නිදහස් පාපැදි සවාරියේ ජය බුද්ධික වර්ණකුලසූරියට

 ඡායාරූපය:

නිදහස් පාපැදි සවාරියේ ජය බුද්ධික වර්ණකුලසූරියට

71 වැනි නිදහස් දිනය සමරමින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණයෙන් ෆ්ලයිංවීල් පාපැදි සමාජය සහ ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමය විසින් පවත්වනු ලැබූ ‘ෆ්ලයිංවීල් නිදහස් පාපැදි සවාරියේ’ පිරිමි විවෘත තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරියට හිමි විය.

කි.මී. 98ක් දුර පැවැති තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විරාන් රමේෂ් විසිනි. තෙවැනි ස්ථානය දෙහිවල - ගල්කිස්ස නගර සභා ක්‍රීඩා සමාජයේ සුමුදු සඳරුවන් ප්‍රනාන්දුට හිමිවිය. මෙම තරගයේ පළමු ස්ථාන හතර දිනා ගත් ක්‍රීඩකයන් සිව්දෙනාම පැය 02යි, මිනිත්තු 24යි, තත්පර 01ක් ලෙස සමාන කාලයක් ගතකර තිබුණි.

තරගකරුවන් 116 දෙනෙක් සහභාගී වූ ෆ්ලයිංවීල් නිදහස් පාපැදි සවාරිය කෙරවලපිටිය මංසන්ධියෙන් ආරම්භවී හැඳල හන්දිය, කඳාන, පමුණුගම, ඇල කන්ද හන්දිය ඔස්සේ කෙරවළපිටිය දක්වා වට පහකින් යුක්ත විය. තරගයේ පළමු ස්ථානය හිමිකරගත් බුද්ධික වර්ණකුලසූරියට ශූරතා කුසලාන සමග මුදලින් රුපියල් 75,000ක් තරග සංවිධායකයන් විසින් ප්‍රදානය කෙරිණි. දෙවැන්නාට මුදලින් රු. 50,000ක්, තෙවැන්නාට රු. 25,000ක් ද හිමි විය. සහභාගිවූ තරගකරුවන් සඳහා පාපැදි ටයර් සහ ටියුබ් ලබාදීමටකටයුතු කර තිබිණි. ජයග්‍රාහකයන්ගේ ත්‍යාග සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඩෝල්ටන් ජානක සූරියබණ්ඩාර මහතා තම විමධ්‍යගත අරමුදලින් රුපියල් 300,000ක් ප්‍රදානයකර තිබිණි.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා