අටවැනි ජාත්‍යන්තර කැරම් සම්මේලන තරගාවලිය අද ඉන්දියාවේදී

 ඡායාරූපය:

අටවැනි ජාත්‍යන්තර කැරම් සම්මේලන තරගාවලිය අද ඉන්දියාවේදී

අද (02) ඉන්දියාවේදී ආරම්භ වන ජාත්‍යන්තර කැරම් සම්මේලන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කැරම් කණ්ඩායම අද තරග බිමට පිවිසෙයි.

සිව්වසරකට වරක් පැවැත්වෙන මෙම ජාත්‍යන්තර කැරම් සම්මේලන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබන අතර, වත්මන් ජාතික කැරම් ශූරයා වන කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඩ් හිල්මි, අනාෂ් අහමඩ් (ශ්‍රී ලංකා යුද හමුදාව) සහ දිනෙත් දුලක්ෂණ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) අනෙකුත් සාමාජිකයින් වෙති.

ජාතික කැරම් ශූරිය වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝශප් රොශිටා ශ්‍රී ලංකා කාන්තා කැරම් පිල මෙහෙයවීමේ වගකීම පැවැරී තිබේ. මධුකා දිල්ෂානි (ශ්‍රී ලංකා යුද හමුදාව), එම්. චිත්‍රාදේවි (ශ්‍රී ලංකා යුද හමුදාව) සහ රෙබෙකා ඩැල්රින් (ශ්‍රී ලංකා යුද හමුදාව) කණ්ඩායම නියෝජනය කරන අනෙක් සාමාජිකයෝ වෙති.

මෙරට පවත්වනු ලැබූ තරගාවලීන්හි ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් පසුවන මෙම ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වන මෙම ජාත්‍යන්තර කැරම් සම්මේලන තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක ඉන්දියාව, මාලදිවයින, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 16ක් සහභාගි වෙයි.

මෙම තරගාවලියේදී පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල, පිරිමි කණ්ඩායම් සහ කාන්තා කණ්ඩායම් යන අංශ 6ක් යටතේ තරග පැවැත්වේ.

නිශාන්ත ප්‍රනාන්දු 2012 වසරේ පැවැති තරගාවලියේදී පිරිමි කේවල ශූරයා බවට පත්වූ අතර, ශ්‍රී ලංකාවේ සිටින ජාතික ශූරයකු වන චමිල් කුරේ විදේශගතව සිටීම නිසා මෙන්ම චලනි ලියනගේ පෞද්ගලික හේතුන් නිසා මෙම තරගාවලියට එක් නොවේ.

ශ්‍රී ලංකා පිරිමි කැරම් පිල: නිශාන්ත ප්‍රනාන්දු (ශ්‍රී ලංකා නාවික හමුදාව), ෂහීඩ් හිල්මි (කොළඹ රාජකීය විද්‍යාලය), අනාෂ් අහමඩ් (ශ්‍රී ලංකා යුද හමුදාව), දිනෙත් දුලක්ෂණ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

ශ්‍රී ලංකා කාන්තා කැරම් පිල: ජෝශප් රොශිටා (ශ්‍රී ලංකා නාවික හමුදාව), මධුකා දිල්ෂානි (ශ්‍රී ලංකා යුද හමුදාව), එම්. චිත්‍රාදේවි (ශ්‍රී ලංකා යුද හමුදාව), රෙබෙකා ඩැල්රින් (ශ්‍රී ලංකා යුද හමුදාව)

නිලධාරීන්: සුසන්ත ප්‍රනාන්දු මහතා (ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ උප සභාපති), කරුණාරත්න ජයසිංහ මහතා (ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ උප ලේකම්)

[ඉෂානි යද්දෙහි]

News Order: 
4
මාතෘකා