දකුණු ආසියානු ක්‍රීඩා උළෙල උත්සවශ්‍රීයෙන් ඇරඹෙයි

 ඡායාරූපය:

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල උත්සවශ්‍රීයෙන් ඇරඹෙයි

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම්වලින් රිදී පදක්කම් ගිලිහෙයි

නේපාලයේ කත්මන්ඩු නුවර සිට...

දකුණු ආසියානු රටවල් 7ක් එකම තරග බිමකට පිවිසෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භය ඊයේ (01) නේපාලයේ කත්මන්ඩු නුවරදී එරට ජනාධිපතිනී බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සව ශ්‍රීයෙන් ආරම්භ විය.

කත්මන්ඩු නුවර දසරාත් රංග ශාලා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මේ උළෙලට ශ්‍රීලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සමගින් 5000කට අධික තරගකරුවන් පිරිසක් එක්ව සිටියහ. කත්මන්ඩු සහ ෆොකාර නගර වලදී පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල මේ මස 10 වැනිදා නිමාවට පත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකා ධජය ගෙන යෑමේ අවස්ථාව පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහට හිමිව තිබූ අතර සමාරම්භ උළෙල ආරම්භ වනවිටත් පිහිනුම් කණ්ඩායමට නේපාලයට ළඟා වීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස ඉදිරියෙන්ම ගමන් ගත්තේ හෙල්ල විසිකිරීමේ ජාතික ශූරි නදීකා ලක්මාලිය.

වෙමර ක්‍රීඩා උළෙලේ කාන්තා පාපන්දු සහ ක්‍රිකට් සමගින් දුනුවිදීම, බැඩ්මින්ටන්, හෑන්ඩ්බෝල්, තුන් ප්‍රයාම, බීච් වොලිබෝල් හා බර ඉසිලීමේ තරග ෆොකාර නගරයේදී පැවැත්වෙන අතර මල්ලවපොර ඉසව්ව ජානක්පූර් හිදී පැවැත්වීමට නියමිතය. ඉසව් 29ක් යටතේ පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ අනෙකුත් සියලු ඉසව් කත්මණ්ඩු නුවරදී පැවැත්වෙනු ඇත.

මේ අතර 12 වැනි සාග් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර එම පදක්කම රැක ගැනීමේ අවස්ථාව අහිමිවූහ.

සාග් ක්‍රීඩා ඉසව් ආරම්භ කරමින් රටවල් 6ක සහභාගිත්වයෙන් පැවැති වොලිබෝල් ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ ප්‍රබල සටනකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග වට 3-1කින් පරාජයට පත්විය. ඉතා උණුසුම් මුහුණුවරක ගත් තරගයේ පළමු වටය 27-25ක් ලෙස නිමාවූ අතර දෙවැනි වටයට 25-19ක් විය. ශ්‍රීලංකාව තෙවැනි වටය ජය ගත්තේ 25-21ක් ලෙසිනි. අවසන් වටය 25-21කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය. තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා පිල

මාලදිවයින තරග වට 3-0කින් පරාජයට පත්කළ අතර කිස්තානය හමුවේ තරග වට 3-1කින් පරාජයට පත්විය. ඒ සමගින් ශ්‍රී ලංකාව අද (2) බංග්ලාදේශය සමගින් ලෝකඩ පදක්කම සඳහා තරග වැදීමට නියමිතය.

කාන්තා අවසන් පූර්ව තරගයේදී සත්කාරක නේපාල කණ්ඩායම හමුවේ වට 3-0ක පරාජයක් විඳ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය. අවසන් වරට පැවැති සාග් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කාන්තා පිල සාග් ක්‍රීඩා උළෙලකදී නේපාලය හමුවේ පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය විය. තරගයේ මුල් වට දෙකේදී දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම වට දෙක පරාජයට පත්වූයේ 25-14ක් සහ 25-18ක් ලෙසිනි. තෙවැනි වටය 25-21ක් ලෙස නිමාවට පත්විය.

මේ සමගින් රන් හෝ රිදී දිනා ගැනීම සඳහා පැවැත්වෙන අවසන් තරගය ශ්‍රී ලංකාවට අහිමිවූ අතර මාලදිවයින සමගින් ලෝකඩ පදක්කම සඳහා අද (2) තරග වැදීමට නියමිතය. කෙසේ වෙතත් තරගාවලියේ මූලික වටයේදී මාලදිවයින් කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ වට 3-0කින් පරාජයට පත්ව තිබිණි. මේ පරාජයන් සමගින් කාන්තා සහ පිරිමි කණ්ඩායම්වල විදෙස් පුහුණුකරුවන් පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා පැවැසීය. ශ්‍රී ලංකාවට යෑමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් එම කණ්ඩායම් කෙරෙහි මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බවත් ඒ මහතා කීය. මේ අතර බැඩ්මින්ටන්, පාපන්දු පිරිමි, කරාටේ, කෝ-කෝ සහ ටෙනිස් තරග ඉසව්ද ඊයේ (01) ආරම්භ විය.

[නිරෝෂාන් ප්‍රියංකර]

News Order: 
1
මාතෘකා