ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අපහසුතාවක් ඇති වුණා

ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අපහසුතාවක් ඇති වුණා

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල

මෙවර නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතුවල විශාල අඩුපාඩු පවතින බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ලෙස අපහසුතා ඇතිවූ බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා පවසයි.

කත්මන්ඩු නුවර දී මාධ්‍යවේදීන් හමුවේ මේ බව පැවැසු මුතුගල මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නවාතැන් සහ සෙසු පහසුකම් සැපයීමට කටයුතු කළත් ආසියානු ඔලිම්පික් කමිටුවේ මැදිහත් වීමෙන් ඒ සඳහා නේපාල ඔලිම්පික් කමිටුවට මුදල් ලබාදීමට සිදුවූ බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවාතැන්, ආහාර සහ ප්‍රවාහන පහසුකම් සඳහා මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 73ක් නේපාලයට ලබාදී තිබේ.

‘අපි ආසියානු ඔලිම්පික් කමිටුවේ මැදිහත් වීමෙන් නේපාලයට රුපියල් මිලියන 73ක් ලබා දුන්නා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පහසුකම් වෙනුවෙන්. එහෙත් අපි අපේක්ෂා කළ පරිදි පහසුකම් ලැබුනේ නැහැ. මෙහේ තියෙන සංවිධාන කටයුතු ඉතාමත් අසන්විදිතයි. ඒ නිසා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ අපිට අපහසුතාවයන්ට මුහුණදීමට සිදුවුණා. විශේෂයෙන්ම මලල ක්‍රීඩා භූමිය තවමත් සකස් කෙරෙමින පවතිනවා. පිහිනුම් තටාකයේ වැඩ තවම ඉවර වෙලා නැහැ. එසේ වුවත් රන් පදක්කම් 35ක් ඉක්මවා යෑමට අපි අපේක්ෂා කරනවා’

[නිරෝෂාන් ප්‍රියංකර]

News Order: 
10
මාතෘකා