුවට වඩා ලකුණු 50ක් අඩුවෙන් රැස්කළේ. දෙවැනි ඉනිමෙදිත් අපිට තවත් ලකුණු 30-50ත් අතර ගණනක් රැස්කළ යුතුව තිබුණා. ඒත් අපේ පන්දුයවන්නෝ අන්තිම දින දෙකේ හොඳින් පන්දුයැව්වා.


ජයග්‍රහණයට සුබ පැතුම් ගලයි

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ලබාගත් ටෙස්ට් ජයග්‍රහණයට දසතින් සුබ පැතුම් පළවෙමින් තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කර ඇති අතර හිටපු ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, රංගන හේරත් ද සුබපැතුම් එක්කළවුන් අතරවේ. ඊට අමතරව කණ්ඩායමේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කළ කණ්ඩායම අතර ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, තිසර පෙරේරා, රොෂාන් අබේසිංහ, රසල් ආර්නල්ඩ්, රවිචන්ද්‍ර අෂ්වින්, ඉයන් බිෂොප් ඇතුළු බොහෝ පිරිසක් වෙති.

නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ලබාගත් මෙම ටෙස්ට් ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ වෙසෙන ටෙස්ට් ජාතීන් රැසක් අවධිකරනු ලබන ජයග්‍රහණයක් වශයෙන් සැලකෙයි.


කුසල් ශ්‍රේණි පඩි හැටක් එකවර නගී

අයි.සී.සී. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව සියවැනි ස්ථානයේ පසුවූ කුසල් ජනිත් පෙරේරා එහි පියවර 60ක් ඉදිරියට පැමිණෙමින් හතළිස් වැනි ස්ථානයට පත්ව ඇත. කුසල් මෙන්ඩිස් පියවර 11ක් පසුපසට යමින් එහි 29වැනි ස්ථානයට පත්ව ඇති අතර දිමුත් කරුණාරත්න පියවරක් පසුබසිමින් 10 වැනි ස්ථානයේ රැඳී තිබේ.

පන්දුයවන්නන් අතර පළමු තැන රැඳී සිටි කගිසෝ රබාඩා තෙවැනි තැනට පත්ව ඇති අතර ග්ලේන් මැක්ග්‍රාත්ගෙන් පසු එහි මුල් ස්ථානයට පත්වූ පළමු ඔස්ට්‍රේලියානු බවට පත්වීමට පැට් කමින්ස් සමත්ව ඇත.


අපූරු අත්දැකීමක්

දිමුත් කරුණාරත්න

ඇත්තටම එය අපූරු අත්දැකීමක්. අපි මේ තරගයට ඉස්ෙසල්ලා හිතුවා මේක අපිට වාසිසහගත තරගයක් කියලා. 2012 වසරේදී අපි ඩර්බන්හි ටෙස්ට් තරගයක් දිනලා තිබුණා. ඔස්ට්‍රේලියාවේ තිබුණු ටෙස්ට් තරගාවලිය හරිම අසීරු එකක්. අපි එහෙදි බොහෝදේ ඉගෙන ගත්තා. මම හිතුවා දකුණු අප්‍රිකාවෙදි අපේ ක්‍රීඩකයෝ යම් දෙයක් කරාවි කියලා. අපි පහුගිය අවුරුදුවල තරග රැසක් පරාජය වුණා. අපි දිනන්නේ කවදාද කියලා ක්‍රීඩාලෝලීන් බොහෝදෙනෙක් බලා සිටියා. කණ්ඩායමක් වශයෙන් මේ ජයග්‍රහණය අභිමානනීය අවස්ථාවක්. නායකයකු වශයෙනුත්, රටක් වශයෙනුත් එය ඒවගෙයි. දකුණු අප්‍රිකාවේදී ජයගැනීම කියලා කියන්නේ තවත් වැදගත්.

මාතෘකා