ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරගය අද

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරගය අද

ආබාධ බියකින් සුරංග ලක්මාල්ගේ ස්ථානයත් අවිනිශ්චිත වෙයි!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද කැන්බරාහිදී ආරම්භ වෙයි. පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් ලෙසින් සැලකෙන කැන්බරාහි මැනුකා ඕවල් තණතීරුවේ පැවැත්වන පළමු ටෙස්ට් තරගය ලෙස සැලකෙන්නේද මෙම තරගයය. එම තණතීරුව දෙපිලටම සම අවස්ථා උකහාගත හැකි තණතීරුවක් වනු ඇතැයි විචාරකයෝ දැනටමත් මත පළකරති. එහෙයින් තරගයේ කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම බොහෝදුරට පළමුව ඉනිම අරඹනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ තණතීරුවේ පළමුව පන්දු යැවීමේදී මුල් පැය කීපයේ ලබාගත හැකි වාසිය පරයා සිව්වැනි ඉනිම ක්‍රීඩා කිරීමේදී දඟ පන්දුවෙන් වැඩි වාසි උකහාගැනීමේ අපේක්ෂාවෙනි. අද ඇරඹෙන තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පාර්ශ්වයෙන් වැඩි වගකීම් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නායකයා දැනටමත් ප්‍රකාශ කර ඇත. ඒ වෙනුවෙන් කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, රොෂේන් සිල්වා සහ ධනංජය ද සිල්වා මෙන්ම ළහිරු තිරිමාන්නගෙන්ද වැඩි වශයෙන් වගකීම් ඉටුවිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා කළමනාකාරිත්වයේ අපේක්ෂාවය.

‘අපේ කණ්ඩායමේ නම් බොහෝවිට කිසි වෙනසක් සිදුනොවනු ඇති.’ යැයි ඔස්ට්‍රේලියානු නායක ටිම් පේන් තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. ‘අපි බ්‍රිස්බේන් තරගය ජයගෙන කැන්බරා ඇවිත් ඉන්නේ සතුටින්. ඒ ජයග්‍රාහී කණ්ඩායමම අද තරගයේදීත් ක්‍රීඩා කරාවි.’ පේන් තවදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ අතර ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට එක්දින තරග විශේෂඥයකු ලෙස සැලකෙන මාකස් ස්ටොයිනිස් කැඳවීමට එරට තේරීම් කමිටුව පසුගියදා ක්‍රියා කළේය. එහෙත් අද ඇරඹෙන තරගයට ඔහු ක්‍රීඩා නොකරනු ඇතැයි විශ්වාස කෙරේ. අතිරේක පන්දුයවන්නකු ලෙස මානුස් ලැබුස්චාන් අවශ්‍ය මොහොතේදී කණ්ඩායමට සහය දක්වනු ඇතැයි යන්න ඊට හේතුවයි. අවශ්‍ය නම් ඔහුට ලෙග් බ්‍රේක් පන්දුයවන්නකු ලෙසින් කටයුතු කළ හැකිය. එම හැකියාව හේතුවෙන් මාකස් ස්ටොයිනිස්ට කණ්ඩායම තුළට පැමිණීමට තහංචි පැනවී ඇත.

‘තරගය පැවැත්වීමට නියමිත තණතීරුව බ්‍රිස්බේන් තණතීරුවට වඩා සපුරා වෙනස්. මම හිතනවා මානුස්ගෙන් වැඩි පන්දුවාර ප්‍රමාණයක් යවාගන්න. ඔහු මෙවැනි තණතීරුවකට වඩාත් උචිත පන්දු යවන්නෙක්.’ ඔස්ට්‍රේලියානු නායකයා ස්ටොයිනිස් කණ්ඩායමට ඇතුළත් නොකරනු ඇතැයි වක්‍රාකාරව පවසා තිබේ.

