අයි.සී.සී. සභාපති අද ශ්‍රී ලංකාවට ජනපති-අගමැති සහ ක්‍රීඩා ඇමතිත් හමු වෙයි

 ඡායාරූපය:

අයි.සී.සී. සභාපති අද ශ්‍රී ලංකාවට ජනපති-අගමැති සහ ක්‍රීඩා ඇමතිත් හමු වෙයි

අද (22) දිවයිනට පැමිණෙන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ සභාපති එස්. මනෝහර් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා කටයුතු කරනු ඇතැයිද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා මෙලෙස දිවයිනට පැමිණෙයි. ඔහු මෙම මස 26 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමටද නියමිතය.

‘අයි.සී.සී. සභාපතිවරයා හමුවීමට විවිධ පාර්ශ්වයන්ට මෙය අවස්ථාවක් කරගන්න හැකිවෙනවා. ප්‍රශ්න පවතින පාර්ශ්ව ඔවුන්ගේ ගැටලු නිරාකරණය කරගන්න අයි.සී.සී. සභාපතිවරයා හමුවන්නට කටයුත කරාවි’ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.

අයි.සී.සී. සභාපතිවරයා ඉන්දියාවේදී හමුවීමට මෙයට පෙර ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කටයුතු කළේය. ඉන්දියාවේ නාග්පූර්හි පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේදී මෙම හමුව සිදුව තිබූ අතර අග්‍රාමාත්‍යවරයා ලබාදුන් විශේෂ ලිපියක්ද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අයි.සී.සී. සභාපතිවරයාට බාරදුන් බව පැවසිණි. ක්‍රිකට් පරිපාලනයේ අර්බුද විසඳීම වෙනුවෙන් ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයනේ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාකර තිබූ අතර අයි.සී.සී. යේ විධායක සමුළු රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා මහතා විසින් අයි.සී.සී. සභාපතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙසට ඉල්ලීමක් කර තිබුණේය. මේ අනුව අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන එස්. මනෝහර් මහතා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීමටද නියමිතය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා