පළමු ස්ථානය සඳහා මහනුවර සහ හැව්ලොක් හෙට ගැටෙති

 ඡායාරූපය:

පළමු ස්ථානය සඳහා මහනුවර සහ හැව්ලොක් හෙට ගැටෙති

අන්තර් සමාජ රග්බි තරගාවලිය

එක ලකුණක පරතරයක් සහිතව ලීග් ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනාගෙන සිටින මහනුවර කණ්ඩායම සහ හැව්ලොක් කණ්ඩායම අතර රග්බි තරගය හෙට (16) පස්වරුවේ හැව්ලොක් පාක් හිදී පැවැත්වෙයි.

ලීග් තරගාවලියේ දෙවැනි සහ අවසාන වටයේ අවසන් තරග පැවැත්වෙන මෙම සති අන්තයේදී හැව්ලොක් සහ මහනුවර තරගය ලීග් තරගාවලියේ අවසාන මහා තරගයක ස්වරූපය ගනු ඇත. ඒ දෙපිල අතර පරතරය එක ලකුණක් ලෙස පැවතීම හේතුවෙනි. මහනුවර කණ්ඩායම ලකුණු 67ක් සහ හැව්ලොක් කණ්ඩායම ලකුණු 66ක් ලබාගෙන එහි පෙරමුණේ ස්ථානගතව සිටී. මෙම තරගය ජය ගන්නා කණ්ඩායම ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වනු ඇත.

හැව්ලොක් කණ්ඩායම සිය ක්‍රීඩාංගණයේ වාසියද සමග තරගයට පැමිණෙන අතර මහනුවර කණ්ඩායම පැමිණෙන්නේ තරගාවලියේ පළමු වටයේදී හැව්ලොක් කණ්ඩායම පරාජය කිරීමේ වාසිය රැගෙනය.

තරගාවලියේ ලීග් වට දෙක අවසන් වීමෙන් පසුව පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයටද තරග පැවැත්වීමට නියමිත බැවින් තරගාවලියේ ජයග්‍රහණය සඳහා ඉදිරියේදී පැවැත්වෙන පිළිමළුන් පිටුදැකීමේ තරගද ජයගැනීම මෙම කණ්ඩායම් දෙකට අතිශයින්ම වැදගත්ය.

ලකුණු 57ක් ලබාගනිමින් ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිටින සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමටද තරගාවලියේ ශූරතාව ජය ගැනීම සඳහා අවස්ථාවක් ඇති බව පෙනී යන්නේ ඔවුන් අවසානයේ සහභාගීවූ තරග 9ම පිට පිටම ජයගනිමින් ප්‍රබල සටනකට අවතීර්ණව සිටින හෙයිනි. මෙම සති අන්තයේදී ඔවුන් සහභාගීවන යුද හමුදාව සහ තරගය ජයගතහොත් දෙවැනි ස්ථානය ලබා ගන්නා කණ්ඩායම සමග ලකුණු පරතරය තවත් අඩුවනු නිසැකය.

 

[ඩබ්ලිව්. ආර්. කුමාර] ඡායා [පපරේ අනුග්‍රහයෙන්]

මාතෘකා