රූපවාහිනී විකාශන අයිතිය ගැන තීරණයට

 ඡායාරූපය:

රූපවාහිනී විකාශන අයිතිය ගැන තීරණයට

ඇමැතිගෙන් සිව් පුද්ගල කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරි වසර පහ තුළ සහභාගිවන ක්‍රිකට් තරගවල රූපවාහිනී විකාශන අයිතිය අලෙවි කිරීම වෙනුවෙන් තීරණ ගැනීමට සිව් පුද්ගල කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබේ. එලෙස පත්කළ සිව් පුද්ගල කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ අයි.සී.සී. නියෝජිතයකු ඇතුළත් විය යුතුබව අමාත්‍යවරයා නිර්දේශ කර ඇත.

අදාළ ලියැවිල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී ඇතිබව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු ‘රැසට‘ පැවසීය. ‘අපිට ලැබී ඇති එම නිර්දේශ අනුගමනය කරමින් කඩිනමින් රූපවාහිනී විකාශ අයිතිය ගැන සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා. අපි දැන් ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් ජයග්‍රහණය කරලා යම් පිබිදීමක් හිමිකරගෙන ඉන්න වෙලාවක්. ඉතින් රූපවාහිනී අයිතිය ගැන කතාකරන්න සුදුසුම වෙලාව හැටියට මෙය සලකන්න පුළුවන්. පසුගිය කාලයේ අපි වැටිලා ඉන්නකොට අපිට ලැබෙන රූපවාහිනී හිමිකම තක්සේරුවන්නේ අඩු මුදලකටයි. නමුත් දැන් යම් හෙට්ටු කිරීමක් කරන්න අපිටත් අවස්ථාවක් තිබෙනවා. මේ අවස්ථාවේ එය සිදුකරගැනීමට අපි කඩිනමින් සාකච්ඡා කරන්න සූදානම්’ යැයි පැවසීය.

රූපවාහිනී විකාශන අයිතිය මඟින් ලැබෙන මුදලින් පෞද්ගලික ගිනුම් තරකරගැනීමට ඇතැම් පාලකයන් කටයුතු කර තිබූ බවට පසුගිය කාලයේ චෝදනා එල්ලවූ අතර වසර තුනකට අත්සන් තබා තිබූ රූපවාහිනී විකාශන අයිතිය පිළිබඳ ගිවිසුමක වසර ප්‍රමාණය දිගුකර ලැබීමට තිබූ මුදල් අඩුකර යළි ගිවිසුම් අත්සන් කිරීමට ඇතැම් නිලධාරීන් අතීතයේ ක්‍රියාකළ බවද පැවසුණේය. ඇමරිකාවේ රහස්‍ය ගිනුමකට එම විකාශන මුදල් වාරිකයක් තැන්පත් කරගෙන ඇතිබවට ද ප්‍රකාශ වුණු අතර හොංකොංහි පිහිටි බැංකු ගිනුමකට එලෙස මුදල් වාරිකයක් තැන්පත් කරගැනීමට ගත් උත්සහයක් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකුට චෝදනා එල්ල විණි.

අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ මැදිහත්වීම යටතේ මෙවර විකාශන අයිතිය අලෙවි කිරීමේදී සිදුවන වංචා අවම කරගැනීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. මෙම සිව් පුද්ගල කමිටුව නම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රියා කර ඇත්තේ ඒ හේතුවෙන් බව අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මාතෘකා