දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගයට සූදානම් ෆැෆ් ඩු ප්ලෙසිස්

 ඡායාරූපය:

දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගයට සූදානම් ෆැෆ් ඩු ප්ලෙසිස්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සූදානම් බව කණ්ඩායම් නායක ෆැෆ් ඩු ප්ලෙසිස් පවසයි. දෙරට අතර හෙට ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් නම්කර ඇති කණ්ඩායමේ වේග පන්දු බල ඇණිය ඩේල් ස්ටේන් සහ කගිසෝ රාබාඩා මෙහෙයවන අතර වර්නන් පිලැන්ඩර් එම අභියෝගයට මූලිකත්වය ගන්නා අනෙක් පන්දු යවන්නා බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කරසිටී.

පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩයකු වන වියාන් මුල්ඩර් කැඳවීම කණ්ඩායම තුළ සිදුකළ එකම වෙනසවී තිබේ. මුල්ඩර් තවමත් ටෙස්ට් වරම් හිමිකරගෙන නැති අතර දේශීය තරගවලදී වඩාත් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩයකු ද වේ. ‘අපට අවශ්‍ය පන්දු යැවීමේ දක්ෂතා දක්වන, පන්දුවට පහරදීමේදීද දක්ෂතාවක් ඇති ක්‍රීඩකයකු නිර්මාණය කරගන්න. අපි ඒ අවස්ථාව මුල්ඩර්ට ලබාදීලා තිබෙනවා. ඔහුගේ සාර්ථකතාව ගැන අපි බලා සිටිමු.’ එරට තේරීම් කමිටුව පවසා ඇත.

මුල්ඩර් දේශීය සිව්දින තරගාවලියේදී කඩුලු දවාගනිමින් සහ පෞද්ගලික හොඳම ඉනිම ක්‍රීඩා කර ලකුණු 146ක් රැස්කර තිබේ. නම් කළ දකුණු අප්‍රිකානු සංචිතය මෙසේයි.

ෆැෆ් ඩු ප්ලෙසිස් (නායක), හසීම් අම්ලා, ටෙම්බා බෞමා, තෙයුනිස් ඩි බෘන්, ක්වින්ටන් ඩි කොක්, ඩීන් එල්ගර්, සුබායර් හම්සා, කේශව් මහරාජ්, එයිඩ්න් මාර්ක්රාම්, වියාන් මුල්ඩර්, ඩුආනේ ඔලිවර්, වර්නන් පිලැන්ඩර්, කගිසෝ රබාඩා, ඩේල් ස්ටේන්.

මාතෘකා