අද ඇරඹෙන කැන්බරා තරගය අළු බඳුන ක්‍රිකට් තරගාවලියට පෙර ඔස්ට්‍රේලියාව තරග වදින අවසන් ටෙස්ට් තරගය ලෙසින්ද සැලකෙයි. ඒ අනුව බලන කල මෙම තරගයේදී හොඳින් ලකුණු අතරට පිවිසෙමින් ප්‍රතිවාදී කණ්ඩායම අසීරුවේ දැමීම ඔස්ට්‍රේලියානුවන්ගේ නිසඟ අපේක්ෂාව වී ඇතුවා නිසැකය. ‘අපි නව පන්දුවේ වගකීම බාරදී තිබෙන්නේ ස්ටාක්ට. ඔහු නව පන්දුවෙන් පන්දු යවන අපේ ඉන්න හොඳම පන්දු යවන්නා කියලා අපි හිතනවා. ඒ නිසා මුල් පන්දුවාර කීපයේ වගකීම අප පවරන්නේ ඔහුටමයි. නිසැකවම පන්දුව දෝලනය කරමින් තරගයේ මුල් කාර්තුවේ කඩුලු කීපයක් දවාගන්න ඔහුට හැකිවේවි. අනෙක ජොස් හේසල්වුඩ් අද තරගයටත් ක්‍රීඩා කරන්නෙ නෑ. ඔහු තවමත් ආබාධයෙන් පෙළෙනවා. පැට් කමින්ස් තමයි අද තරගයේදීත් ක්‍රීඩා කරන්නේ.’ යැයි ඔස්ට්‍රේලියානු නායකයා වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ නමුත් අද ඇරඹෙන තරගයේදීද විශිෂ්ට ඔස්ට්‍රේලියානු අපේක්ෂාවක් වන විල් පුකොවොස්කිට අවස්ථා අහිමිවනු ඇත. ඔහුට අමතරව පීටර් සිඩ්ල්ද ක්‍රීඩා නොකරනු ඇතැයි එම කණ්ඩායම් ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

මේ අතර අද තරගය සඳහා සහභාගිවීමට නියමිත සංචාරක ශ්‍රී ලංකා පිල ආබාධ වැලක් හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්ව තිබේ. එහි අලුත්ම තත්ත්වයට ලක්ව ඇත්තේ සුරංග ලක්මාල්ය. ඔහු අද තරගයට ක්‍රීඩා කරන්නේද නැද්ද යන්න මෙතෙක් තීරණය කර නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ, ‘කණ්ඩායම මොකක්ද කියලා දැන්ම කියන්න බැහැ. එය නිසැකවම කියන්න හැකිවන්නේ හෙට උදෑසන තමයි. පළමු ටෙස්ට් තරගය පැවති ගැබා පිටිය ඔස්ට්‍රේලියාවෙත් වැඩියෙන්ම පන්දුව ඉපිලෙන තණතීරුව බව කවුරුත් දන්නවා. එහි රෝස පන්දුවෙන් ක්‍රීඩා කරනවා කියන්නේ තවත් අසීරුතා ඇතිකරන සිද්ධියක්. නමුත් කැන්බරා තණතීරුව ශ්‍රී ලංකාවෙ තණතීරුවකට සමානයි. අපි අපේ පිතිකරුවන් සාර්ථක කරගනිමින් මේ තරගයට ක්‍රීඩා කරන්න අපේක්ෂා කරනවා’යනුවෙනි.

මේ වන විට ඇතිවූ ආබාධ හේතුවෙන් දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර කණ්ඩායමෙන් ඉවත්කර තිබේ. නුවන් ප්‍රදීප්ද ආබාධයක් හේතුවෙන් පළමු ටෙස්ට් තරගයට පෙරම ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියෙන් ඉවත්විණි. ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කිරීමේදීද ප්‍රබල අභියෝගයක් එල්ලවී තිබේ. අද තරගයේදී සුරංග ලක්මාල් ක්‍රීඩාකරන්නේද යන්න සැක සහිත වී ඇත්තේය. ඒ අනුව ලක්මාල් අද ඇරඹෙන ටෙස්ට් තරගයේදී ක්‍රීඩා නොකරන්නේ නම් කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සමග චාමික කරුණාරත්න වෙත වේග පන්දු යැවීමේ වගකීම බාරදීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම

මාර්කස් හැරිස්, ජෝ බර්න්ස්, උස්මාන් කවාජා, මානුස් ලැබුස්චාන්, ට්‍රේවිස් හෙඩ්, කර්ටිස් පැටර්සන්, ටිම් පේන් (නායක), පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ජායි රිචඩ්සන්, නේදන් ලියොන්.

ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල් (නායක), කුසල් මෙන්ඩිස්, රොෂේන් සිල්වා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්/ චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු.

මාතෘකා

ජනප්‍රිය ලිපි