අන්තර් සමාජ රග්බි තරගාවලිය

 ඡායාරූපය:

අන්තර් සමාජ රග්බි තරගාවලිය

තියුණු සටනකින් පසු මහනුවරට ජය

අවසන් මොහොතේදී ඔමල්ක ගුණරත්න අතින් පන්දුව ගිලිහීයාම නිසා මහනුවර කණ්ඩායම පරාජය කරමින් ලබාගැනීමට තිබූ ජයක් සී.ආර්. කණ්ඩායමට අහිමි වුණේය. පසුගිය සති අන්තයේ ලොන්ඩන් පෙදෙසේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්විණි. ඉතාමත්ම තියුණු තරගයකින් අනතුරුව ලකුණු 31-26ක් ලෙස මෙම තරගයෙන් ජය ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.

පසුගිය වසරේ මෙන් නොව මෙවර තරගාවලියේදී තරග දෙකක් පරාජය වී ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටින මහනුවර කණ්ඩායම මෙම තරගයට පැමිණියේම යම් පීඩනයකින් බව බැලූ බැල්මටම පෙනී ගියේය. එහෙත් තරගය ආරම්භයේදීම ඉතා හොඳින් ඒ සඳහා අවතීර්ණවූ මහනුවර ක්‍රීඩකයෝ ජයග්‍රාහී ගමනකට මුලපිරූහ.

දෙවැනි මිනිත්තුවේදීම අනුරුද්ධ විල්වර විසින් මහනුවර කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. තිළිණ විජේසිංහ එය පහසුවෙන් ප්‍රවර්තනය කළෙන් ලකුණු 7-0ක් ලෙස ආරම්භයේම ඉදිරියට පැමිණීමට මහනුවර කණ්ඩායම සමත් විය. 6 වැනි මිනිත්තුවේදී උචිත ජයසූරිය තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර තිළිණ විජේසිංහ එයද සාර්ථකව ප්‍රවර්ථනය කිරිමට සමත් විය. ඒ අනුව ලකුණු තත්ත්වය 14-00 ක් ලෙස මහනුවර ඉදිරියෙන් පසුවිණි.

ඊට මිනිත්තු හතරකට පසු සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් ස්ටීවන් සිවරාජ් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙනි. අනතුරුව රොෂාන් වීරරත්නගේ උත්සාහයක් සාර්ථකවූ අතර තිළිණ විජේසිංහ අමතර ලකුණු දෙකක් එක් කළෙන් මහනුවර 21-03 ක් ලෙස ලකුණු පුවරුව ඉදිරියට රැගෙන යාමට සමත් විය. 20 වැනි මිනිත්තුව වන විට ෂෙහාන් පතිරණ සහ තිළිණ විජේසිංහගේ දායකත්වයෙන් මහනුවර ලකුණු තත්ත්වය 28 දක්වා ඉහළ ගියේ සී.ආර්. කණ්ඩායමට ඉතා දැඩි පීඩනයක් යොමු කරමිනි. මේ අතර සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් තරගයේ 24 වැනි මිනිත්තුවේදී වජීඩ් ෆවුමි ලබාගත් උත්සාහක දිනුම ස්ටීවන් සිවරාජ් සාර්ථකව ප්‍රවර්ථනය කළ අතර පළමු අර්ධය අවසන් වීමට පෙර තවත් දඬුවම් පහර දෙකකින් ලකුණු රැස් කරගැනීමටද සිවරාජ් සමත් විය. ඒ අනුව ලකුණු පුවරුව කියැවුණේ 28-16ක් ලෙසය.

දෙවැනි අර්ධයේදී මහනුවර කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 3ක් පමණි. ඒ එක් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙනි. සී.ආර්. කණ්ඩායම දඬුවම් පහරක් සාර්ථකකර ගත් අතර 56 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සාර්ථකව ප්‍රවර්ථනය කිරීමට ද සමත් විය. අවසන් මිනිත්තු 24ක පමණ කාලයක් දෙපිලම ලකුණු ලබා ගැනීමට උත්සාහ කළත් දෙපිලේම ආරක්ෂ පෙළ දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් එම උත්සාහයන් ව්‍යර්ථ කිරීමට සමත් වූහ. ඒ අනුව මහනුවර කණ්ඩායම තියුණු තරගවයකින් පසුව ලකුණු 31-26ක ජයක් ලැබීය.

[ඩබ්ලිව්. ආර්. කුමාර] ඡායා [තිලක් පෙරේරා]

මාතෘකා