ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට උපදෙසක් දුන්නත් රාජකාරියක් බාරගන්න බැහැ

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට උපදෙසක් දුන්නත් රාජකාරියක් බාරගන්න බැහැ

මුත්තයියා මුරලිදරන්

තමන් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති හෙයින් තවදුරටත් ක්‍රීඩාව සමඟ සෘජුව බද්ධ විය නොහැකි බව ලෝක ශූර පිට දඟ පන්දුයවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. ඉන්දියාවේ ‘ප්‍රෙස් ට්‍රස්ට්’ පුවත්පතට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

‘මම සමුගත්ත දවසේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක එකතුවෙලා කටයුතු කර නැහැ. රටේ ක්‍රිකට් කඩාවැටීම ගැන ඇත්තටම මට කනගාටුයි. අපි අභිමානවත් ක්‍රිකට් ජාතියක්. ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් තරගයට තෙවරක් පැමිණි ජාතියක්. අපිට හොඳ ක්‍රිකට් සංස්කෘතියක් තිබෙනවා. නමුත් දැන් අපි පත්වෙලා ඉන්න අර්බුදය ගැන කනගාටුයි.’ යැයි ඔහු පවසා තිබේ.

‘මේකට හේතුව මුදල් ප්‍රධාන වීම. මම ක්‍රීඩාකරන කාලයේ මුදල් ප්‍රධාන වුණේ නැහැ. ඒකාලෙ එතරම් මුදල් ලැබුණෙත් නෑ. අපි ක්‍රිකට් ගැහුවෙ ලකුණු වලටයි, කඩුලු වලටයි. ඒ තත්ත්වය දැන් ටිකක් වෙනස් වෙලා. දැන් ක්‍රීඩකයෝ මුදල් ගැන වැඩිපුර නැඹුරවී තිබෙනවා. ඒ නිසා ක්‍රිකට්වල තත්ත්වය පහතට ගිහින්.

‘ක්‍රීඩකයකු වශයෙන් ඔබ වැඩිපුර සිතිය යුත්තේ ඔබේ ක්‍රීඩාව ගැන මිස මුදල් ගැන නොවෙයි. ඔබ හොඳින් දක්ෂතා දක්වන විට මුදල් ඔබ පසුපසින් පැමිණේවි.’ මුත්තයියා මුරලිදරන් පවසා ඇත.

දක්ෂතාවයේ ගුණාත්මක භාවය ගැන වැඩිවශයෙන් සිතා බැලිය යුතු බවත් පසුගිය කාලය තුළ ජාතික කණ්ඩායමේ දක්ෂතා එමගින් තේරුම්ගත හැකිබවත් ඔහු ප්‍රකාශකර තිබේ.

‘පසුගිය කාලයේ අපි ඉහළ දක්ෂතා ඇති ක්‍රීඩකයන් හැදුවෙ නෑ. ගෙවුණු අවුරුදු තුන හතරේ මේ තත්ත්වය හුඟක් අඩුයි. පුහුණුකරුවෝ කියන්නේ ක්‍රීඩකයෝ හදන අය නොවෙයි. ඔවුන්ට හැකිවන්නේ මූලික කරුණු කියාදෙන එක විතරයි. ඊට පස්සේ සාර්ථක වෙන නොවෙන එක තමුන්ගේ වගකීමක්.’ටෙස්ට් කඩුලු 800 ක් දවාගෙන ඇති මෙම සුපිරි පන්දුයවන්නා පවසා ඇත.

‘මට මගේ පවුල වෙනුවෙන් වැඩිපුර කාලය යොදන්න වෙලා තිබෙනවා. ඒ වගේමයි තවත් සමාජීය යුතුකම් සහ වගකීම් තිබෙනවා. ඒ නිසා ක්‍රිකට් වෙනුවෙන් පූර්ණ කාලීනව සම්බන්ධවෙන්න අසීරුයි. අවශ්‍ය ඕනෑම මොහොතක උපදේශයක් දෙන්න හැකියි. නමුත් වෙනත් වගකීමක් දැරිය නොහැකියි.’ මුරලි එහිදී වැඩිදුරටත් පවසා ඇත.

මාතෘකා